මහින්දට එන්නත් බෑ ආවත් බෑ | දිනමිණ

මහින්දට එන්නත් බෑ ආවත් බෑ

රාජපක්ෂ කල්ලියට තම දේශපාලන න්‍යාය පත්‍රය යළි සකස් කර ගැනීමට තම අභ්‍යන්තර අවුල් සහ බල අරගල හේතුවූවාට වඩා වැඩි බලපෑමක් ආණ්ඩුවේ සංවර්ධන සැලසුම් හා සුබසාධන වැඩපිළිවෙළ මගින් සිදු වූ බව පැහැදිලියි. ආණ්ඩු පාක්ෂිකයන් පවා බලාපොරොත්තු නොවූ ආකාරයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් සහ සුබසාධන ව්‍යාපෘති රැසක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළේ ඒකාබද්ධ විපක්ෂයේ පමණක් නොව තවත් බොහෝ පාර්ශ්වයන් විස්මයට පත් කරමින් බව පැහැදිලි කරුණක්.

කිසිම ප්‍රතිඵලයක් ගැන වැඩක් කළ විට අපි “පුස්ස බින්දා වගේ !” කියලා කියනවා. පුස්ස බින්දා වගේ කිසිම ප්‍රතිඵලයක් නැති වැඩ කරන්න අපි කවුරුත් කැමති නැති වුණත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න අපි කාට කාට වුණත් විටින් විට සිදු වෙනවා.

අපිට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දී වුණත් පුස්ස බින්දා වගේ වැඩ කළොත් ලොකු අලාභයක්, කනස්සල්ලක් ඇති වෙනවා. අපිට එහෙම නම් හිටපු ජනාධිපතිවරයෙක්, නැවත රටේ පාලන බලය අල්ලා ගැනීමට කැසකවන හිටපු ආරක්ෂක ලේකම්වරයෙක්, මුළු රටේම ආර්ථිකයෙන් සියයට 70කට පමණ වග කිව්ව ආර්ථික සංවර්ධන ඇමැතිවරයෙක් පුස්ස බින්දා වගේ වැඩ කළොත් කොහොම වෙයි ද ? ඒ රටට, ජනතාවට අනාගතයක් තබා අද දවසක්වත් තිබෙයි ද ? අද අපි රටක් වශයෙන් වන්දි ගෙවන්නේ රාජපක්ෂ පවුලේ තුන් කට්ටුව බලයේ සිටි කාලයේ කළ පුස්ස බින්දා වගේ වැඩවල ප්‍රතිඵලවලටයි.

රාජපක්ෂ තුන් කට්ටුවේ පුස්ස බින්ද වැඩවලට වන්දි ගෙවමින් සිටින ජනතාවම මේ දවස්වල තැන තැන “අපරාදේ පුස්ස බින්දා වගේ වැඩක්නේ වුණේ !” කියලා කතා වෙනවා අපට ඇහෙනවා. එහෙම කතා කරන ඇතැමුන්ගේ මූහුණූවල තියෙන්නේ දැඩි කනස්සල්ලක්. තවත් සමහරෙක්ගේ හාස්‍යජනක ස්වභාවයක්. “ඔයින් ගියා ඇති” කියන්නා වගේ ස්වභාවයක්.

ඉහතින් සඳහන් කළ “පුස්ස බින්දා වගේ වැඩක් වුණානේ” කතාව එළියට එන්නේ මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපති වෙන්න පුළුවන් ද ? කියලා කතාවක් පසුගිය දිනවල සමාජ සංවාදයට ලක්වීම සමඟයි. සමාජයේ ක්ෂණික අවධානය දිනා ගත් මේ කතාව කරළියට ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතා විසින්මයි. මෙහිදී නීතිඥයෙකු ද වන මහින්ද රාජපක්ෂ මහතාගේ තර්කය වුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ඕනෑම ජනාධිපතිවරයෙකුට හෝ ජනාධිපතිවරියකට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් තිබෙන බැවින් තමා එහි නීතිමය තත්ත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට කටයුතු කරන බවයි. මහින්ද රාජපක්ෂ මහතාගේ මේ ප්‍රකාශය සමඟ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නීතිමය පැතිකඩ වගේම එහි දේශපාලනික අරමුණ ගැන ද අවධානයක් යොමුවන ආකාරයක් අප පසුගිය දිනවල දැක්කා.

