කලා බදු! | දිනමිණ

කලා බදු!

එක්තරා කාලයක දී පාලකයාගේ ආඥාව මත කලා කෘති නිර්මාණය විය. තව කාලයකදී රාජ්‍ය අනුග්‍රහය මත කලා කෘති නිර්මාණය විය. තවත් කාලයක දී කලාව හැදෑරීම, ආස්වාදය විඳීම හා කලාවේ අයිතිය ප්‍රභූ පන්තියට සීමා විය. එහෙත් අද වන විට කලාව හා සාහිත්‍යය පොදු ජනතාවගේ ය. පොදු ජනයාගේ ආස්වාදය පිණිස ද ඔවුන්ගේ ජීවිතාවබෝධය වර්ධනය කරනු පිණිස ද කලාව හා සාහිත්‍යය භාවිත කරනු ලැබේ. එහෙත් කලාව හා රජය අතර පවත්නා සම්බන්ධය එයින් ගිලිහී යන්නේ නැත. රටක පාලක පන්තිය මෙන් ම, පාලන ක්‍රමවේදය ද කලාව හා සාහිත්‍යය කෙරෙහි යම් බලපෑමක් සිදු කරයි. එය වැළැක්විය හැකි සාධකයක් නො වේ.

කලාකරුවන් ඉහත මාතෘකාව සම්බන්ධයෙන් ප්‍රබල සංවාදයක යෙදී සිටින බව දැකගත හැකි ය. මේ සංවාදයෙන් මත කිහිපයක් ඉස්මතු වී ඇත. එක මතයකින් කියැවෙන්නේ පාලක පන්තිය හා රජය සියලු කලා කටයුතුවලින් ඉවත් විය යුතු බව ය. තව මතයකින් කියැවෙන්නේ ‍රටේ පවත්නා බදු ක්‍රමයෙන් කලාකරුවා නිදහස් කළ යුතු බව ය. තවත් මතයකින් කියැවෙන්නේ වාරණය මුළුමනින් ම ඉවත් කළ යුතු බව ය. පොදුවේ ගත්කල මේ මතවාදවල ඇත්තක් ‍ෙමන් ම නැත්තක් ද ‍තිබේ. නිදසුනක් ‍ගතහොත් රටේ බදු නීතිය ගතහොත් එය කාටත් එක සමාන විය යුතු ය. නීතියක් ඉදිරිපිට කලාකරුවකු සුවිශේෂ වරප්‍රසාද ලැබිය යුතු නැත. එහෙත් මුදල් අමාත්‍යවරයා කලාකරුවන් සඳහා බදු සහන ලබා දී තිබේ.

ආණ්ඩුව හඳුන්වා දුන් නව බදු ක්‍රමය කලාකරුවන්ගේ දෝෂ දර්ශනයට ලක් විය. ඔවුන්ගේ එක් තර්කයක් වූයේ දුප්පත් කලාකරුවන් මේ නිසා ම නිර්මාණ ජීවිතය අතහරින්නට ඉඩ ඇති බව ය. තර්කයෙහි ඇති ඇත්ත - නැත්ත කුමක් වුව ආණ්ඩුව කලාකරුවන්ට ඇහුම්කන් දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස බද්ද අඩකින් පහළට ගොස් ඇත. තව ද බදු අයකිරීමේ ආදායම් සීමාව ඉහළ දමා ඇත. මෙය වැදගත් පියවරක් ලෙස සැලැකිය හැකි ය. කලාව හා කලා නිර්මාණ ආදායම් උපදවන ක්‍රියාවලියක් ‍වී ඇති බැවින් ද ඒවා ව්‍යාපාර ලෙස ගණනය කළ යුතු බැවින් ද ආදායම් බදුවලින් මුළුමනින් ම නිදහස් කිරීමේ හැකියාවක් නැත. කිසිදු රාජ්‍යයක් එබඳු පියවරකට යන්නේ ද නැත. සංශෝධිත බදු ක්‍රමයට අනුව කලාකරුවන් සඳහා බලපවත්වන බද්ද ගිය ආණ්ඩුව ඒ වෙනුවෙන් අයකළ මුදලට වඩා අඩු ය.

කලාවේ වාරණය සම්බන්ධයෙන් කතිකාවක් පවතී. එයට අදාළ ආසන්න සිද්ධිය වන්නේ ගුවන් විදුලි නාට්‍ය කිහිපයක් වාරණයට ලක්වීම ය. වාරණයට අදාළ හේතු පාඨ වශයෙන් දක්වා ඇත්තේ බුදුදහම විවේචනය කරන වචන සමූහයක් එම නාට්‍ය තුළ ඇතැ’යි යන්න ය. ආගම් හා දර්ශන කලාව ඔස්සේ විවේචනය කළ නො හැකි ද යන්න තවත් ගැටලුවකි. බුදු සිරිත විවේචනයට හා විචාරයට ලක්කරන කලා කෘති එදත් තිබිණි. අදත් තිබේ. අනාගතයේ දී ද එය වැළැක්විය නො හැකි ය. මුලින් කී නාට්‍යවල තිබූ වචන සමූහය වරදවා වටහා ගැනීම නිසා අවුල ඇතිවූ බවක් ද පෙනී යයි. නිදහසේ අදහස් ප්‍රකාශනයට ඉඩක් තිබිය යුතු වුව ඇතැම් සමාජ කණ්ඩායම් ඊට බාධා කරන බව පෙනී යයි.

