අපි වැඩ කරන්නෙ ගිනි‍ගොඩක් උඩ | දිනමිණ


 

අපි වැඩ කරන්නෙ ගිනි‍ගොඩක් උඩ

දුමින්ද සම්පත්
ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග

ආණ්ඩුවේ ගෙවුණු වසර තුන සහ එහි අනාගතය, තෙල්මිල සූත්‍රය, ජීවන වියදම වැඩි වී ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ චෝදනාව, සිංගප්පූරු ගිවිසුම, ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ අගමැති ධුරයට පත්වීම ආදිය පිළිබඳ අදහස් දක්වමින් ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මැතිහමුවට එක්වේ.

* යහපාලනයෙත් විවිධ ජාතියෙ පුද්ගලයො ඉන්නවා
* ආණ්ඩුවේ හොඳ වැඩට ප්‍රචාරයක් නැහැ
* වරායෙ ලොකුම හොරු වෘත්තීය සමිතිවල
* ඉම්රාන්ගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා
* තෙල් කැණීම්වලට 5 D තාක්ෂණය

හුස්මගත්ත වසර තුන ගැන මේ දවස්වල වැඩිපුර කතාවෙනවා. යහපාලනය ගේන්න විශාල වැඩකොටසක් කළ අයෙක් හැටියට ආණ්ඩුවෙ ගෙවුණු වසර තුන ගැන මොකද කියන්නෙ?

රජයක් හැටියට අපි විශාල වැඩකොටසක් කළා. කරපු වැඩවලින් මහජනතාවට කොච්චර ප්‍රතිලාභ ලැබුණද කියන එක ගැන ප්‍රචාරයක් ගත්තෙ නැහැ. ඒක මේ ආණ්ඩුවෙ දුර්වලකමක්. දැන් තමයි අපි කරපු වැඩගැන ප්‍රචාරයක් ලැබෙන්නෙ. අපි මේ ආණ්ඩුව හදද්දි ප්‍රධාන වශයෙන් පොරොන්දුවුණේ පහුගිය කාලෙ වෙච්ච වැරදි හොයල බලල ඒවට දඬුවම් දෙනව කියල. ඒව සිද්ධවුණේ නැහැ. අපි අධිකරණ කටයුතුවලට ඇඟිලි ගැහුවෙ නැහැ. අධිකරණ ක්‍රමවේදයට වැඩකළා. අලුත් අධිකරණ ඇමැති තුමිය යටතේ ඒ වැඩ කොටස සාර්ථකව සිද්ධවෙනවා. ජනතාවගෙ බදුමුදල් ගන්නෙ මොනවටද කියල හරියට දැනුවත් කළොත් ජනතාව අපිට විරුද්ධ වෙන්නෙ නැහැ.

බදුබර වැඩිවෙච්ච, ජීවනබර ඉහළගිය වසර තුනක් තමයි ගෙවුණෙ කියලත් චෝදනාවක් තියෙනවා.?

මම ඔය කතාවට එකඟ නැහැ. අපි ආපුගමන් පෙට්‍රල් ඩීසල් භූමිතෙල් මිල විශාල ගණනකින් අඩුකළා. ප්‍රධාන භාණ්ඩ මිල අඩුකළා. ඒ ලැබිච්ච සහන අද ජනතාවට අමතකයි. අපි බදු කීයක් හරි වැඩිකළොත්, ලෝක වෙළෙඳපොළේ තෙල්මිලට අනුව තෙල් මිල කීයකින් හරි වැඩි කළොත් ඒවට ලැබෙන ප්‍රචාරය වැඩියි. අපි කරපු හොඳ වැඩවලට ප්‍රචාරය අඩුයි. හරියට බදුගෙවන අය කොච්චර ඉන්නවද කියන එක තාමත් හරියට දන්නෙ නැහැ. මේ හින්ද තමයි සාමාන්‍ය ජනතාවට බරක් දරන්න වෙන්නෙ.

මිනිස්සු ගෙවන බදුවලට සාධාරණයක් ලැබෙන්නෙ නැහැ. ජීවන බර ඉහළ ගිහින් කියන චෝදනාව ගැන මොකද කියන්නෙ?

