එ්ත් සටන - මේත් සටන | දිනමිණ

එ්ත් සටන - මේත් සටන

මේ දවස්වල ආයෙමත් කලා කෘති වාරණයක පෙර නිමිති පහලවෙලා. වේදිකා නාට්‍යයකට, ගුවන්විදුලි නාටක මාලාවකට, පොතකට අදාළව තහංචි දිගු වෙද්දී ඊයේ පෙරේදා දවසක ඒකට එරෙහිව කලාකරුවන්, කලා-සංස්කෘතික ක්‍රියාධරයන් පිරිසක් මාධ්‍ය හමුවක් පවා පැවැත්වූවා. තමන්ගේ කලා භාවිතයන්ට එරෙහිව මොන විදිහේ හෝ තර්ජන, ගර්ජන එල්ල වෙන අවස්ථාවක ඊට එරෙහිව පෙරට ඒමත්, ඒ වෙනුවෙන් අවම කොන්දේසි යටතේ හෝ එකතුවීමට හැකිවීමත් හොඳ ලක්ෂණයක්. මේ ගැන කතා බහක් යමින් තියෙද්දී පොඩි එකා මැද්දට පැන්නා.

“දැන් ඔය මාධ්‍ය හමුව දැක්කම එතන හොරට පොත් ගහන අය, වම විකුණමින් දකුණට කඩේ යන, රටට එකකුයි ජාත්‍යන්තරයට එකකුයි ‍එකම නිර්මාණයේ කොපි දෙකක් ගහන, එතනින් ගියාම අනුන්ගෙ නිර්මාණවලට තමන්ගෙ නම දාගන්න අය, එක පැත්තකින් විරුද්ධ වෙමින් අනිත් පැත්තෙන් බලධාරීන් එක්ක ඩීල් දමාගන්න අය එහෙමත් හිඟ නැතුව ඉන්නවා.“

“ඉතිං?“ මං ඇහුවා.

“නිකම් අවුල් වගේ නේද අප්පච්චි.“

“ඇයි?“ මං ආයෙම ඇහුවා.

“නෑ ඉතිං හැමෝම වෙන වෙනම තම තමන්ගෙ යටි කූට්ටු වැඩවල ඉන්න ගමන්, රහසින් වත් පව් කරලා නෑ වගේ එකට ඉන්න හැටි“ පොඩි එකා කින්ඩියක් දැම්මා.

“කිසි ප්‍රශ්නයක් වෙන්න බෑ. මොකද කලාවේ හෝ ප්‍රකාශනයේ නිදහස කියන්නෙ එක් කෙනෙකුගෙ දෙන්නෙකුගෙ ප්‍රශ්නයක් නෙවෙයි. සමාජයක් හැටියට අපි හැමෝගෙම ප්‍රශ්නයක්. එක එක්කෙනා තම තමන්ගෙ භාවිතාවන් ඇතුළේ මොන මොන වැරදි කළත් ඒ සියලුම වැරදි අභිබවා එල්ලවී ඇති පොදු බාධකයදී එකට එකතු වෙලා තියෙනවා. ඒක හොඳ දෙයක්“ මං කිව්වා.

ටිකක් වෙලා මේ කතා බහ සද්ද නැතුව අහගෙන හිටපු ඉස්කෝලෙ මහත්තයා ඒ ගැන තමන්ගෙ අදහස කියන්න පටන් ගත්තා.

“අරගලයයි අරමුණයි තමයි වැදගත්. වෙන මොනවත් ඒ තරම් වැදගත් නෑ.“ ඉස්කෝලෙ මහත්තයා අවධාරණය කළා.

“ඉතිං අපිත් හැමදාම අරගල කළේ එහෙම තමයි. ඊයෙත් කඳුළු ගෑස් කෑවා.“ පොඩි එකා, ශිෂ්‍ය ව්‍යාපාරයේ කැපකිරීම් ගැන පට්ට අන්දරයක් දෙසන්න ගත්තා. ඒකට මේ සිවිල් කලාකාරයන්ගෙන්, සංස්කෘතික ක්‍රියාධරයන්ගෙන් ඒ තරම් සුබවාදී මැදිහත්වීමක් වත්, අදහස් පළකිරීමක් වත් නැති එක ගැන පොඩි එකා තමන්ගෙ විරෝධය පළ කෙරුවා.

