ආයු­බෝ­වන් “තඩා­ගම්” | දිනමිණ

ආයු­බෝ­වන් “තඩා­ගම්”

පහුගිය දවසක අමුතු විදිහේ සාහිත්‍ය උත්සවයකට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා. මට මේ අනගි අවස්ථාව උදා කර දුන්නේ හේමචන්ද්‍ර පතිරණ ලේඛක සොයුරා. හේමචන්ද්‍ර මේ වන විට ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමෙනුත් දෙමළ හා මුස්ලිම් ජාතික ලේඛක ලේඛිකාවන් එක්ක මනා සබඳතාවක් පවත්වාගෙන යන ලාංකික ලේඛක සගයෙක්. මේ හේතුව නිසාම මා මේ සඳහන් කරන සාහිත්‍ය උළෙලෙදි හේමචන්ද්‍රටත් සම්මානයක් පිරිනැමුණා.

මේ අපූරු සාහිත්‍ය උත්සවය පැවැත්වුණේ අගෝස්තු මාසේ 18 වන සෙනසුරාදා, කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයෙදි. දෙමළ හා මුස්ලිම් ලේඛක ලේඛිකාවන් රැසක් සහභාගි වුණ මේ සාහිත්‍ය උළෙල නම් කර තිබුණේ “තඩාගම්” ලෙසයි. “තඩාගම්” යන දෙමළ වදනේ සිංහල අරුත තටාකය හෙවත් පොකුණක් බඳු ස්ථානයක් යන්නයි. ලංකාවේ නැඟෙනහිර පළාතේ වෙසෙන සාහිත්‍යකාමිනියක් වන කලෙයිමහල් හිදායන රිස්වි නම් කාන්තාවක විසින් මේ සාහිත්‍ය උළෙල සංවිධානය කර තිබීමත් අගය කළ යුතු වැදගත් කරුණක්.

“තඩාගම්” උත්සවය පැවැත්වීම පිණිස ජාත්‍යන්තර දෙමළ සාහිත්‍ය සංගමයක් ගොඩනගා ගන්න රිස්වි සමත් වී තිබෙනවා. මට අසන්න ලැබුණු තොරතුරු අනුව වසර 26ක් මුළුල්ලේ “තඩාගම්” සාහිත්‍ය උත්සවය පැවැත්වීමට මේ දෙමළ සාහිත්‍ය සංවිධානය රිස්විට උදව් උපකාර කර තිබෙනවා. පහුගිය 18 වැනිදා පවත්වපු සාහිත්‍ය උළෙලේ දකින්න ලැබුණු විශේෂත්වය තමා ප්‍රථම වරට සිංහල සාහිත්‍යකරුවන් මීට සම්බන්ධ කරගැනීම. ඒ අනුව අප මිතුරු හේමචන්ද්‍ර පතිරණ සිංහල දෙමළ හා මුස්ලිම් ප්‍රජාව අතර සංහිඳියාවේ පාලමක් ගොඩනැඟීමට කළ දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මානයක් පිරිනැමීමට සංවිධායකයන් කටයුතු යොදා තිබීම ප්‍රශංසනීයයි. එසේම ලංකා ලේඛක සංවිධානය නියෝජනය කරමින් එහි ලේකම්වරයා වශයෙන් මටත් සභාව අමතා අදහස් පළ කිරීමට ඇරියුමක් ලැබුණා.

2016 හා 2017 වසර දෙක තුළ දෙමළ සාහිත්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනුණු දෙමළ හා මුස්ලිම් ලේඛක ලේඛිකාවන් 60 දෙනකුට ත්‍යාග හා සම්මාන පිරිනැමීමත් “තඩාගම්” උළෙලේ දක්නට ලැබුණ කැපී පෙනුණු විශේෂාංගයක්. එසේම ඒ හැම සම්මානයක්ම නිර්මාණය කර තිබුණේ ලංකාවේ හැඩය සහිත පුවරුවක් මතවීමත් වෙසෙසින් අගය කළ යුතු කරුණක්. නවීන සන්නිවේදන තාක්‍ෂණය භාවිත කරන ලේඛක ලේඛිකාවන් ඇගයීමට ද විශේෂාංගයක් අරඹා තිබීම මා මේ උත්සවයේ දුටු තවත් වටිනා ලක්‍ෂණයක්. මුහුණු පොත ඔස්සේ පැවැත් වූ පද්‍ය නිර්මාණ තරගයකින් තෝරාගත් කවි 100ක් පොතක් ලෙස මුද්‍රණය කර ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීමටත් සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබීම අප කාටත් ලොකු ආදර්ශයක් කියා හිතෙනවා.