ඕක සාධාරණ තර්කයක්. පෙට්‍රල්, ඩීසල් මිල වැඩිවෙන කොට හැම භාණ්ඩයකම මිල වැඩිවෙනවා. ඒ හින්ද තමයි, තෙල්, වතුර, විදුලිය වැනි ආයතන ලාභ ලබන්න හදනවද? එහෙම නැත්නම් ඒවයේ ලාභය ජනතාවට ලැබෙන්න සලස්වනවද? ආණ්ඩුවක් හැටියට අපි තීරණය කළ යුතුයි. මගෙ පෞද්ගලික මතය මේ ආයතන තුනම සාමාන්‍ය පාඩුවක් ලැබුවට කමක් නැහැ. හැබැයි මේ ආයතන ලබන ලාභය මහජනතාවට ලැබිය යුතුයි.

මේ අමාත්‍යාංශය බාරගෙන වසරක කාලයක් ගෙවී ගිහින් ඔබ හිතපු ඉලක්කයට යන්න ලැබුණද?

අපේ තියෙන පිරිපහදුව හොඳ මට්ටමකට ගත්තා. මේ පිරිපහදුව වසර 50ක් පැරණියි. අලුත් පිරිපහදුවක් හදන්න දැන් සැලසුම් කරල තියෙන්නෙ. වරායෙ ඉඳන් කොළොන්නාවට මුතුරාජවෙලට යන තෙල්නළ ඉතාම පැරණියි. මේව වැඩි දියුණු කළ යුතුයි. ගිනි ගොඩක් උඩ ඉඳගෙන තමයි අපි මේ කටයුතු කරන්නෙ. තෙල් ටැංකි සංකීර්ණයෙ ඉඩ පහසුකම් මදියි. තව ටැංකි පද්ධතියක් හදන්න වැඩ කරගෙන යනවා. බාල තෙල් ගෙන්වීම සම්පූර්ණයෙන් නැවැත්තුවා. බාධා කිරීම් තිබුණා. ඒත් දැන් බාලතෙල් හින්ද වාහන කැඩෙන එක නැවතුනා. බාලතෙල් හින්ද වාහනවලට අපි ලොකු වන්දියකුත් ගෙවුවා. ත්‍රීවිල්වලට යි මෝටර් සයිකල්වලටයි අලුත් තෙල්වර්ගයක් හඳුන්වා දෙන්න කටයුතු කරනවා. ඒ තෙල් මීට වඩා රුපියල් හතරක් පහක් අඩුවෙන් දෙන්න පුළුවන්. අපි එනකොට මේ සේවකයො ගොඩක් අතිකාල අරන් තිබුණා. අපි සේවකයො දැනුවත් කරල ඒ තත්ත්ව වෙනස් කර ගත්තා.

ත්‍රිකුණාමලයෙ තෙල් ටැංකි ගැන පහුගිය කාලෙ ලොකු ආන්දෝළනයක් ඇතිවුණා. මේවයෙන් වැඩි හරියක් ප්‍රයෝජනයට නොගන්න බව තමයි කියන්නෙ.?

ඉන්දියන් ඔයිල් සමාගමත් එක්ක ගිවිසුම අත්සන් කරල තියෙන්නෙ අවුරුදු 18කට විතර ඉස්සර වෙලා. ඒත් මේ වෙනකන් කිසිවක් වෙලා නැහැ. දෙපැත්තෙම අඩුපාඩු තියෙනවා. දෙපැත්තටම හොඳ ක්‍රමවේදයක් හදල දිගුකාලීනව සහයෝගීතා පදනමෙන් තෙල්ටැංකි පවත්වාගෙන යන්න අවශ්‍ය වැඩපිළිවෙළ හදනවා. ඉදිරි සති දෙක ඇතුළත මේ කටයුත්ත අවසන් කරනවා.