“අපි මහ පාරේ කරන උද්ඝෝෂණ, විරෝධතා පා ගමන්, ඒ වත් හෙට අනිද්දට අනාග‍තයේ දවසක මේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන දරු දැරියන්ගේ නිදහස වෙනුවෙන්. ඒ අයගේ අයිතීන් වෙනුවෙන් කරන්නෙ. ඒවත් පොදුයි.“ පොඩි එකා දිගටම සද්දය දානවා.

“හෙට අනිද්දා එන අය ගැන පැත්තකින් තියමුකෝ. ගිය මාසෙ, ගිය සතියේ ආව අය ගැන ටිකක් කතා කරමුකෝ. ඒ අයගෙ කොඳු කඩලා, වධ දීලා, අධ්‍යාපනය නෙවෙයි ජීවිතයම එපා කරවලා, අර පේරාදෙණියෙ වෛද්‍යවරයකුට නැති වෙන්න පහරදීලා ඔයාලා බලාපොරොත්තු වෙන්නෙත් නිදහස් අධ්‍යාපනය රැකීමද?“ ඉස්කෝලෙ මහත්තයා ඇහුවා.

“ඒවා ඉතිං තැන් තැන්වල සිද්ධවෙන පුද්ගලික අවාසනාවන්ත සිදුවීම්.“

“හරි. ලකුණු දා ගන්න ඒවා පොදුයි. ලකුණු කැපෙන ඒවා පුද්ගලිකයි රහසිගතයි.“ මං ඇහුවා.

ඒ වෙලාවෙ ඇසිලින් නැන්දා ගමනක් ගිහින් පන් මල්ලක් කිහිල්ලෙ ගහගෙන එතැනින් යන්න ආවා. උන්දැගෙ ඉහින් කණින් දාඩිය පෙරෙනවා.

“නැන්දෙ බෑරක්ද?“ මං කතාව වෙනතකට යොමු කරන අදහසින් ඇසිලින් නැන්දගෙන් ඇහුවා.

“මං මේ ටවුමට ගියා ගෙදරට ඕන කරන බඩු මුට්ටු ටිකක් ගේන්න. ඒ වෙලාවෙ ටවුමෙ බස් එකට ගොඩවෙච්චි කැම්පස් ළමයි දෙතුන් දෙනෙක් හිතට වදින විදිහට කතා කරලා, අපේම ළමයින්ගෙ අනාගතය වෙනුවෙන් සටන් කරන්න ආධාර දෙන්න කියලා කැටයක් දික් කෙරුවා. මමත් ඉතිං අතේ ඉතිරිවලො තිබ්බ රුපියල් සීයක් ඔන්න ඔහේ කියලා දීලා දැම්මා. ටික වෙලාවකින් පොළට ගිහින් බඩු ටිකකුත් තෝරගෙන බස් එකට නැංගම බස් එක හෝල්ට් දෙක තුනකට වඩා ඉස්සරහට ගියේ නෑ. බැලීනම් අර කැම්පස් ළමයින්ගෙ උද්ඝෝෂණයක් පාර පුරා ළමයි. බස් වලට, වාහනවලට යන්න විදිහක් නෑ. පැය දෙක හමාරක් තුනක් රස්තියාදුව. ත්‍රීවීල් එකකට කීයත් වත් දීලා කෙටි හොර පාරකින් වත් එන්න පුළුවන් විදිහක් ගැන බැලුවා. කොහෙද අතේ තිබ්බ රුපියල් සීයත් උන්ටම දීලා නොවැ ආවේ. මට මං ගැනම ඌරු ජුවල්. දැන් තමයි එන්නෙ. මේවා ඉතිං අපේම කරුම“ ඇසිලින් නැන්දා තවත් මොන මොනවද කියාගෙනම යන්න ගියා.

මං පොඩි එකා දිහා බැලුවා. ඌ නෑ. ඇසිලින් නැන්දගෙ කතාව අස්සෙම ඌ මාරුවෙලා යන්න ගිහින්. ඉස්කෝලෙ මහත්තයයි, මමයි පෙට්ටි ක‍ඩේ පැත්තට යන්න හැරුණා.

බණ්ඩි රාල


නව අදහස දක්වන්න

Or log in with...