මම මහලු වයසේ නැතිය කවි ගායනා පෙර සේ | දිනමිණ

මම මහලු වයසේ නැතිය කවි ගායනා පෙර සේ

අස්රාර් ජමායි නමැති උර්දු කවියාගේ තුරුණු වියේදී ඔහුට හොඳ ඉල්ලුමක් තිබුණි. නොයෙක් උත්සවවලදී ඔහුට කවි ගායනය සඳහා ඇරැයුම් ලැබුණි. උපහාසාත්මක දෙපේළි කවි කීමෙහි හපනෙකු වූ අස්රාර්, නිර්දය සමාජ-දේශපාලන විවේචකයකු ලෙසද ප්‍රකටව සිටියේය.

ක්‍රම ක්‍රමයෙන්, ඒ ‘හොඳ කාලය’ මේ කවියා අතැර යන්නට විය. අවසානයේදී ඔහුට ඉතිරි වූයේ, පත්ඉරු රැසක ලියූ කවි ගොන්නත් රජයෙන් ලැබෙන රුපියල් 1500ක ආධාර දීමනාවත් පමණි.

එක් දිනෙක එම දීමනාව ලබා ගැනීමට බැංකුවට ගිය ඔහුට දැන ගැනීමට ලැබුණේ එය නතර කොට ඇති බවකි. කැළඹීමට පත් අස්රාර්, රජයේ නිලධාරියෙකු හමුවීමට ගොස් තම දුක් ගැනවිල්ල කියා සිටියේය. (ඔහු මෙම ආධාර දීමනාවන් ලබා දෙන පුද්ගලයාය.)

අස්රාර්ට ලැබුණේ, සිනා උපදවන පිළිතුරකි. ‘ඔබේ දීමනාව නතර කිරීමට හේතුව, පසුගිය කාලෙම ඔබ කිසිම ලියවිල්ලක් පුරවා අපට ලබාදී නොතිබීම. ඒ අනුව, අපට තීරණය කිරීමට සිදුවුණා, ඔබ මිය ගොසින් බව.’

මහලු අස්රාර්ගේ මුවඟට සරදම් සිනාවක් නැඟුණි.

‘ලියවිලි මොකටද මහත්තයා, අස්රාර් ජමායි ඔබ ඉදිරියේ පණ පිටින් පෙනී ඉන්න කොට?’

එහෙත්, රජයේ නිලධාරියා කියා සිටියේ, නියමිත ලේඛන පුරවා, ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව නීත්‍යානුකූලව සනාථ කළ යුතු බවය.

වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නැති හෙයින් අස්රාර් කවියා පත්වූයේ බලවත් දුෂ්කරතාවකටය. එකල ඔහු ලියූ කවක් මෙසේය.

දිවිය යනු මියැදෙන අතරම

දිවි ගෙවීමය.

උමතු මිනිසෙකුගේ සිහිනයක්

බඳුය එය.

අස්රාර් නම් වන මට

කීමට ඇත්තේ මෙපමණකි

දිවිය යනු කියැවීම සහ මධුවිත පමණකි.

අස්රාර්ට, ජීවත්වීම සඳහා, දොරින් දොරට යාමට සිදුව ඇති බව දැනගත් කීප දෙනෙක් එය සමාජ ජාලා මඟින් හෙළිදරව් කළහ. ඒ දුටු දිල්ලියේ මධ්‍යම රජයේ සමාජ සුබසාධන ඇමැති, අස්රාර් හමුවීමට ඔහුගේ කුඩා නිවසට ගියේය. විස්තර විමසූ ඇමැති, කවියාගේ දීමනාව නැවත ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එයින් පසු එය රුපියල් 2500 දක්වා වැඩි කෙරුණි. එහෙත්, දිල්ලිය වැනි නගරයක එබඳු මුදලකින් පැවැත්ම අසීරුය.

සමාජ ජාලා මගින් කෙරුණු ඉල්ලීමක් අනුව, කිසියම් සංවිධානයක් ඉදිරිපත්ව 2017දී, අස්රාර්ට රුපියල් 80,000ක මුදලක් එකතු කර පිරිනමන ලදී. මිතුරෙකුගේ පුතෙකු, අස්රාර්ගේ නිවාස කුලිය ගෙවීම බාර ගත්තේය. එහෙයින් දැන් 80 හැවිරිදි වියේ පසුවන මේ කවියා, පෙරට වඩා හොඳින් ජීවත් වනු ඇතැයි සිතිය හැක.

