මාලි­නියේ-ඉන්ද්‍ර­ජා­ලය | දිනමිණ

මාලි­නියේ-ඉන්ද්‍ර­ජා­ලය

මාලිනියේ ඉන්ද්‍රජාලය, මා මනසේ, අන්ධකාරය, මා දෑස සොයනා, රුව ඇඳුණා , මාලිනියේ. හැත්තෑව දශකයේ අතිශය ජනප්‍රිය වූ වික්ටර් රත්නායක ගායනා කළ සුනිල් ආරියරත්න විරචිත මේ ගීතය ගුවන් විදුලි ගීතයෙන් මැවුණු මාලිනිය පිළිබඳ නොවේ මා පවසන්නට යන්නේ. සුනිල්ගේ ගීතයෙන් මාලිනිය අමතා ඈ ඉන්ද්‍රජාලයකැයි පවසයි. එදවස සොඳුරු වූ දවසක, සැඳෑ යාමයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මට හමු වූ මාලිනිය ද ඉන්ද්‍රජාලයක් බඳු යැයි පැවසීමෙහි වරදක් වේ යැයි මට නොසිතේ.

ඇස් බැන්දුම් මවන, විජ්ජාකාරියක්, ඉන්ද්‍රජාලිකාවක් ද අපට හමු වූ මාලිනී? මාලිනී, විශිෂ්ටත්වයේ අනන්තය, දෙහෝරාවක් පමණ වූ කාලයක් පුරා අප දුටුවේ, වසර පණහකට වඩා වැඩි කාලයක් තුළ තම රංගන ප්‍රතිභාවෙන් සුවහසක් ප්‍රේක්ෂක ජන සමූහයාගේ ඇස් බැඳ තැබූ සැබෑම නිළියක් නොවන්නීද? සූරයා වර්ගයේ චිත්‍රපටයක ගාමිණී ෆොන්සේකා සමඟ සීත කඳුකරයේ දර්ශන තලයක, සුදු පාට මීදුම් ගලා ගිය කන්දක් පිළිබඳ ගී ගයමින් නටමින් අප සිත් පැහැර ගත් මාලිනියම නිධානයෙහි යළිත් ගාමිණී ෆොන්සේකා සමඟම අයිරින්ගේ චරිතයට සම වැදී, සියුම් මනෝ භාව තම අභිනය මගින් ප්‍රකට කරන්නී විජ්ජාකාරියකම ලෙස නොවේද? මාලිනී යනු සිංහල සිනමා වංශ කතාවෙහි ඉන්ද්‍රජාලිකාවයි. ඈ අපගේ ඇස් වසා විස්මිත චරිත මැවීමෙහි හපනිය බව දශක පහක පමණ කාලයක් තුළ චිත්‍රපට එකසිය පණහකට වඩා වැඩි සංඛ්‍යාවක පෑ රංගන ප්‍රාතිහාර්යය සාක්ෂි දරයි.

ඇගේ ප්‍රතිභාවට සම කළ හැකි නිළියක් පිළිබඳ සිතීම උගහටය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාලිනී යනු විශිෂ්ටත්වයේ අනන්තයයි (Malinee up above ). දශක හතකට පා තබා ඇති සිංහල සිනමාවෙහි දශක පහක් ඉක්මවා, අදත් තිරයෙන් අපට දකින්නට ලැබෙන මාලිනී ෆොන්සේකාගේ රංගන පරාසය හඳුනාගන්නට, ඈ රඟපා ඇති චිත්‍රපට කිහිපයක චරිත යළි කියවිය යුතු යැයි සිතමි. එයා දැන් ලොකු ළමයෙක් හි සුසිලා ගේ සිට, නිධානයෙහි අයිරින් තෙක් හෝ, බඹරු ඇවිත් හි හෙලන්, සොල්දාදු උන්නැහේ හි ප්‍රේමක්කා, හෝ ආකාස කුසුම්හි සන්ධ්‍යාරාණි හෝ තුළ ජීවත්වන්නී මාලිනී නම් රංගන විජ්ජාකාරියකම යැයි අපි දකිමු. රටේ ප්‍රධාන පුරවැසියා ප්‍රධාන ඇගේ රසික සමාජය ඈ විසින් අපගේ සිනමාවට ප්‍රදානය කරන ලද මහාර්ඝ රංගන දායකත්වයට පෙරළා දැක්වූ ඇගයීම, ගෞරවය, කෘතවේදීත්වය, මාලිනී ෆොන්සේකා නම් වූ නිළියගේ ජීවිතයේ ඈ ලද අගනාම, වටිනාම, තිළිණය නොවීද? ඇගේ ප්‍රකාශන මාධ්‍යයේ විශිෂ්ටතම කෞශල්‍යය වූ රංගනයෙන් මෙරට ජනසමාජයේ රස වින්දනය, කෙරෙහි කළ බලපෑම සඳහා මිලක් නියම කළ නොහැකි බවයි අපගේ විශ්වාසය. ඇගේ දායකත්වය සඳහා නිළි රැජන වැනි අන්වර්ථ නාම කුමට ද? ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක හදවත්හි එදා මෙන්ම අදත් ජීවත්ව සිටින මාලිනියට රැජන වැනි විරුදාවලී කුමටද?