සමාජ ප්‍රතිසංස්කරණ ඇතිකිරීම වෙනුවෙන් කොමිෂන් සභා, අණපනත් බොහොමයක් මේ ආණ්ඩුව ගෙනාවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

මේ පනත් කොමිෂන් සභා අවශ්‍යම දෙයක්. අපි මේව තමයි පොරොන්දුවුණේ. මේ හින්දම ආණ්ඩුවෙ වැඩකටයුතුවලට කල්ගතවීම් වෙනවා. ඒ ප්‍රමාද අඩුකරගෙන අපි ඉදිරියට යන්නඕන. පහුගිය ආණ්ඩුවෙ අවුරුදු දහය විශාල දූෂණ තිබිච්ච කාලයක්. ඒ දේවල් වෙනස්කරන්න ගියහම අපිට ගොඩක් ප්‍රශ්න ආවා. වරාය අමාත්‍යාංශයේදී මේ ගැන හොඳ අත්දැකීම් ලැබුවා. අපේ වෘත්තීය සමිති නායකයො තමයි වැඩියෙන්ම හොරකම් කරල තිබුණෙ. මම ඒ වෘත්තීය සමිතිවල හොරකම් නවත්වල ඒ ලාභය මිනිස්සුන්ට අරන් දුන්නා. ඒ හින්ද තමයි අපි වරාය ලාභ ලබන තත්ත්වයට ගෙනාවෙ. ලෝකෙ හොඳම වරායන් අතරින් 23 වැනි තැනට අපි ආවා. මේවට ප්‍රචාර ලැබුණෙ නැහැ.

ඔබ පහුගිය දිනෙක මාධ්‍යයට කියල තිබුණ ආණ්ඩුවක් හැටියට සමහර දේවල් අපේ අතින් හරියට ඉටුවුණේ නැහැ කියල. කරන්න බැරි වෙච්ච වැඩ මොනවද?

අපි කිව්ව හොරුන්ට දඬුවම් දෙනව කියල. අපි ආණ්ඩුව ගන්නකොට කවුරුවත් බඩුමිල අඩුකරන්න, යහපාලනය ඉල්ලුවෙ නැහැ. ඒ අය ඉල්ලුවෙ හොරුන්ට දඬුවම් කරන්න, ප්‍රජාතන්ත්‍රවාදීව නිදහසේ ජීවත්වෙන්න විතරයි. ඒ පැත්ත වුණේ නැහැ. යහපාලනය දැන් දෝරෙ ගලල, ඒ කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය දෝරෙගලල, රටක් මේ විදියට දුවන්න බැරි අවස්ථා තියෙනවා. මම කියන්නෙ ආයතනයට ආදරය කරන වෘත්තීය සමිති විතරයි ති‍ෙයන්න පුළුවන්. තමන්ට ආදරේ වෘත්තීය සමිති වැඩක් නැහැ. එහෙම නැත්නම් දේශපාලන කණ්ඩායමක් පිට ඉඳන් මෙහෙයවන වෘත්තීය සමිතිත් බැහැ. සමහර ගැටලුවලදී වෘත්තීය සමිති හොඳ දේවල් කියනවා. ඒව සාධාරණයි. මේ ආයතනයෙ වෘත්තීය සමිති කියන කාරණා එක්ක සාකච්ඡාකරල අපි හොඳ තැනකට ඇවිත් තියෙනවා.

හොරුන්ට දඬුවම්කිරීම සමහර සමාජ ප්‍රතිසංස්කරණ තවමත් කරගන්න බැරිවෙලා තියෙන්නෙ ඇයි?

ජනාධිපතිතුමයි අගමැතිතුමයි මේවට ඇඟිලි ගහන්න ගියෙ නැහැ. ඒ හින්දම මේව ඉතාම අලසබවෙන් ගියෙ. හැබැයි රට හුරුවෙලා තියෙන්නෙ. ඒ ක්‍රමයට නෙවෙයි. රටේ ජනතාව බලාපොරොත්තු වුණෙත් ඉක්මනින් විසඳුම්. මැලේසියාවෙ අලුත් ජනාධිපති තුමා ඇවිල්ල මාස තුනකින් හිටපු ජනාධිපතිතුමාව හිරේ දැම්ම. ඒ ක්‍රමය හොඳයි. දැන්නම් යම් ක්‍රමවේදයක් හැදිලතියෙනවා.