අස්රාර් ජමායි, 1938 දී බිහාරයේදී උපත ලැබුවේ, බොහෝ දේපළ හිමි ෂමින්දාර්වරයෙකුගේ දරුවෙකු වශයෙනි. ඔහුගේ මුල් නම අස්රාර් අල්හක්ය. පියාගේ මරණයෙන් පසු, දේපළ අයිතිය පිළිබඳ ගැටලු මතුවිය. මවද අකාලයේ මිය ගියෙන්, අස්රාර්ට නිවසින් පිටමං වීමට සිදුවිණි. ඉඩකඩම් අයිතිකර ගත් අස්රාර්ගේ බාල සොහොයුරා, ඔහු නොසලකා හැරියේය. ඒ පිළිබඳව අස්රාර් කතා කරන්නේ හැඟුම්බරවය.

‘මොනවා කළත්, ඔහු මගේ සොහොයුරා, මා ඔහු හමුවන්නට ගොස්, ආදරයෙන් ඔහු වැලඳ ගන්නවා. ඒත්, ඔහුට මා අජීවි භාණ්ඩයක් පමණක් බව මට හැඟෙනවා.’

අස්රාර් ලියු මේ කවද, ඒ බිඳුණු සොයුරු පෙම තුළින් උපන්නකි.

ජමායි අස්රාර් අසරණය

කිව යුත්තේ කුමක්ද මා ඔබට

සොයුරු පෙම තුළ

ඉතිරිව නැත සෙනෙහස

ඉදින් අසරණය මා

පිදුරු ගොඩක් සේ.

බිහාරයේදී ද්විතීය පාසලක උගත් අස්රාර් ජමායි පසුව රාන්චි විශ්වවිද්‍යාලයට පිවිසෙයි. එහිදී ඔහුට පසු කලෙක, ඉන්දියාවේ ප්‍රථම මුස්ලිම් ජනාධිපතිවරයා බවට පත් වූ ශකීර් හුසේන් යටතේද උගැන්මට හැකිවෙයි.

ඉන්දියානු නායකත්වයට පත්, ජවහර්ලාල්නේරු, අබ්දුල් කලාම්, රජිව් ගාන්ධි හා රාජේන්ද්‍ර ප්‍රසාද් (පළමු ජනාධිපති) ආදින්ද, අස්රාර් කවියාට හමුවී ඇත.

ශිෂ්‍ය අවධියේදී, අගමැති නේරු හමුවීමේ සිද්ධියක් ගැන අස්රාර් මතකයට නංවන්නේ සුපුරුදු උපහාසයෙන් යුතුය.

‘නේරුතුමා මගෙන් නම ඇහුවා. මම මගේ මුස්ලිම් නම වෙනුවට, මෝතිලාල් කියන හින්දු නම කිව්වා. ඔහු ඉන් සතුටට පත්ව, බොහොම හොඳයි කියමින් හිස සැළුවා.’

කවියෙකු වශයෙන් මෙන්ම, පුවත්පත් කලාවේදියෙකු වශයෙන්ද බලවතුන් ඉදිරියේ දෙකට නොනැමෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ හෙයින්, අස්රාර්ට, ‘බිහාරයේ අභිමානය’ යනුවෙන් විරුද නාමයක්ද ලැබුණි.

වසර ගණනාවක් ඔහු ‘පෝස්ට්මෝටම්’ (පශ්චාත් මරණ පරීක්ෂණය) නමැති සඟරාවක කතුවරයා වශයෙන් කටයුතු කළේය. අගමැති නරසිංහ රාඕ සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණු අවස්ථාවක, අස්රාර් ඔහුව හඳුන්වා දෙනු ලැබුවේ ‘මේ තමයි පෝස්ට්මෝටම් කර්තෘ’ යනුවෙනි. ඒ අසා සිනාසුණු අගමැති රාඕ මෙසේ කීය.

‘ඔව් මම දන්නවා. මෙයා කවද හරි මගෙත් පෝස්ට්මෝටම් එක කරයි.’

කවි ගායනයක් පැවති අවස්ථාවක, දක්ෂිණාංශික හින්දු සංවිධානයක් වු VHP හි සභාපති අශෝක් සින්නාල්ද එහි පැමිණ සිටියේය. තම වාරය පැමිණි පසු, අස්රාර් මෙසේ ගායනා කළේය.

“භාරත මාතාව වැළපෙයි

ඇගේ දරු කැළ කුළල් කා ගනු දැක

අශෝක් සිග්නාල්, ඔබට පෙනේද

මගේ දෑසේ නැ‍ඟෙන කඳුළු

ඉඩ දෙනු හැකි ද මේ ශෝකයට

ඔබේ නමත් අශෝක් වූ කල?“

උර්දු භාෂා සාහිත්‍යයේ ප්‍රගතිය පිණිස යැයි කියමින් පිහිටුවා තිබූ උර්දු කවුන්සිලය (Urdu Counsil) අක්‍රීයව තිබුණෙන්, අස්රාර් එය උපහාසයට ලක්කළේ ‘උර්දු කැන්සල්‘ (Urdn Cancel) යැයි කියමිනි.