මාලිනී ෆොන්සේකා න්‍යාය ජැක්සන් ඇන්තනි විසින් අප දන්නා රංග න්‍යායට එක් කරන ලද අලුත්ම න්‍යායයි. ස්ටැනිස්ලව්ස්කි හෝ බ්‍රෙච්ට් රංග න්‍යාය හා මාලිනී න්‍යාය පිළිබඳ අශෝක හඳගම විසි දෙවන දා ඔහුගේ දෙසුමෙහි දී කළ සඳහන මගේ මතකයට එයි. ජැක්සන් විසින් මාලිනී ගේ රංගනයෙහි දුටු න්‍යාය පිළිබඳ පසුගිය සතියක ඔහුගේ දේශනය අළලා මෙම තීරුවෙන් දීර්ඝව සාකච්ඡා කෙරිණ. ජැක්සන් තම සොයාගැනීම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය සාධක මාලිනී රඟ පෑ තෝරාගත් චිත්‍රපට කිහිපයක භූමිකා විමසමින් ඉදිරිපත් කළ බව අපට මතකය. අශෝක හඳගම ඔහුගේ කෙටි දේශනය තුළ යතුරු සිදුරින් ස්ත්‍රී රුව දකින්නට ලොල්, ටොම් ලා ( peeping Tom ) මාලිනීගේ රුව සමඟ පසුගිය දශක පහ පුරාම ජීවත් වූ බව පිළිබඳ කළ සඳහන මාලිනී අරබයා කොතරම් දුරට සත්‍යයක්ද යන්න විමසිය යුතු යැයි සිතේ. යතුරු සිදුරින් රුව බලන්නට ලොල් ප්‍රේක්ෂකයන්ගේ සිහින ලෝක තුළ ජීවත් වූයේ මාලිනී ෆොන්සේකා හෝ පුණ්‍යා හීන්දෙනිය වැනි නිළියන් නොව සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා වැනි නිළියන් බවයි මගේ හැඟීම. මාලිනී විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ස්ත්‍රී භූමිකා සියල්ල පරමාදර්ශී ගැහැනු චරිත බව පැවසීමට නොවේ මා උත්සාහ කළේ. එහෙත් අඩු වැඩි වශයෙන් ඈ විසින් රඟපාන ලද භූමිකා සියල්ල කෙරෙහිම විරුද්ධ ලිංගික ප්‍රේක්ෂකයන්ගේ ආදරය, ආසක්තබව ගොඩ නැගී තිබුණු බව නම් සත්‍යයකි. එහි ආදරය මිස අනුරාගය වී ද කියා යළි සිතා බැලිය යුතුය.