ජනතාවගේ අවධානය ලබා ගැනීම

“මට යළිත් ජනාධිපති වෙන්න පුළුවන් ද ?” යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් වන මහින්ද රාජපක්ෂ මහතාගේ තීන්දුවේ නෛතික පදනම ගැන අදහස් ඉදිරිපත් කළ බොහෝ දෙනකු ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබුණේ 2005-2015 දක්වා දෙවාරයක් ජනාධිපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂ මහතාට යළිත් වරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට කිසිදු ආකාරයක නෛතික හැකියාවක් නැති බවයි.

මේ සම්බන්ධයෙන් ඉතා නිරවුල් පැහැදිලි කිරීමක් හිටපු අධිකරණ ඇමැතිවරයෙක් වූ වත්මන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදු කර තිබුණා. එහිදී විජේදාස රාජපක්ෂ මහතා විසින් අවධාරණය කර තිබුණා. “19 වැනි ව්‍යවස්ථාව අනුව අතීතයේ ජනාධිපති තනතුර දෙවරක් දරා තිබෙනාවානම් අනාගතයේ දී ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න නොහැකි බවට ඉතාම පැහැදිලිව ප්‍රතිපාදන දක්වා තිබෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වන “ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරාපත් කරගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරාපත් කර ගැනීමට සුදුස්සෙකු නොවන්නේය” යන නෛතික ප්‍රතිපාදන ඉතාම පැහැදිලියි. එපමණක් නොවෙයි, ජනාධිපතිවරණ පනත යටතේ නුසුදුස්සෙක් නාමයෝජනා පත්‍රයක් භාරදීමේ බරපතළකම ගැනත් පනතේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා”

මෙහිදී හිටපු ජනාධිපතිවරයා හෝ ඒකාබද්ධ විපක්ෂය විසින් මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට වන සූදානම ගැන ද විජේදාස රාජපක්ෂ මහතා තම අදහස ඉදිරිපත් කර තිබුණා. එහිදී ඇමැතිවරයා සඳහන් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එවැනි මතයක් විමසිය හැකි එකම බලධාරියා රටේ ජනාධිපතිවරයා පමණක් බවයි. හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරියකට එවැනි හැකියාවක් හෝ අයිතියක් නොමැති බව ද ඇමැතිවරයා පැහැදිලි කළා.

මේ සම්බන්ධයෙන් නීතිඥ සුනිල් වටගල මහතා ද තමන්ගේ අදහස් ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ මෙවැනි අදහසක්. “මේක සම්පූර්ණයෙන්ම ජනතා ආකර්ෂණය දිනා ගන්න මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන තවත් සංදර්ශනයක් විතරයි. රාජපක්ෂලාගේ ජනප්‍රියත්වය වේගයෙන් හීන වෙමින් තිබෙනවා. තමන් වෙතින් ගිලිහෙන ජනප්‍රියත්වය රැක ගන්න ඔවුන්ට කාලයෙන් කාලයට මේ වාගේ උප්පරවැට්ටි යොදා ගන්නවා. නීතිඥයෙක් ද වෙන මහින්ද රාජපක්ෂ මහත්තයා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වුණ දේ ගැන නොදැන ඉන්න විදිහක් නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකි බවට ප්‍රතිපාදන දැම්මේම යළිත් මහින්ද රාජපක්ෂ මහතාට කිසිම අවස්ථාවක් නොදෙන්නම තමයි. මේ ගැන ඔහු හෝ ඔහු වටා සිටින කල්ලිය සංවිඥානික නොවෙන්න කිසිම හේතුවක් නැහැ. මේ කරන්නේ සම්පූර්ණයෙන්ම බොරුවක්”

නාඩගම්කාරයෙක් වෙලා ඉවරයි

දේශපාලන ප්‍රවණතා සහ ගමන් මඟ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති ප්‍රවීණ දේශපාලනඥයෙකු වන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට නාගඩම්කාරයෙක් වෙලා අවසන් බවයි.

