අගරදගුරුතුමන්ට සවන් දෙමු...! | දිනමිණ

අගරදගුරුතුමන්ට සවන් දෙමු...!

අප දන්නා හැටියට; කිසිදු ආගමික නායකයකු වගකීම් විරහිත ප්‍රකාශ සිදු කරන්නේ නැත. ආගමික නායකයන් සමාජ ප්‍රශ්න කෙරෙහි අවධානයකින් සිටින නමුදු එම ප්‍රශ්න අලළා හැඟුම්බර වචන භාවිත කිරීම එතුමන්ගේ සම්ප්‍රදාය නො වේ. හැමවිටම කරුණු නිරීක්ෂණය කොට අදහසක් ප්‍රකාශ කිරීම උන්වහන්සේගේ සිරිත හා චාරිත්‍රය වේ. ඒ අනුව මෙබඳු ප්‍රකාශවලට ඇති සමාජ වටිනාකම වැඩි ය. එලෙස ම ඒ කෙරෙහි පවත්නා සමාජ ආකර්ෂණය ද වැඩි ය. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ද එබඳු වැදගත් ප්‍රකාශයක් සිදු කරති. ඒ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ය.

මට වෙඩි තබා මරා දැමුවත්; මත්ද්‍රව්‍ය නිවාරණයට සහයෝගය දැක්වීම නවත්වන්නේ නැතැ’යි උන්වහන්සේ කියා සිටිති. කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් එල්ලුම් ගස වෙත යැවීම හෝ වෙන ම දූපත්වල රඳවා තැබීම හෝ නරක දෙයක් නො වන බව අගරදගුරුතුමන් ගේ අදහස ය. රටේ අනාගතය වන දරුවන් දෙස බලන විට කුමන හෝ ක්‍රමවේදයක් අනුගමනය කොට මත්ද්‍රව්‍ය ජාවාරම අවසන් කළ යුතු යැයි සාමාන්‍ය පුද්ගලයෝ පවා කියා සිටිති. මෙයින් පෙනී යන්නේ රට මත්ද්‍රව්‍ය ජාවාරම ඔස්සේ බලවත් කම්පනයකට පත් වී ඇති බව ය. මෙය වළක්වා නොගතහොත් දරුවන්ගේ අනාගතය ගැන කතා කිරීම නිකම්ම විහිළුවක් බවට පත් වේ.

අගරදගුරුතුමන් මීට පෙර අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය නිසා රටට සිදු වන විනාශය ගැන කතා කර තිබේ. උන්වහන්ස්ගේ අදහස වන්නේ ආගමික නායකයන් පෙරට’විත් මත්ද්‍රව්‍ය නිවාරණයට සහයෝගය දැක්විය යුතු බව ය. එය බෙහෙවින් ප්‍රායෝගික හා ප්‍රතිඵලදායක යෝජනාවක් ලෙස සැලකිය හැකි ය. රටේ සියලුම පන්සල්, පල්ලි හා දේවස්ථාන ඔස්සේ මත්ද්‍රව්‍ය නිවාරණය ආරම්භ කළහොත් ඒ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ හැකි ය. ඒ හැරත් ආගමික සිද්ධස්ථාන ඔස්සේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ශක්තිමත් සංවිධානයක් ඇති කළහැකි ය. එබඳු සංවිධාන මඟින් සමාජ ව්‍යසන වැළැක් වූ අවස්ථා එමට තිබේ.

මත්ද්‍රව්‍ය නිවාරණයට එරෙහි වීම තුළ බලවත් අවදානමක් ද තිබේ.අගරදගුරුතුමන්ගේ ප්‍රකාශයෙන් ද එය පැහැදිලි වෙයි. මට වෙඩි තැබුවත් මත්ද්‍රව්‍ය නිවාරණයට දක්වන සහයෝගය නොනවත්වන බව උන්වහන්සේගේ ප්‍රකාශය යි. කුඩු ජාවාරම්කාරයන් බෙහෙවින් බලවත් ය. ඔවුන්ට විදේශීය සබඳතා තිබේ. අවි - ආයුධ තිබේ. සන්නද්ධ කල්ලි තිබේ. රුපියල් කෝටි ගණනින් සල්ලි තිබේ. ඒ හැරත් හිරගෙදර සිට පවා ජාවාරම මෙහෙයැවීමේ හැකියාව කුඩු ව්‍යාපාරිකයන්ට තිබේ. මෙබඳු වටපිටාවක් තුළ රංජිත් මැල්කම් අගරදගුරුතුමා සිදු කර ඇත්තේ නිර්භීත ප්‍රකාශයකි.

