දහනමයේ හිලක් තිබේ ද? | දිනමිණ

දහනමයේ හිලක් තිබේ ද?

රටේ පවතින නීතිය ගැනත්; ව්‍යවස්ථාව ගැනත්; රාජ්‍ය පාලනයට සම්බන්ධ ප්‍රමුඛ තානාන්තර ගැනත් සමාජ සංවාදයක් ආරම්භ වී ඇත. මේ කතිකාව එක අතෙකින් යහපත් ය. තව අතෙකින් හානිකර ය. නිදසුනක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් පවතින ගැටුම පෙන්වාදිය හැකි ය. මේ ගැන ශාස්ත්‍රීය සංවාදයක් මතුවීම වැදගත් ය. එයින් මහජනයාගේ අවබෝධය පුළුල් වන අතර පවතින දුර්මත පරාජයට පත්වීමක් ද සිදුවන්නේ ය. එහෙත් පෞද්ගලික අභිමතයට අනුව ව්‍යවස්ථාව විග්‍රහ කිරීම නිසාත්; ඒ සම්බන්ධයෙන් ගොඩපෙරකදෝරු මත ඉදිරිපත් කිරීම නිසාත් රටේ උත්තරීතර නීති රාමුව හෑල්ලුවට ලක්වෙයි.

නීති විශාරදයන්ගේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විෂය පිළිබඳ ප්‍රාමාණික උගතුන්ගේ ද මතයට අනුව 1978 ව්‍යවස්ථාව ඉතා ශක්තිමත් එකකි. රටක් දේශපාලන අවුල්වලින් තොරව පවත්වාගැනීම සඳහා ද පාලන ව්‍යුහය ශක්තිමත් කරගැනීම සඳහා ද එබඳු ව්‍යවස්ථාවක් අවශ්‍ය වේ. රාජ්‍ය පාලනයට මෙන් ම එහි තානාන්තරවලට ද අදාළ පැහැදිලි වගන්ති 1978 ව්‍යවස්ථාවේ පවතී. එහෙත් වරින්වර ඊට ඇතුළත් කර ඇති සංශෝධන නිසා මූලික නීතිය පිළිබඳ අවුල්සහගත තැන් ද තානාන්තර පිළිබඳ අපැහැදිලි තැන් ද ඉස්මතු වී ඇත. දහ අටවන සංශෝධනය මෙන් ම දහනව වන සංශෝධනය ද මේ අයුරින් අභියෝගයට ලක්වන බවක් පෙනෙන්නට තිබේ.

බැලු බැල්මට දකින්නට ඇත්තේ පාර්ශ්ව දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙකට බෙදාගෙන වාද කරන බවය. මේ වාදයට හේතුවී ඇත්තේ සරල සාධකයකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු විය හැකි ද යන්න එම සරල සාධකය යි. එහෙත් පවත්නා දේශපාලන සන්දර්භය තුළ එය ජාතික ගැටලුවක් තරමට බරසාර වී ඇත. පාර්ශ්ව දෙක ම තම දේශපාලන ඉලක්ක මත තර්ක කරන බවක් ද පෙනෙන්නට තිබේ. ඇතැම් පුද්ගලයන් තම සීමා නීර්ණ ඉක්මවා ගොස් ඉහත කරුණ සම්බන්ධයෙන් මත පළකරන බව ද පෙනෙයි. තව පුද්ගලයන් නීතිමය රාමු හඳුනා නො ගෙන හැඟුම්බර ප්‍රකාශ නිකුත් කරන බව ද දැකගත හැකි ය.