“1978 ව්‍යවස්ථාවේ ජනාධිපති ධූරය දැරිය හැකි වාර ගණන සම්බන්ධයෙන් තිබුණු ප්‍රතිපාදන මහින්ද රාජපක්ෂ මහත්තයා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කළා. ඒ අනුව ජනතාව පත් කරනවා නම් ඕනෑම වාර ගණනක් ජනාධිපති ධූරය දැරිය හැකියි. ඒක ඉවත් කරලා තමයි 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළේ. දැන් මේ කතා නිකම් ම නිකං විහිළු කතා බවට පත් වෙලා ඉවරයි. මගේ පරණ මිත්‍රයෙක් වන මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් නාඩගම්කාරයෙක් බවට පත්වෙලා ඉවරයි. මේ එතුමා වටේ ඉන්නේ නීතිඥයෝ කියා ගන්න එක එක බමුණෝ එතුමාට දෙන ලණු විතරයි”

ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ සභාපති නීතිඥ ලාල් විජේනායක මහතාට ද අනුව මහින්ද රාජපක්ෂ මහතා මෙවැනි අනුවණ ප්‍රකාශ කරන්නේ ජනතා අවධානය දිනා ගැනීම සඳහායි.

“1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලින්ම තිබුණේ ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ දෙවතාවක් පමණයි කියලයි. ඒත් මහින්ද රාජපක්ෂ මහතාම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙවතාවට වඩා ජනාධිපතිධූරය දැරිය හැකි බවට ව්‍යවස්ථාව වෙනස් කළා. නමුත් වත්මන් ආණ්ඩුව දින සියයේ වැඩපිළිවෙළ යටතේ ඉදිරිපත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නැවත පෙර තිබූ තත්ත්වයටම ව්‍යවස්ථාව සංශෝධනය කළා. ඒ අනුව පැහැදිලිවම ජනාධිපතිවරයෙකුට දෙවතාවයි බලයට පත්විය හැකි වන්නේ. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ තර්කය වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කලින් සිටි අයට, අතීතයට බලපාන්නේ නැති බවයි. නීතියක් ගෙනාවට පස්සේ ඒක කලින් සිටි අයට බලාත්මක වන්නේ නැහැ කියලා කාටවත් තර්ක කරන්න බැහැ. කොහොම වුණත් මේක අර්ථකථනය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. ඒත් මේ කිසිවක් ඇත්ත වුවමනාවට සිදුවන දේවල් නොවෙයි. ඔවුන් තනිකරම කරන්නේ ජනතාවගේ අවධානය දිනා ගන්න ප්‍රචාරයක් විතරයි. ජනතාවගේ අවධානය දිනා ගන්න තමයි මේ වගේ අනුවණ වැඩ කරන්නේ.

ඉහත සඳහන් කරුණු අනුව අපට පැහැදිලිව පෙනී යන්නේ යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ නෛතික හැකියාවක් මහින්ද රාජපක්ෂ මහතාට නොමැති බවයි. එමෙන්ම එවැනි හැකියාවක් ගැන හිටපු ජනාධිපතිවරයා යළි සමාජ අවධානය යොමු කරන්නේ ජනතා අවධානය දිනා ගැනීමේ අරමුණින් පමණක් වන බවයි.

මහින්ද රාජපක්ෂ මහතාට එක්වරම මෙවැනි ප්‍රවේශයක් වෙත විතැන් වීම සඳහා හේතු වූ දේශපාලනමය කාරණා ගැන අප අපගේ අවධානය යොමු කළ යුතුයි. එවිට වර්තමානය වන විට අති සංකීර්ණභාවයට පත්ව ඇති රාජපක්ෂ පවුලේ බල අරගලය අපට පහසුවෙන් හඳුනා ගත හැකියි.