අමෙරිකාවේ තුවක්කු සංස්කෘතිය ගැන නැවත සිතා බලන්නට එහි ආණ්ඩුවට දැන් සිදුවී ඇත. එරට නීතියට අනුව කෙනකුගේ ආරක්ෂාව සඳහා ගිනි අවියක් භාවිත කිරීමේ තහනමක් නැත. සාප්පු සංකීර්ණ වෙතින් ගිනි අවි මිලට ගැනීමේ හැකියාව ද පවතී. තුවක්කුකරුවන්ගේ සමාජ සංවිධාන ද එරට පවතී. මේ සියල්ලෙහි ප්‍රතිඵලය ලෙස මාස කිහිපයකට වරක් සමූහ ඝාතනයක් ගැන අමෙරිකාවෙන් වාර්තා වෙයි. මීට දින දෙකකට ඉහත දී තවත් එබඳු සිද්ධියක් වාර්තා විය. අමෙරිකාව මේ තත්ත්වය වළක්වා ගැනීමට නම්; අලුත් උපාය මාර්ග සෙවිය යුතු බව පෙනී යයි. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමෙහි තත්ත්වය ද එය ම වේ. එය වැළැක්වීමටද අලුත් උපාය මාර්ග භාවිත කළ යුතු ය.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා බරපතළ වැඩ කොටසක් රට තුළ සිදු වෙයි. ජනාධිපතිවරයා පවා ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් ක්‍රියා කරයි. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විශේෂ මෙහෙයුම් ද පවතී. දිනපතාම පාහේ බඩුත් සමඟ කුඩු ජාවාරමට සම්බන්ධ අපරාධකාරයන් ද අත්අඩංගුවට ගනුලැබේ. එහෙත් කුඩු ජාවාරම නැවතී නැත. මීට දින දෙකකට ඉහත දී ද රුපියල් ලක්ෂ ගණනක් වටිනා කුඩු සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනිණි. ප්‍රශ්න කිරීමේ දී සැකකරුවා කියා ඇත්තේ මේ ජාවාරමේ ප්‍රධානියා හිරගෙදර සිටින බව ය. සිරකරුවන් පමණක් නොව; ඇතැම් බන්ධනාගාර නිලධාරීන් ද කුඩු ජාවාරමට සම්බන්ධතාවක් පවතින බව හෙළිදරව් වී ඇත. ජාවාරම මෙන්ම ජාවාරමට සම්බන්ධ ජාලය ද ඉතා ශක්තිමත් බව පැහැදිලි ය.

ජනාධිපතිවරයා එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන විට ඊට කැමැත්ත පළ කළ අය සේම ඊට විරුද්ධ වූ අය ද වූහ. ඊට එරෙහි ව අදහස් දැක් වූ සංවිධාන ද තිබිණි. ඔවුන්ගේ අදහස වූයේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක් බව ය. අනෙක් අතට එය ප්‍රජාතන්ත්‍රවාදයට නොගැළපෙන බව ය. අගරදගුරුතුමන්ගේ අදහස වුව කෙනකු වරදවා වටහාගන්නට පුළුවන. උන්වහන්සේ මිනිස් ඝාතන අනුමත කරන්නේ යැයි කියන්නට පුළුවන. අගරදගුරුතුමන් එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම එකම විසැඳුම යැයි කියන්නේ නැත. උන්වහන්සේගේ අවධානය යොමු වී ඇත්තේ අපේ දරු පරපුර කෙරෙහිය. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පළමු කොන්දේසියක් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණය දැක්විය හැකි ය.

ජනාධිපතිවරයා වරක් කියාසිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙන් ම එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට යෑම සම්බන්ධයෙන් ද විවේචන කරන අය සිටින නමුදු උවදුර වැළැක්වීම සඳහා සහයෝගය ලබාදෙන අය ඉතා අඩු බව ය. එය පොදු සමාජය දෙස බලනවිට හොඳින් තහවුරු වෙයි. බොහෝ දෙනා විවේචනයට දක්ෂ ය. තර්ක ගොඩනැඟීමට ද දක්ෂය. එහෙත් ප්‍රතිඵලදායක වැඩ කොටසක් ඉටු කිරීමට ඉදිරිපත් වන අය හිඟය. කටින් බතල හිටවන අය සමාජයේ වැඩි බව මෙයින් පෙනීයයි. අද අපට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික ලෙස වැඩ කරන නායකයන් ය. එසේ වැඩ කරන නිලධාරීන් ය.

අගරදගුරුතුමන්ගේ අදහස වන්නේ මත්ද්‍රව්‍ය නිවාරණයට සෑම ආගමික නායකයකුම සහයෝගය දැක්විය යුතු බව ය.

කුමන තත්ත්වයක් යටතේ වුව; දුම්පානය සැලැකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. දුම්පානය ශීඝ්‍රයෙන් පහළ යන අතර දුම්වැටි නැති නගර ගණනාවක් රටේ ඇත. මෙයින් තහවුරුවන වැදගත්ම අදහස නම්; මත්ද්‍රව්‍ය ජාවාරම ද නැවැත්විය හැකි බව ය. අවශ්‍ය වන්නේ ඒ සඳහා සංවිධාන ගත වීම ය.

නව අදහස දක්වන්න