ලෝකයේ රටවල් ගණනක් නියෝජනය කරමින් දෙමළ හා මුස්ලිම් ලේඛකයන් මේ උත්සවයට සහභාගි වී සිටිනු දක්නට ලැබුණා. ඕස්ට්‍රේලියාව, කුවේට්, කටාර්, ඉන්දියාව, ඩෙන්මාර්ක්, කැනඩාව හා මැලේසියාව මේ අතර ප්‍රධානයි. උත්සව සභාවේ ප්‍රමුඛ දෙසුම කළ ඕස්ට්‍රේලියානු වාසී ජෙයරාම් ෂර්මා ලේඛකයා දෙමළ බසින් සාහිත්‍ය කාර්යයේ නිරතව සිටින ලේඛක ලේඛිකාවන් අද වන විට ලෝකය පුරා ඉටු කරන මෙහෙවර පිළිබඳව විස්තර කළා. එපමණක්ද නොව කලෙයිමහල් හිදායන රිස්විගේ කැප කිරීම විශේෂ ඇගයීමකට ලක් කිරීමටත් ඔහු අමතක කළේ නැහැ.

වියපත් වියත් ලේඛකයකු වන ජෙයරාම් ෂර්මා ‘කලෙයිමහල්’ යන වදනේ අරුත පහදා දෙමින් කියා සිටියේ මුස්ලිම් කාන්තාවක් වුවද කලෙයිමහල් යන දෙමළ නම භාවිත කිරීමට තරම් එඩිතර වීම මගින් වාර්ගික සුහදත්වය පිළිබඳව රිස්වි තුළ පවතින දැඩි කැපවීම පෙන්නුම් කරන බවයි. කලෙයිමහල් යනු සරස්වතිය හැඳින්වීමට දෙමළ බසින් භාවිත කරන නාමයක් බව පෙන්වා දෙමින් ෂර්මා අවධාරණය කළේ හිදායන රිස්වි බඳු එඩිතර කාන්තාවන් වැඩි වැඩියෙන් ලාංකික සමාජයට අවශ්‍ය බවයි. ඇගේ මේ නොපසුබට උත්සාහයට ගරු කිරීමක් වශයෙන් “මුත්තමිල් වෙට්රික්” නමින් විශේෂ සම්මානයක් ප්‍රදානය කිරීමටද ජෙයරාම් ෂර්මා අමතක කළේ නැහැ.

දෙමළ මාධ්‍ය ආයතන කිහිපයක් මේ උත්සවය ආවරණය කිරීමට පැමිණ සිටියත් සිංහල මාධ්‍යයේ නියෝජනයක් මෙහි දක්නට නොලැබීම අඩුවක්. සමහරවිට සංවිධායකයන් සිංහල මාධ්‍යයට මේ සඳහා ඇරියුම් නොකර සිටීම මීට හේතුව විය හැකිය කියා මට හිතෙනවා. ඒ වගේම මට දැනුණු විදිහට දෙමළ හා මුස්ලිම් ලේඛක ලේඛිකාවන්ගෙන් පිරී තිබුණු උත්සව ශාලාවේ සිංහල ලේඛකයන් නියෝජනය කළේ මා හා හේමචන්ද්‍ර පතිරණ පමණක් වීමත් ලොකු අඩුපාඩුවක් ලෙසයි මට පෙනුණේ. මට කතා කිරීමට ලැබුණු අවස්ථාවේ දී මා විශේෂයෙන්ම සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටියේ ඉදිරියේ දී පැවැත්වෙන “තඩාගම්” සාහිත්‍ය උත්සවයක දී සිංහල ලේඛක ලේඛිකාවන් වැඩි පිරිසකට ඇරියුම් කිරීමට අමතක නොකරන ලෙසයි. ඒ වගේම සිංහල මාධ්‍යයද මේ උත්සවය ආවරණය කරනු පිණිස කැඳවන්න කියායි.

ලංකාවේ ප්‍රධාන ජනකොටස් තුන වන සිංහල, දෙමළ හා මුස්ලිම් ප්‍රජාව එක වහලයක් යටතට රැස් කිරීමට වැඩිම හැකියාවක් ඇත්තේ ලේඛකයන් ප්‍රමුඛ කලාකරුවන්ට බව අපි අමතක නොකළ යුතුයි. අවි බලය හා දේශපාලන බලය යොදාගෙන දෙකඩ වූ භූමියක් ඒකාබද්ධ කිරීමට රාජ්‍ය පාලකයන්ට හැකියාව තිබුණත් දෙකඩ වූ මිනිස් හදවත් සුවපත් කිරීමේ ශක්තිය ඇත්තේ කලාකරුවන්ටයි. එබැවින් “තඩාගම්” වැනි සාහිත්‍ය කලා උත්සව හැකිතරම් සංවිධානය කිරීම අප කාගේත් යුගයේ සමාජ වගකීමක් බවත් මතක් කරන්න කැමතියි.

කමල් පෙරේරා


නව අදහස දක්වන්න