සමහරු කියන්නෙ ආණ්ඩුවෙ පොරොන්දු ඉටුකරන එක ප්‍රමාද වෙන්නෙ දේශපාලන ඩීල් නිසා කියල?

යහපාලන ආණ්ඩුවෙ ඉඳල එළියට ගිය අය කොහොමද හැසිරෙන්නෙ. යහපාලනේ කිව්වට එක එක ජාතියෙ අය ඉන්නවා. මේ දේශපාලන ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන. තමන්ගෙනෙවෙයි රටේ වාසියට දේශපාලනය කරන කණ්ඩායමක් හැදෙන්න ඕන. අගමැතිතුමයි ජනාධිපතිතුමයි සාර්ථක ගමනක් ගියා. ඒක කඩාකප්පල් කරන්න වෙනම කණ්ඩායමක් හැදුනා. මේ අය ඡන්ද බලයක් තියෙන අය නෙවෙයි. හොර සල්ලිවලින් වැජඹෙන අය. ඒත් දැන් ඒක අසාර්ථකවෙලා. අගමැති තුමා එලවන්න කියල කට්ටියක් කිව්වා. ඒක ජනතාවගෙ අවශ්‍යතාව නෙවෙයි. එක කට්ටියකගෙ වුවමනාවක්. ඒකට අපි ඉඩ දුන්නෙ නැහැ. ජනාධිපති තුමයි අගමැති තුමයි දේශපාලන ප්‍රවීණයො. ඒ අය අතර ප්‍රශ්න තියෙනවනම් ඒ දෙන්න සාකච්ඡාකරල විසඳගන්න ඕන. මම කැබිනට් මණ්ඩලේදි අකමැති දේට අකමැතියි කියනවා. ඒ අයිතිය අපිට තියෙනවා. සමහර කණ්ඩායම් කරපු වැඩ හින්ද, රට ආපස්සට ගියා. ආයෝජකයො බය වුණා. ඒ හින්ද රටට එන්න තිබුනු මුදල් නැතිවුණා.

ඉන්ධන මිල සූත්‍රයට අනුව දේශීයව ඉන්ධන මිල තීරණය කිරීමේ බලය මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය සතුයි. ඔබ ජනතාවට සහන දෙන බව කිව්වත් ඊට අවශ්‍ය බලය ඔබට නැහැ නේද?

මගෙ පැත්තෙන් මම අවශ්‍ය දැනුවත් කිරීම් කළා. මුදල් අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය කිව්වට කමිටුවක් හරහා තමයි මිල සූත්‍රය ක්‍රියාත්මක වෙන්නෙ. ලෝක වෙළෙඳපොළේ මිල අඩුවෙන කොට ඊට අනුව මිල අඩුවෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් තීරණ ගත්තම අපිට තියෙන්නෙ තෙල් අඩුකරන්නයි වැඩිකරන්නයි. මම හැම වෙලේම ඉන්නෙ මහජනතාවට සහන දිය යුතුයි කියන මතයෙ. ගම්පෙරළිය වැඩසටහනට ඒ වැඩිවන මුදල් යනවනම් ජනතාව ඒකට විරුද්ධ වෙන එකක් නැහැ. ඒ දැනුවත් කිරීම කරල මේ වෙනස කළා නම් විශාල ජනතා සහයක් අපට එන්න තිබුණා.

ශ්‍රී ලංකාවෙ තෙල් කැණීම් ගැන කතාවෙන්නෙ ඡන්දයක් කිට්ටුව විතරයි. ලංකාව අවට තෙල් නිධි ගැන තියෙන අලුත්ම තත්ත්වය කොහොමද?