මාලිනී ෆොන්සේකා යනු රංගනය නම් සඳුන් ගැටය උපතින්ම අත්ලෙහි ගුළි කොටගෙන මෙලොව දුටු වාසනාවන්තියක වූව ද එකී සඳුන් ගැටය සූරා එහි සුවඳ ලොවට දැනෙන්නට සැලැස්වූයේ ඇගේ වාසනාවට මෙන්ම සිංහල සිනමාවේ වාසනාවට ද ඇයට හමු වූ විශිෂ්ට අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකු විසින් ඈ සතු කුසලතා හඳුනා ගත් බැවිනි. ඔවුන් අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, අමරනාත් ජයතිලක, සුගතපාල සෙනරත් යාපා, විජය ධර්ම ශ්‍රී, පරාක්‍රම නිරිඇල්ල, ප්‍රසන්න විතානගේ ආදීහු වෙත්. මාලිනීගේ අභිනය සතු බලය, සැණෙකින් චරිතයක ගති සොබා, ඉංගිතා වටහා ගැනීමට ඈ තුළ වූ දැනුම හා අවබෝධය මෙම අධ්‍යක්ෂවරුන් විසින් මනාව උකහාගත් බවට ඔවුන් විසින් ඈ ලවා ප්‍රතිනිර්මාණය කොටගත් චරිත රැසක් සාක්ෂි දරයි. මාලිනීගේ රංගන කාර්ය සාධනය තුළ එලෙස කැපී පෙනෙන චරිත වන්නේ, නිධානයෙහි අයිරින්, එයා දැන් ලොකු ළමයෙක් හි සුසිලා, බඹරු ඇවිත්හි හෙලන්, බැද්දේගම තුළ පුංචි මැණිකා, සොල්දාදු උන්නැහේහි ප්‍රේමක්කා, ඉන්දුට මල් මිටක් හි නිසංසලා, ආරාධනාහි ජිනාදරී, සිරිපාල රංමැණිකාහි රං මැණිකා, සිරිමැදුරෙහි නිර්මලා හා ආකාස කුසුම්හි සන්ධ්‍යා රාණී ආදී චරිතය. කෙතරම් ශූර අධ්‍යක්ෂවරයකු වූවද ඔහු හා ඔහුගේ තිර රචනය විසින් ඉල්ලා සිටිනු ලබන චරිතය, එකී චරිතය මුහුණපාන අභ්‍යන්තර සංකීර්ණ මානසික ගැටුම්, අනෙකුත් චරිත අතර ගොඩ නැංවෙන අන්තර් සබඳතා, එකී චරිතය ජීවත්වන සමාජ හා පවුල් පසුබිම, ඥාති සබඳතා, පිළිබඳ ඉසියුම් දැනුමක්, මෙකී ලක්ෂණ ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය ඥානයක් නොමැත්තේ නම් එකී නළුවාගෙන් හෝ නිළියගෙන් අධ්‍යක්ෂවරයා අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම උගහටය. එහෙත්, මාලිනී ෆොන්සේකා නම් වූ නිළිය මේ ගුණාංග සියල්ල මැනැවින් දත්තී, ඉහත සඳහන් වූ චරිත සියල්ලම පාහේ අපගේ සිනමා වංශ කතාවේ නොමියෙන චරිත බවට ලියා තබන්නට සමත්වන්නීය.