හිටපු අගවිනිසුරුවරයකු වන සරත් එන්. සිල්වා මහතා සම්බන්ධයෙන් ද මෙබඳු ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇත. ඔහු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මතවාදයක් ගෙන යන අතර ම ඇතැම් නෛතික අවස්ථාවලදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින බව ද වාර්තා වී ඇත. කීත් නොයාර් සිද්ධියට අදාළ විමර්ශනවලදී රහස් පොලිසිය මහින්ද මහතාගෙන් ප්‍රශ්න කළේ ය. එම අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් හිටපු අගවිනිසුරුවරයා පෙනීසිට ඇති බව ජනමාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය විය. හිටපු අගවිනිසුරුවරයකුට මෙවැන්නකට පෙනීසිටිය නොහැකි බව ද, එසේ පෙනී සිටීම නීති - විරෝධී ක්‍රියාවක් බව ද සඳහන් ය. නීතිඥ කණ්ඩායමක් මීට ‍එරෙහිව ක්‍රියාකිරීමට සූදානම් වෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110;03 වගන්තියේ සඳහන් වන්නේ විශ්‍රාමික අගවිනිසුරුවරයකු ක්‍රියා කළ යුතු ආකාරය ගැන ය. එම වගන්තියට අනුව විශ්‍රාමික අගවිනිසුරුවරයකුට කිසියම් පුද්ගලයකු හෝ කිසියම් පාර්ශ්වයක් හෝ වෙනුවෙන් නීති නියෝජිතයකු ලෙස පෙනීසිටීම තහනම් ය. ප්‍රසිද්ධියේ නීති උපදේශකයකු ලෙස පෙනීසිටීමේ අවස්ථාව ද එයින් අහුරා ඇත. එහෙත් සරත් එන්. සිල්වා මහතා ඉහත කටයුතු දෙක ම ඉටුකරමින් සිටින බව පැහැදිලි ය. මහින්ද රාජපක්ෂ මහතාට තෙවන වරට ද ජනාධිපති පදවිය සඳහා තරග කළ හැකි ය යන මතවාදය සමාජය වෙත ගෙන යන ප්‍රධාන චරිතක් හැටියට ද ඔහු හඳුන්වා දිය හැකි ය. ඒ හැරෙන්නට මහින්ද මහතා අතීත වැරැදිවලින් නිදහස් කර ගැනීමට ද ඔහු දායකත්වයක් ලබාදෙයි. කීත් නොයාර් සිද්ධියට අදාළ විමර්ශනවලට උත්තර බැඳීම සඳහා සරත් එන්. සිල්වා මහතා ද සහභාගි වීමෙන් එය තහවුරු වෙයි.

සරත් එන්. සිල්වා මහතා යනු නීති ක්ෂේත්‍රයේ පමණක් නො ව; දේශපාලන ක්ෂේත්‍රයේ ද ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු අගවිනිසුරු ධුරයට පත්කිරීම හා නීතියේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් වැදගත් කෘතියක් දේශපාලන විචාරකයකු වන වික්ටර් අයිවන් මහතා විසින් සම්පාදනය කර තිබේ. එම කෘතිය හඳුන්වා ඇත්තේ “අධිකරණ ස්වාධීනත්වය උදෙසා නොනිමි අරගලය” යනුවෙන් ය. මේ කෘතියට අනුව සරත් එන්. සිල්වා මහතාගේ පදවි කාලය අපේ නීතියේ හා අධිකරණයේ දූෂිතම පරිචේඡේදයක් සටහන් කර තිබේ. කතුවරයාට අනුව ඔහු අගවිනිසුරු පදවියට පත්කිරීම පවා වැරැදි තීරණයකි. බැලූ බැල්මට පෙනෙන සත්‍ය වන්නේ දේශපාලකයන්ගේ බලවත්භාවය සලකා සරත් එන්. සිල්වා මහතා සිය මතවාද හා තර්ක ගොඩනඟන බව ය.

ඉතිහාසය විමසනවිට පැහැදිලි වන්නේ එක් වරක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මේ ගැටයට හසු වූ බව ය. සිල්වා මහතා අගවිනිසුරු පදවියට පත්කරන්නේ චන්ද්‍රිකා මැතිනිය යි. යළි මහින්ද රාජපක්ෂ මහතා ද එයම සිදුකළේය. පසුකලෙක සරත් එන්. සිල්වා මහතා ජාතියෙන් සමාව ගත්තේ ය. හේතුව මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති පදවියට තරග කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කරදීම ය. එය සිදුවූයේ 2004 දී ය. මේ ඉතිහාසයෙන් හිටපු අගවිනිසුරුවරයා ගැන මූලික හැඳින්වීමක් ලබාගත හැකි ය. ඔහු තමාට හිතෛෂී පුද්ගල චරිත හුවා දැක්වීම සඳහා නීතිය නමන පුද්ගලයකු යැයි කිවහොත් එය අසත්‍යයක් නොවනු ඇත. දැන් මහින්ද රාජපක්ෂ මහතාට තෙවන වරටත් ජනපති ධුරයට පත්විය හැකි යැයි කියන ප්‍රධාන පුද්ගලයා ද ඔහු ම වෙයි.

සරත් එන්. සිල්ව‍ාගේ මතයට අනුව දහනව වන ව්‍යවස්ථා සංශෝධනයේ හිලක් තිබේ. එම හිලෙන් රිංගා ගොස් තෙවන වරටත් ජනාධිපති ධුරයට පත්වීමේ හැකියාව මහින්ද මහතාට ඇති බව ඔහුගේ අදහසයි. මේ ගැටලුව විසඳාගත හැක්කේ නීතියේ අර්ථ නිරූපණවලට අනුව මිස ගොඩපෙරකදෝරු මතවලට අනුව නො වේ. මහින්ද මහතාට තෙවන වරටත් පත්විය හැකි නම්; 19 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිදු අර්ථයක් නැති සංශෝධනයක් වනු ඇත. එය එසේ විය හැකි ද?

 

නව අදහස දක්වන්න