අපි විවෘත ටෙන්ඩර් කැඳවීම් කරනවා. මන්නාරම් ද්‍රෝණියෙ තෙල් කැණීම්වලට කට්ටිය ඇවිල්ල ඉන්නෙ දැනට අපි ළඟ තියෙන්නෙ 3 D තාක්ෂණයෙ දත්ත විතරයි. 5 D තාක්ෂණයෙ දත්ත ගන්න ලබන සතියෙ නැවක් එනවා. ඒ දත්ත අනුව තමයි කැණීම තීරණය වෙන්නෙ. තෙල්, ගෑස් තියෙනව කියල 75% විතර දැනට තහවුරු වෙලා තියෙනවා. 100% තහවුරු වුණාම තෙල් කැණීම්වලට ආයෝජකයො එයි. අපි ඒ කටයුතු කඩිනම් කරනවා.මේ ටික හරි විදියට වෙනස් කළොත් රට වෙනත් තැනකට ‍ගෙනියන්න පුළුවන්.

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ගැන මේ ආණ්ඩුවට චෝදනා එල්ල වෙනවා. විශේෂයෙන් සිංගප්පූරු ගිවිසුමේ රටට අහිතකර කොන්දේසි ඇතිබවයි කියන්නෙ?

අපි ආණ්ඩුවෙ ඇමැතිවරු හැටියට රටට අහිතකර දේවල් වෙනව නම් ඒ ගැන හොයා බලනවා. ඕනම දෙයක් සාකච්ඡාකරල වෙනස්කරගන්න පුළුවන් ආණ්ඩුවක් මේක. සිංගප්පූරු විතරක් නෙවෙයි ඕනම ගිවිසුමක වාසිය ගන්න ඕන අපේ රටට. ඒකට අපිට ඉඩ තියෙනවා.

ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් තරඟ පාවාදීම් සම්බන්ධව ඔබේ නමත් කියවුණා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

අවුරුදු ගණනකට ඉස්සර ආපු චෝදනාවක්. ඕක නැවත වරක් එළියට ඇදළගන්නෙ ක්‍රිකට් විනාශකරපු බුකි ව්‍යාපාරවල ඉන්න කෙනෙක්. අපි අවුරුදු 20ක් විතර මේ රටට ක්‍රීඩා කළා. එක වෙළෙඳදැන්වීමකටවත් පෙනී හිටියෙ නැහැ. ප්‍රතිපත්තියක් හැටියටයි අපි ක්‍රිකට් ගැහුවෙ. අරවින්ද සිල්ව කියන්නෙත් මේ රටට බිහිවෙච්ච සුපිරිම ක්‍රිකට් නායකයෙක්. මේ ඇඟිල්ල දික්කරන්නෙ රටේ කීර්තියට කියල බුකි කාරයන්ට තේරෙන්නෙ නැහැ. බුකිවල ජීවත්වෙන අයට රටට හානි වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රමය තමයි ලංකාවෙ ක්‍රිකට් විනාශකළේ. ඔය බුකි කාරයන්ගෙ ලේකම්වරු ක්‍රීඩා සමාජවල තරග කරගෙන ගිහින් තියෙනවා. අද වෙනකන් කිසිම ක්‍රීඩා ඇමතිවරයෙක් මේවට දඬුවම් දීල නැහැ. වැරදිදේට දඬුවම් දෙන්න පුළුවන් ක්‍රීඩා ඇමැති කෙනෙක් තවමත් මේ යහපාලන ආණ්ඩුව පත්කළේ නැහැ. ගිය ආණ්ඩුව මොනව වුණත් බුකිකාරයන්ට ක්‍රීඩාවට එන්න දුන්නෙ නැහැ. ක්‍රිකට් විනාශකරපු ආණ්ඩුව අපි. මම ජනාධිපති තුමාවත් අගමැති තුමාවත් මේ ගැන දැනුවත් කරලයි තියෙන්නෙ.

පකිස්තාන අගමැති හැටියට පත්වෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවෙ ඔබේ සමකාලීනයෙක්. ඒගැන ඔබ මොකද හිතන්නෙ.?

