ප්‍රණාම | දිනමිණ

ප්‍රණාම

පසෙකින් ගලා යන පොඩි ඇළක් නුදුරෙහි කුඹුරු යායක් දන්සලට එක්කරන්නේ අපූර්ව සුන්දරත්වයකි. තැන තැන එල්ලන ලද කෙසෙල් කැන් කහ පැහැයෙන් බබළයි. පෝළිම දිගු වත්ම අප ඉතා ඉක්මනින් පිඟන් සේදිය යුතුය. එළවළු කැපීම නවතා මා පිඟන් හේදිල්ලට එක්වූයේ ඉඳුල් පිඟන් සමඟ කටයුතු කරන්නට බොහෝ දෙනෙකු ප්‍රිය නොකරන බැවිනි. එහෙත් අපි තුන්හතර දෙනා විහිළුවෙන් තහළුවෙන් ඒ අසීරු කර්තව්‍යයේ නිරතව සිටියෙමු.

ලී බංකුවක් මත ආහාර ගන්නා තුරුණු යුවළ හා අතදැරිය ‍සොඳුරු දසුනක් විය. අහම්බෙන් වුව මා දුටුවේ මේ රැයෙහි දකින්නට කිසිසේත් අපේක්ෂා නොකළ දසුනකි. ඒ තරුණයා මහත් වේදනාවෙන් පීඩා විඳින අන්දම ඔහුගේ බිරිය ළතැවුලින් බලා සිටියාය. ඇගේ එක් අතක බත් පිඟානකි. ඇකයේ දැරිය ය. එහෙයින් ඔහුට උපකාර කළ නොහැකිව ඇය අසරණව පසුවන බව අවබෝධ කරගත් මම වහා ඔවුන් වෙත දිව ගියෙමි.

“ඔන්න ඔන්න පැන්නා...“

“එළිවෙනකම් පිඟන් හෝදනවා කීව එක්කෙනා...“

“කැතයි හො‍ඳේ.. ඔහොම දාලා යන එක...“

යෙහෙළියන් නෝක්කඩු කිව්වද මම නොඇසු ලෙසින් මහත් සේ විපිළිසරව හුන් තරුණිය අත වූ දැරිය වඩා ගතිමි. ඇය සමීපයෙහිම වාඩිවූයේ දියණිය කොහි රැගෙන යනු ඇත්දැයි ඇය බියපත්වනු ඇතැයි සිතමිනි.

“ඉන්න බෑ... කැක්කුමයි... ආහ්.... ඉවසන්න බෑ...“

තරුණයා වේදනාවෙන් ඇඹරෙයි. බත් පිඟාන බංකුව මත තැබූ ඇය ඔහුට ළංවූවාය. එහෙත් ඔහු දෙකට තුනට නැමෙමින්ද යළි උඩුකය කෙළින් කරමින් ද බංකුව මත ගුලිවෙමින් ද වේදනාවෙන් කෙඳිරිගාන කල ඇය පමණක් නොව අපිද තැති ගත්තෙමු. දන්සල් කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක් පැමිණ ප්‍රථමාධාර ලබා දුන්නද ඔහුගේ වේදනාව අඩු නොවීය.

මව්පියන් මුහුණපා සිටින දුෂ්කරතාව පිළිබඳව හාංකවිසියක් නොදත් දැරිය මගේ ඇකයේ සුව නින්දකය.

“දුවෙක් නෑ කියලා අඬ අඬා හිටපු එක්කෙනාට දැං ඔය දුවෙක් හම්බවෙලා තියෙන්නෙ.“

මේ අලකලංචිය මැද වුව යෙහෙළියක සරදම් කළාය. සැබැවින්ම බිය සැක මධ්‍යයේ වුව මට හැඟුණේ මෙලොව අපමණ සුන්දරත්වය ද මටසිළිටි බව ද මගේ උකුලේ වන බවකි. ඒ හැඟීම අතිශයින් මිහිරිය. ඒ මිහිර මඳක් හෝ කඩතොළු වන්නේ වේදනාවෙන් කෙඳිරිගාන තරුණ පියා හේතුකොටගෙනය. ඔහුගේ බිරිය බය බිරාන්තව බලා හිඳින්නීය. හමුදා සේවයේ නිරතව සිටින සිල්වා මල්ලි මහත් වෙහෙසක් දරා කළ ප්‍රථමාධාරය ද නිෂ්ඵල විය. තරුණයාගේ වේදනාව බිඳකිනිදු අඩු නොවෙයි.