එක්තරා කාලයක ඝාතනයට ලක් වූ මාධ්‍යවේදියකු වන රිචර්ඩ් ද සොයිසා ඝාතනය ගැන චිත්‍රපටයක් තැනීමට තමන් උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූ බව මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා තිබේ. ඊට පිළිතුරක් දුන් ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කිසිදු වාරණයක් නැත. චිත්‍රපටය කරගෙන යන්න කියා ය. කිසිවකු ලසන්ත වික්‍රමතුංග ගැන චිත්‍රපටයක් කරන්නේ ද, ප්‍රදීප් එක්නැලිගොඩ ගැන චිත්‍රපටයක් කරන්නේ ද ඒ කිසිවකට වාරණයක් නැතැ’යි මංගල සමරවීර අමාත්‍යවරයා තවදුරටත් කියා තිබේ. කලාව හා සාහිත්‍යය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය මෙයින් පැහැදිලි වෙයි. ජනමාධ්‍ය යනු ද කලාවේ කොටසකි. ජනමාධ්‍ය සම්බන්ධයෙන් පූර්ණ නිදහසක් දැන් පවතී. ආණ්ඩුව හා පාලකයන් විවේචනය කරන පුවත් හා විවරණ අද ජනමාධ්‍යවල වැඩියෙන් ම පළවෙයි.

ආණ්ඩුව ක්‍රියා කරන්නේ කලාවට හා සාහිත්‍යයට අනුග්‍රහය දක්වන තැනෙක සිට යැයි කියන්නට පුළුවන. පෙරේදා පාර්ලිමේන්තුවට ගෙන ආ පනතක් ඔස්සේ අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ආරම්භ වීමට නියමිතය. භාරතයේ තාගෝර් අධ්‍යාපන ආයතනය සේ මේ උසස් අධ්‍යාපන ආයතනය ද පවත්වාගෙන යා හැකි ය. මේ පනත ඉදිරිපත් කරන අවස්ථාවට ජනාධිපතිවරයා ද සහභාගි විය. ඉන් පෙනී යන්නේ පාලකයන් කලාව හා සාහිත්‍යය කෙරෙහි දක්වන සැලැකිල්ල යැයි කියන්නට පුළුවන. හෙළයේ මහා ගාන්ධර්වයා ලෙසින් හඳුන්වන අමරදේව ශූරීන්ගේ සංගීත විලාසය හා ඔහුගේ නිර්මාණ වියැකී යෑමට ඉඩ නොදීම මෙහි අරමුණ බව ජනාධිපතිවරයා කියා ඇත.

ඉදිකිරීමට යෝජිත අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය බඳු ආයතනයක් මීට පෙර අපේ රටේ ඉදි වී නැත. කලාකරුවන් පිරිවරාගත් නායකයන් සිටිය ද කිසිවකු එවැන්නකට අතගැසුවේ නැත. මේ ආයතනය ඉදිකිරීම සඳහා සියලු කටයුතු සූදානම් බව වාර්තා වී ඇත. ආණ්ඩුව රටේ දේශීය චිත්‍රපට කර්මාන්තය නැංවීම සඳහා ද වැදගත් පියවර ගණනාවක් ගෙන තිබේ. රජයේ නාළිකාවල ටෙලිනාට්‍ය විකාශය සම්බන්ධයෙන් පැවැති කොමිස් ගැහීමේ හා අල්ලස් ගැනීමේ ක්‍රමය දැන් මුළුමනින් ම නවතා දමා ඇත. එය එක්තරා අන්දමක පුණ්‍ය-කර්මයක් ලෙස ද සැලැකිය හැකි ය.

කලාව හා සාහිත්‍යය යනු ජනතාවගේ අයිතියකි. එම අයිතිය හොඳින් පවත්වා ගැනීමට කලාකරුවා මෙන් ම ආණ්ඩුව ද වගබලාගත යුතු ය. අවසන් ලෙස ජනතාව ද එහි කොටස්කරුවෙක් වෙති. ජනතාවගේ අයිතිය උදුරා ගැනීමේ වුවමනාවක් ආණ්ඩුවට ඇතැ’යි සිතන්නට තරම් ඇත්ත කරුණු හා සාධක නැත. අපේ රටේ බොහොමයක් සංවාද ඇතිවන්නේ කරුණු වරදවා වටහා ගැනීමෙන් යැයි කියන්නට පුළුවන. දැන් පවතින කලා සංවාදයත් එවැන්නක් යැයි කියන්නට සාධක තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...