දේශපාලන අරමුණ වටහා ගැනීම

රාජපක්ෂ පවුල, ඒකාබද්ධ කල්ලිය සහ රෙජිම මාධ්‍ය විසින් මහත් අසීරුවෙන් නඩත්තු කළ ආණ්ඩු විරෝධයේ පදනම් මේ වන විට එක පිට එක බිඳ වැටීම රාජපක්ෂ පවුලේ දේශපාලන සැලසුම් සම්පූර්ණයෙන් අවුල්වීමට හේතු වෙලා තිබෙනවා. එක කිහිප ආකාරයකින් අපට හඳුනා ගත හැකියි.

රාජපක්ෂ බල ව්‍යාපෘති සැලසුම් සම්පූර්ණයෙන් ව්‍යාකූල වීමට බලපෑ එක් හේතුවක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අතර පවතින අතිසංකීර්ණ බල අරගලයයි. ඒ බව පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ දී පැවැත් වූ උද්ඝෝෂණ ව්‍යාපාරයේ දී මෙන්ම තවත් අවස්ථා රැසකදීම මනාව පැහැදිලි වුණා. බැසිල් රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන ප්‍රාදේශීය සභා දේශපාලනඥයන් ඇතුළු බිම් මට්ටමේ දේශපාලනඥයන් හා දේශපාලන ක්‍රියාකාරීන් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන මිලිටරි බලවේගවලට දක්වන දැඩි විරෝධත්වය මෙහි පදනම වශයෙන් සැලකිය හැකියි. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ මේ දේශපාලන බලවේග දෙක කිසිසේත් එකම වේදිකාවකට ගෙන ඒම කිසිදා කළ නොහැකි දෙයක් බවට පත්ව ඇති බවයි. මේ වන විට මේ විභේදනය ග්‍රාමීය දේශපාලනයේදී පමණක් නොව රාජපක්ෂවරු කරණම් ගසන සමාජ මාධ්‍ය තුළ ද පැහැදිලිව දැකිය හැකි බව ඔවුන් සඳහන් කරනවා. මේ සමඟ බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරා දැඩි අවධානයට ලක් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාම්ප්‍රදායික බලකණු (කුමාර වෙල්ගම ඇතුළු) හා බලවේග ද ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරි හිතවත්කම් හෝ වුවමනා එපාකම් දැඩිව ප්‍රතික්ෂේප කිරීම දැකිය හැකියි. මේ තත්ත්වය තුළ “ඔක්කොම ලුණු රාජපක්ෂ මල්ලට” දමා ගැනීමේ සැලසුම මේ වන විට ව්‍යාකූලත්වයට පත්ව තිබෙනවා. ඒ අනුව වත්මන් දේශපාලන යථාර්ථය තුළ තවදුරටත් “සිරිපාදේට කොහෙන් නැග්ගත් මොකද ?” යන අදහස බිඳ වැටී තිබෙනවා.

“ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරි බැඳීම් මධ්‍යස්ථ හා පාවෙන ඡන්ද අපෙන් ඈත් කරනවා. මේ තත්ත්වය තුළ අපි සතුව තිබෙන අවම සුළුජන ඡන්ද පදනමත් අහිමිවීම වළක්වන්න බැහැ” මේ ලියුම්කරු සමඟ අදහස් දැක් වූ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කනස්ලලු සහගත ස්වරයෙන් ප්‍රකාශ කළා.

හදිසි වෙලා අවුල්කර ගත්ත හැටි

ඔහුට අනුව ජනාධිපතිවරණයට සැලකිය යුතු කාලයක් තිබියදී ඒකාබද්ධ විපක්ෂය විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ මතය ඉදිරියට ගැනීම තුළ බලවත් වරදක් සිදු වී තිබෙනවා.

“අපි බලාපොරොත්තු වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම සමඟ පුළුල් සමාජ අවධානයක් යොමු වෙයි කියලා. ඒත් සිද්ධ වුණේ අපි බලාපොරොත්තු වූ දෙයට හාත්පසින්ම වෙනස් දෙයක්. ආණ්ඩුව පැත්තෙන් වගේම අපේම අයගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැඩි ප්‍රහාරයක් එල්ල වුණා. ඒක අපි කිසිසේත් බලාපොරොත්තු නොවුණ දෙයක්. දැන් අපිට අඩියක් නෙමෙයි දෙකක් පස්සට ගන්න වෙලා තියෙනවා”

ඒකාබද්ධ විපක්ෂය වෙතින් පමණක් නොව මේ තත්ත්වය දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාව අතරින් ද මේ වන විට ක්‍රමයෙන් ප්‍රකාශ වෙමින් පවතී.