යතුරුපැදියේ පැමිණි ඔහුට මේ තත්ත්වය යටතේ එය පැදවීම පිළිබඳව සිතන්නටවත් නුපුළුවන. අන්තිමේදී දන්සල් කමිටුව ඒ පුංචි පවුල ත්‍රීවීලරයක කැටිව යාමට වගබලා ගත් කල මම සැනසුම් සුසුමක් හෙළුවෙමි. සියුම් ශෝකයක් දැනුණේ මගේ උකුල හිස්ව යාම පිළිබඳව පමණි. තවම නින්දේ පසුවන දියණිය වඩාගත් තරුණ මව පහත් හඬින් ස්තූති කළාය.

“කලිනුත් මෙහෙම වෙලා තියෙනව ද?“ යි මම ඇසුවෙමි.

“ඔව් සැරයක් දෙකක්... බෙහෙත් ගත්තා. ඒත් ඉතිං ටිකක් සනීප වෙනකොට බෙහෙතුත් නවත්තලා ආයෙ ඉතිං දොස්තරලා ළඟට යන්නෙත් නෑනේ...“ යි ඇය ශෝකී හඬින් කීවාය.

ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බව මම අවධාරණය කළෙමි. අසේල මල්ලි ඔවුන් කැටිව යාමට වෙහෙසුණු බව කෘතවේදීව සඳහන් කළ යුතුය.

දන්සලක වුව ප්‍රථමාධාර ලබාදෙන වැඩපිළිවෙළක් තිබිය යුතු බව මට තදින් හැඟුණේ ඒ අනපේක්ෂිත සිදුවීම හේතුකොටගෙනය. ඕනෑම ස්ථානයකදී ඕනෑම වේලාවකදී කෙනෙක් රෝගාතුර විය හැක. හදිසි අනතුරකට ලක්විය හැක.

යාය 04 හා දික්වැව ගම්වාසීන් විසින් 2010 වසරේ පටන් පවත්වාගෙන යනු ලබන “ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පොසොන් මහා එළවළු බත් දන්සල“ දර්ශනීය පරිසරයක මනස්කාන්ත බව ද ප්‍රණීත ආහාරයක් ද ලබා දෙමින් දහසක් දෙනෙකුන් නිවා සනහාලන්නේය.

යාය 04 දික්වැව ශ්‍රී සුමංගල විහාරස්ථානයේ කටිබුවටවන පඤ්ඤාසාර හා උපුල්වැහැර ඥානරතන වන්නි හත්පත්තුවේ ප්‍රධ‍ාන සංඝනායක සේනපුර සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීමටත්, කාගම කටියාව ගොවි ජනපදයේ නිර්මාතෘ දිවංගත ඩී. එස්. සේනානායක මැතිඳුන් ගුණානුස්මරණය කිරීමටත් ජනපද ඉඩම්ලාභී මුල් පදිංචිකරුවන් වෙනුවෙන් ද වාර්ෂිකව පවත්වාගෙන යනු ලබන මේ දන්සල ප්‍රසන්න කුමාර සහෝදරයාගේ සංකල්පයකි. එකී සත්කාර්යය සඳහා උපකාර කරන නිශ්ශංක රාජපක්ෂ, ජයකොඩි දිසානායක, ආරියදාස, ගුණපාල, ශාන්ත ඒකනායක, එච්. ජී. සුරේෂ් සම්පත්, ලලිත් නිශාන්ත, අජිත් සේරසිංහ, සිල්වා ගෞරවාදරයෙන් සිහිකළ යුතුය. එමෙන්ම විවිධ උපකාර කරමින් දන්සල පවත්වාගෙන යාම සඳහා ඉපලෝගම ප්‍රාදේශීය සභාව මහඉලුප්පල්ලම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහඉලුප්පල්ලම විශ්වවිද්‍යාල ඒකකය හා යාය 04 දික්වැව මරණාධාර සමිති සහාය වෙයි.

එක් සහෘද සිතිවිල්ලකට කොපමණ අගනා හා විශාල කාර්යභාරයක් කළ හැකිදැයි පසක් කරදෙන අපේ දන්සල ගම්මුන් අතර සහයෝගය හා ළෙන්ගතුකම ද වර්ධනය නොකරන්නේ ද? මගේ කොල්ලන් ද දෙදිනක් තිස්සේ දන්සලේ ගැවසෙමින් පිරිසත් සමඟ වැඩ කටයුතු කරමින් කණ්ඩායම් හැඟීමේ හා එකමුතු බවේ උදාර ආස්වාදය විඳින අයුරු මා බලා සිටින්නේද අපමණ ඇල්මෙනි. දන්සලේ ඉතිහාසය හා ඒ වෙනු‍ෙවන් දැරූ වෙහෙස විස්තර කළ සුසන්ත හා ජයකොඩි සොහොයුරන් හට මගේ ප්‍රණාමය පිරිනමමි.

ශාන්ති දිසානායක

නව අදහස දක්වන්න