නිධානයෙහි අයිරින්ට මුහුණ දෙන්නට සිදුවන ප්‍රබල, සංකුලතා පිරි ගැටලුව, විලී අබේනායක වැනි චරිතයක ගුප්ත සොබාව හඳුනාගෙන ඊට නිසි ප්‍රතික්‍රියා දැක්වීම, ඔහුගේ සමාජයට ගැළපෙන ලෙස අයිරින්ගේ ඇවතුම් පැවතුම් නිර්මාණය කර ගැනීම නිළියක හමුවේ ඇති විශාල අභියෝගයකි. එහෙත් මාලිනී හෙවත් අයිරින් සිනමාවේ දැවැන්තයකු වූ ගාමිණී ෆොන්සේකා හෙවත් විලී අබේනායක සමග රංග කාර්යයේ දී සම තැන් ගෙන රඟනු අපි දකිමු. එලෙස රඟ පෑ මාලිනී බඹරු ඇවිත් හි දී හෙලන්ගේ චරිතය ප්‍රතිනිර්මාණය කරන විලාසය විස්මිතය. ධීවර ගම්මානයක, පුරුෂ චරිත රැසකට මැදි වූ ගැහැනියකගේ භූමිකාව මාලිනී විසින් ප්‍රතිනිර්මාණය කරන්නී, ඉන්ද්‍රජාලිකාවක ලෙසින්ම නොවේද? කුමන රංගන පාසලකින්, අභ්‍යාසායතනයකින් ලද දැනුමකින් ද ඈ අයිරින්ගේ හා හෙලන් ගේ චරිත ප්‍රතිනිර්මාණයට අවශ්‍ය රංග ශෛලිය සකස් කර ගන්නේ? මාලිනීගේ රංගනයේ විශිෂ්ටත්වය එයම නොවේද? බැද්දේගම හෝ අනුරාධපුරයේ ඈත ගමක ජීවත්වන ගැහැනියකගේ ජීවන රටා හඳුනා ගෙන එකී පරිසර තුළ රඟපෑම සඳහා අවශ්‍ය දැනුම තිරරචනයෙන් පමණක් ලැබිය හැක්කක් ද? අධ්‍යක්ෂකවරයකුගේ විධානයකින් පමණක් හඳුනා ගත හැකි රංග ගුණයක් ද? අයිරින්, හෙලන් මතු නොව, සන්ධ්‍යා රාණි තුළ ජීවත් වූ ගැහැනිය හඳුනාගෙන එකී චරිතයට සාධාරණය ඉටුකිරීම කෙතරම් දුෂ්කර අභියෝගයකට මුහුණ පෑමක් ද? මාලිනී අන්තර් ජාතික සිනමා උළෙලක දී ( 2008 ගෝවේ නගරයේ පැවැත්වුණු 39 වන අන්තර්ජාතික ඉන්දීය සිනමා උළෙල - හොඳම නිළියට හිමි රිදී මොනර විශේෂ ජූරි සම්මානය ) ලොව හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නී ඇයටම අනන්‍ය වූ විස්මිත රංගන ප්‍රතිභාවෙහි මහරු ඵල නිසාම නොවන්නේද?

මාලිනී ෆොන්සේකා යනු රිදී තිරයේ විස්මිත රඟ සොබා මැවූ දශක පහක් පුරා අපගේ දේශයේ රසික ජන සමූහයාගේ හදවත්හි ජීවත්වන ආකාස කුසුමයි. ඇගේ රංගනයෙන් වශී නොවුණු නෙතක්, සිතක් කොහි වේදැයි නොදනිමි. යුග ගණනාවක් පුරා ඈ රසික හදවත් සොරා ගත්තී, ඈ සමඟ විස්මිත රැඟුමට එක් වුණු රංගන පෞරුෂ රැසක් සමඟය. ගාමිණී මාලිනී, ටෝනි මාලිනී, ජෝ මාලිනී, විජය මාලිනී, රවීන්ද්‍ර මාලිනී, තිස්ස මාලිනී , සනත් මාලිනී එලෙස ජනප්‍රිය යුග සටහන් කළ කිහිප දෙනෙක් පමණි. 1965 දී අකල් වැස්සට තෙමෙමින් වේදිකාව ජයගත් මාලිනී, 1968 පුංචි බබා රංගනයෙන් සිනමාවට එක් වී දේශීය සිනමා උළෙල සියල්ලෙහි උසස්ම සම්මානයෙන් පුද ලද්දී වූවාය. නොකඩවා වසර ගණනාවක් ඕ සරසවිය සිනමා උළෙල ජනප්‍රිය නිළි කිරුළ දැරුවාය. සරසවිය, ජනාධිපති සිනමා සම්මාන, ජාතික කතෝලික සිනමා පර්ෂද සම්මාන, ස්වර්ණ සංඛ සිනමා සම්මාන, සුමති ටෙලි සම්මාන, ආදී මෙරට සියලු ප්‍රමුඛ සම්මාන උළෙල සම්මානයට පාත්‍ර වූ නිළියක් වී නම් , ඒ මාලිනී ෆොන්සේකාම පමණක් වීම වාර්තාවකි. එය අනභිබවනීය වාර්තාවක් වන්නේය. ඇගේ රංගන පරාසයෙහි ඉම, ඉමක් නොපෙනෙනා ආකාසයම වීය. මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවෙහි ජීවමාන පුරාවෘත්තයයි ( Living Legend ). මන්දාකිනියේ පිපුණු සුපුෂ්පිත කුසුමයි.

බුද්ධ­දාස ගල­ප්පත්ති


නව අදහස දක්වන්න

Or log in with...