කවි පොතත් 4 ක් (Tanze Paare හා Shair - e - Aazam යන කෘතීන් වඩා ප්‍රකටය) හා ඉතිහාස කතා පොත් කීපයක් ලියා ඇති අස්රා, තම අලුත්ම කව් එකතුව සඳහා ප්‍රකාශකයකු සොයමින් සිටී. ඔහුගේ බොහෝ පද්‍යයන් තවමත් ඉංග්‍රීසියට නැඟී නැති හෙයින්, මෙහි පරිවර්තනය සඳහා ද සොයා ගැනීම දුෂ්කර විය.

අස්රාර්ගේ කෙටි කවි උර්දු බසින් ‘පූර්සාස්‘ (Purzas) නමින් හැඳින්වෙයි. දිල්ලියට අයත් ජාමියා නම් ජනාකීර්ණ කුඩා නගරයේ පුස්තකාලයට යාම ඔහුගේ සිරිතක්ව තිබුණද, වසර දෙකකින් පමණ එහි ගොස් නැත. මෑතකදී ඔහු වීදියේ බිම වැටී, අතක් බිඳුණේය. තමා එසේ වැටී සිටියදී, දන්නා හඳුනන අය පවා ඉවත ගියේ යැයි ඔහු පවසන්නේ බිඳුණු හඬිනි. අස්රාර් කවියා, විවාහ වූයේ ද කවිය සමඟම ය. එහෙයින් දැන් ඔහුට කාත් කවුරුවත් නැත. කාමර දෙකකින් යුත් කුඩා නිවසට වී හුදෙකලාවම කල් ගෙවයි.

නගරයේ ඇවිදීමට යන ඔහු, තම කෙටි කවි ඇතුළත් හැඳුනුම්පත් ප්‍රමාණයේ කාඩ්පත් මිටියක් සාක්කුවේ දමා ගනී. අතරමඟ හමුවන්නන්ට ඒවා බෙදා දී සතුටක් ලබයි. ඉන් මුදල් ඉපැයීමේ බලාපොරොත්තුවක් ද ඔහු තුළ නැත. එම කාඩ්පතක ඇතුළත් කවියකි මේ.

මහා භාරතය මැදින්

ගලා බසී ගංගා නදී

එහෙත් දනෝ විකුණති

පානීය ජලය, බෝතල් කළ!

අස්රාර් ජමායිගේ, තවත් උපහාස ‍කවි දෙකකි මේ.

කවියෝ ද, ලේඛකයෝ ද

ඊර්ෂ්‍යා පරවශය මා කෙරෙහි

කවියට මා සමතෙකු බැවින්

බියෙන් සැළෙයි ඔවුන්

සම්මානය රැගෙන මා නික්ම යතැයි

වළකාලිය යුතු සිරිතකි

සතිපූජා නම් වූ

කුමටද බි‍රියන් පනිනුයේ දර සෑයට

සැමියාට ම එහි දැවෙන්නට හැර

එපමණකි කළ යුතු වෙනස

මේ 80 හැවිරිදි කවියා මෑතකදී කළ ප්‍රකාශයක්, සමාජ ජාලා ඔස්සේ විශාල ප්‍රචාරයකට ලක්විය.

“සියලුම උර්දු කවියන් අතුරින් ශ්‍රේෂ්ඨතමයා මම වෙමි.“

ඔහු එය වඩාත් අවධාරණය කරමින් කියා සිටියේ මෙතෙක් ලොව විසූ හා දැනට ජීවතුන් අතර සිටින සියලුම උර්දු කවීන් ඔහුට දෙවෙනි වන බවය. ඇතැමෙකු මෙය දුටුවේ, වියපත් වීමෙන් කල්පනාව අවුල්වූවෙකුගේ අහංකාර කියුමක් ලෙසිනි. එහෙත් තවත් කෙනෙකුට එය, අස්රාර්ට සුපුරුදු උත්ප්‍රාසාත්මක කියුමක් ලෙස ද පෙනෙන්නට පුළුවන. ඔහු දැන් අතමිට ද, උන්හිටි තැන් ද අහිමි අසරණයෙකි. එහෙත්, කවියෙකු සතු අභිමානය පමණක් කිරුළක් සේ ඔහු හිස පැළඳ ඇත.

කපිල කුමාර කාලිංග


නව අදහස දක්වන්න

Or log in with...