“අපි හිතුවේ ආණ්ඩුව අනා ගනියි කියලා. ඒත් දැන් ආණ්ඩුව අපි හිතුවට වඩා වේගයෙන් ජනතාවගේ ආකර්ෂණය දිනා ගනිමින් ඉන්නවා. ඒ වගේම අපිට වටකරලා පහර දෙන තැනට ගොස් සිටිනවා. අගමැතිවරයා, ජනාධිපතිවරයා පමණක් නොවෙයි ඇමැතිවරු වහා දැන් අපිට දැඩිව පහර දෙනවා” ගෝඨාගමනයෙන් ගොඩ යාමට සිහින දකිමින් සිටි ඒකාබද්ධ කල්ලියේ ප්‍රබලයන් බොහෝ දෙනකු අතර මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අපේක්ෂාභංගත්වය අපට පහසුවෙන් වටහා ගත හැකියි.

ආණ්ඩුව ගොඩ යාම

රාජපක්ෂ කල්ලියට තම දේශපාලන න්‍යාය පත්‍රය යළි සකස් කර ගැනීමට තම අභ්‍යන්තර අවුල් සහ බල අරගල හේතුවූවාට වඩා වැඩි බලපෑමක් ආණ්ඩුවේ සංවර්ධන සැලසුම් හා සුබසාධන වැඩපිළිවෙළ මගින් සිදු වූ බව පැහැදිලියි. ආණ්ඩු පාක්ෂිකයන් පවා බලාපොරොත්තු නොවූ ආකාරයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් සහ සුබසාධන ව්‍යාපෘති රැසක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළේ ඒකාබද්ධ විපක්ෂයේ පමණක් නොව තවත් බොහෝ පාර්ශ්වයන් විස්මයට පත් කරමින් බව පැහැදිලි කරුණක්.

“ඇත්තටම අපිට සිද්ද වුණේ පුස්ස බින්දා වාගේ වැඩක්. ප්‍රාදේශීය සභා ඡන්දේ ජයග්‍රහණය අපිට තව දුරටත් නඩත්තු කරන්න බැරි වෙලා තියෙනවා. ගමේ වැඩ කරන්නේ අපේ සභාපතිවරු, මන්ත්‍රීවරු නෙමෙයි. එජාපයෙන්, ශ්‍රීලනිපයෙන් ඡන්දේ ඉල්ලා පරාද වුණු අපේක්ෂකයෝ. ගම්පෙරළිය, ව්‍යවසාය ශ්‍රී ලංකා, ග්‍රාම ශක්ති වැඩවලින් ගමට සල්ලි එන්නේ ඒ අය හරහා. මේ ගැන අපිට තක්සේරුවක් තිබුණේ නැහැ. අපේ සභාපතිවරු, මන්ත්‍රීවරු දැන් අවලංගු කාසි වාගේ තත්ත්වෙට පත් වෙලා” මේ ලියුම්කරු සමඟ අදහස් දැක්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් කනස්සලු සහගත ස්වරයෙන් ඉහත සඳහන් කරුණු හෙළි කළා.

“ගමේ දුප්පත් මිනිස්සුන්ට නිවාස ආධාර දෙන්න, පාරවල් හදන්න විතරක් නෙවෙයි බැංකු ණය පවා දෙන්න මේ පරාජිත අපේක්ෂයන්ට හැකියාව තියෙනවා. පහුගිය කාලේ පුරාම මේ මිනිස්සු හිටියේ අපි එක්ක. අපිට ඒ මිනිස්සුන්ව දිනා ගන්න පුළුවන්කම තිබුණා. ඒත් දැන් ඒ තත්ත්වේ වේගයෙන් දුර්වල වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව පෙන්නලා දැන් මේ මිනිස්සුන්ව ගොඩ දාගන්න බැහැ. ඒ නිසා වෙන්න ඕන මහින්ද මහත්තයා ආයිත් එළියට එන්න හදන්නේ.” ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බලාපොරොත්තු සහගත ස්වරයෙන් ප්‍රකාශ කළා.

