හොඳ වැඩ නොදකින ෙපෟද්ගලික මාධ්‍ය | දිනමිණ

හොඳ වැඩ නොදකින ෙපෟද්ගලික මාධ්‍ය

මාධ්‍ය යනු අද දවසේ ලොව සිව්වැනි ආණ්ඩු සංකල්පය ලෙස හැඳින්වේ. ඒ තරමටම සෑම සන්නිවේදන මාධ්‍යයක්ම ජනතාවගේ ජිවිතයේ කොටසක් වී තිබේ.

අප රට තුළද, රාජ්‍ය සහ පෞද්ගලික වශයෙන් විද්‍යුත් මුද්‍රිත වශයෙන් මාධ්‍යයන් ආයතන රාශියක් කටයුතු කරනු ලැබේ.

මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් අතුරුදහන් වූ කාල වකවානුවක මහජනතාව වර්තමාන යහපාලන රජයෙන් බලාපොරොත්තු වූයේ තම කටයුතු නිදහසේ කරගැනීමට අවශ්‍ය පරිසරයයි.

එහෙත් වර්තමානයේ පුවත්පත් ඇතුළු විද්යුත් මාධ්‍ය නාලිකා බො‍හෝමයක් ගොසිප්වලට ප්‍රමුඛතාව ලබා දෙනවා මිසක සංවර්ධනයේ සැබෑ තතු රටට ජනතාවට ලබා නොදෙයි.

සාමාන්‍යයෙන් රටේ ඕනෑම පුරවැසියෙකු තම පෙ‍ෟද්ගලික කටයුතු නිමාකර රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්තිවලට අවධානය යොමුකිරීම සාමාන්‍ය සංසිද්ධියකි.

එනමුත් රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවල විකාශය වන ප්‍රවෘත්ති පරස්පර විරෝධී බවක් දක්නට ලැබේ.

ඇත්ත වශයෙන්ම පෞද්ගලික රූපවාහිනී නාලිකාවල අරමුණ ඉල්ලුමට සැපයුම ලබා දීමය. එම නාලිකාවල විකාශය වන ප්‍රවෘත්ති තුළ කිසිදු වටිනාකමක් නොමැත. බොහෝවිට ඔවුන් ගොසිප් පසුපස හඹා යනවා පමණක් නොව පවතින ආණ්ඩු කෙරෙහි ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කරයි.

මේ තත්ත්වය පත්වන සෑම රජයකට උරුම බව පක්ෂ විපක්ෂ සියලු දෙනාම අවබෝධ කර ගත යුතුය. ඉල්ලුමට සැපයුම දෙන න්‍යායෙන් ඉවත් වී සමබර සහ මඩ ව්‍යාපාරවලින් තොර උසස් මාධ්‍ය සංස්කෘතියකට පිය නැගීමට කාලය දැන් එළඹ තිබේ.

ඩබ්ලිව්. කේ. මොහාන්
මහවැලි සී. කලාපය

 

නව අදහස දක්වන්න