ඔහුමට වඩා ජ්‍යෙෂ්ඨයි. ඉම්රාන්ගෙ නායකත්වයෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම අද‍ දේශපාලනයෙ තීරණගන්න, කෙළින් හිටගන්න, කාටවත් ඕන විදියට නටවන්න බැරි දේශපාලනඥයෙක් වුණේ අපි ක්‍රිකට්වලින් ඉගෙනගත්තු දේවල් හින්ද බය නැතුව තීරණ ගන්න ඉගෙන ගත්තෙත් ක්‍රිකට්වලින්. පකිස්ථානය කියන්නෙ පහසුවෙන් පාලනය කරන්න පුළුවන් රටක් නෙවෙයි. එතුමට ජීවිත තර්ජන තියෙයි. අවුරුදුපහක් ඉම්රාන් යටතෙ පකිස්ථානය තිබුණොත් පකිස්තානය වෙනම රටක් බවට පරිවර්තනය වෙයි. හොරකම දූෂණයට ඉම්රාන් විරුද්ධයි. මගෙ දර්ශනයත් ඒකමයි. ඉම්රාන්ට දේශපාලනයෙන් හොඳ දර්ශනයක් තියෙනවා.

ඔබ දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් නෙවෙයි. ඉදිරි පළාත් සභා හෝ ජනාධිපති මැතිවරණවලදී ඔබේ කාර්යයභාරය මොකක් කියලද හිතන්නෙ?

තවම මම ඒක තීරණය කරල නැහැ. මම දේශපාලනය කරන්නෙ හරි පුද්ගලයොත් එක්ක. ඒ අය වැරදියි කියල තේරුනොත් මම එතන ඉන්නෙ නැහැ. යුද්දෙ ඉවර වෙනකම් මම මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවෙන් ගියෙ නැහැ. හැබැයි මම ඒ ආණ්ඩුවෙ ඇමැතිකම් අතහැරිය. යුද්දෙ ඉවර වුණාම මගෙ තීරණය ගත්තා. සරත් ෆොන්සේක මහත්තය එක්ක දේශපාලනය කළා. ඊට පස්සෙ මේ ආණ්ඩුව ගේන්න වැඩකළා. මෛත්‍රීපාල සිරිසේන මහත්තය එන්න ඉස්සර පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො මගෙ නමත් යෝජනා කළා. චන්ද්‍රිකා මැතිණියත් මට විශාල සහායක් දුන්න. නමුත් අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තය එක්ක වැඩකළා. හුඟදෙනෙක් බයේ ඉන්න කාලෙ එළියට බැහැපු කෙනෙක් මම. අපි අපිට අවශ්‍ය වෙනස කළා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පවුලකින් ආවට පක්ෂ දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. රටට අවශ්‍යදේශපාලනය කරන කෙනෙක්. එහෙම 20ක් විතර අපිට හදාගන්න පුළුවන්නම් රට හොඳ තැනකට ගෙනියන්නපුළුවන්. හොඳ අපේක්ෂකය කවුද එතැන අපි හිටගන්නවා.

පකිස්ථාන ආදර්ශය අරගෙන ඊළඟ ජනාධිපති අපේක්ෂකය හැටියට ඔබට ඉදිරිපත්වෙන්න කිව්වොත් මොකද කරන්නෙ?

මම ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන කෙනෙක්. මෛත්‍රීපාල සිරිසේන මහත්තය එනකොට කවුරුත් හිතුවෙ නැහැ. එක්සත් ජාතික පක්ෂය විශාල සහායක් දුන්නා. අනෙක් පක්ෂ සහාය දුන්නා. සංවිධාන 49ක් විතර සහාය දුන්නා. ඒව අද අමතක වෙලා. ඒක අපේ දුර්වල කමක්. අපිත් එක්ක අද නැතිවුණත් මේ වෙනසෙ පළමු අදියර දැම්මෙ සෝභිත හාමුදුරුවො. අද උන්වහන්සේවත් අමතක වෙලා. මම මේ ඇත්ත කියනවා. ආණ්ඩුව වැරදිනම් මම එතන ඉන්නෙ නැහැ. තමන්ගෙ ව්‍යාපාර කරල හම්බකර‍ගන්නෙ කොහොමද කියල හිතන අය මේ ආණ්ඩුවෙත් ඉන්නවා. මම ඉල්ලනවද කවුරු ඉල්ලනවද කියන එක තීරණය කරන්නෙ මහජනතාව.

ඡායාරූප - සිරිපාල හල්වල

නව අදහස දක්වන්න