ආණ්ඩුව ගැන කළකිරීම අවසන්

මොරගකන්ද - කළුගඟ, වයඹ ඇළ, මධ්‍යම පළාත් අධිවේගී මාර්ගය, නිවාස වැඩසටහන, මෙගා නගර ව්‍යාපෘති පමණක් නොව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආදි වශයෙන් මේ වන විට රට පුරා වේගයෙන් සිදුවන සංවර්ධන ව්‍යාපෘති මගින් රාජපක්ෂ කල්ලිය තුළ කම්පනයක් ඇති කරනවාට සමගාමීම ආණ්ඩුව ගැන කිසියම් කළකිරීමක සිටි ජනතාව තුළ ද ප්‍රබල උත්තේජනයක් ඇති කිරීමට හේතු වෙලා තිබෙනවා. මේ තත්ත්වය මහින්ද රාජපක්ෂ යුගයේ කොන්ක්‍රීට් සංවර්ධනය සහ මෛත්‍රී-රනිල් යුගයේ තිරසාර සංවර්ධනය පහසුවෙන්ම සංසන්දනය කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කර තිබෙනවා. මේ තත්ත්වය මත රාජපක්ෂ කල්ලිය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රබලම චෝදනාව නිශේෂධනය වෙනවා පමණක් නොව ආණ්ඩුවට අහිමි වී තිබූ ජන කොටසක් දිනා ගැනීමේ පහසු අවස්ථාවක් ද නිර්මාණය කර තිබෙනවා. ග්‍රාමීය ජනතාව යළි දිනා ගැනීමට අවස්ථාව ලැබෙන මේ සංවර්ධන ව්‍යාපෘතිවලට සමගාමීව මධ්‍යම පාන්තික උගත් පුරවැසියන් ද යළි දිනා ගැනීමට විශේෂ මහාධිකරණය පිහිටුවීම ඇතුළු පුළුල් වැඩපිළිවෙළ හරහා ආණ්ඩුවට මේ වන විට හැකියාව නිර්මාණය වෙමින් පවතිනවා.

ඉහත සඳහන් තත්ත්වයන් රාජපක්ෂ කල්ලිය කිසිසේත් අපේක්ෂා කළ දේවල් නොවෙයි. ඔවුන් ඉතාම පැහැදිලිව බලාපොරොත්තු වුණේ රාජපක්ෂ පාලනය විසින් උරුම කර දුන් අගාධයෙන් ගොඩඒමට මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවට කිසිමදාක අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි. එහෙත් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය තහවුරු කර ශක්තිමත් කිරීමෙන් පමණක් නොනැවතී රාජපක්ෂ ණය උගුලෙන් රට බේරා ගන්න අතරතුර ජනතාවට දැවැන්ත සංවර්ධන සහ සුබසාධන ප්‍රතිලාභ ලබාදීමේ හැකියාව මේ වන විට යහපාලන ආණ්ඩුවට හැකියාව ලැබී තිබෙනවා. රාජපක්ෂ සිහින බිඳ දමමින් ජනතාවගේ සිහින ඉටු කළ තෙවසරක් ඉතා ජයග්‍රාහීව සැමරීමට ආණ්ඩුව හැකියාව ලැබී තිබෙනවා. මේ තත්ත්වය තුළ 2020 දී මහින්ද රාජපක්ෂ මහතා නොව විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ශක්‍රයා ඉදිරිපත් වුවත් නියත පරාජයක් උරුම වන පරිසරයක් නිර්මාණය වෙමින් තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාණෙනි, යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මතය විමසා ජනමතය උරගා බැලීමට පැමිණෙන්න !

සටහන භාතිය බරුකන්ද

නව අදහස දක්වන්න