වල්බූරු ප්‍රකා­ශන අයි­තිය | දිනමිණ

වල්බූරු ප්‍රකා­ශන අයි­තිය

ටොම්සන් මහත්තයා පත්තරය අතේ තියා ගෙන එහාට මෙහාට යන අයුරු උන්නැහේ බලා සිටියේ මහත් උවමනාවෙනි.

‘මොකද ටොම්සන් මහත්තයා වෙලා තියෙන්නේ... මොකක් හරි කරදරයක්ද? “ කියා උන්නැහේ ඇසුවේය.

ටොම්සන් මහත්තයා කිසිවක් නොකියා අතේ තිබූ පත්තරය උන්නැහේට දුන්නේය. උන්නැහේ බොහොම ඕනෑකමින් පත්තරය කියෙව්වේය.

‘මේ අර බුදුන් වහන්සේට අවමාන කරපු පොත ගැන තියෙන වාර්තාවක් නේද? “ කියා උන්නැහේ ඇසුවේය.

‘මාත් ඕක බැලුවා... “ කියමින් ඇම්බන් මහත්තයාද එතැනට ආවේය.

‘ හරි බැලුවා නම් මොකද මේ ගැන කියන්නේ...? “ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘ කියන්න ඕනැ දේ මේ සමාජවාදී කලා සංගමය ප්‍රකාශ කරලා තියෙන්නේ... මේක මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීමක්. ප්‍රකාශන අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාව සතු ප්‍රධාන අයිතියක් කියලා නේ. ඒ කියන්නේ ඕනැ එකෙකුට ඕනැ දෙයක් ප්‍රකාශ කරන්න තියෙන අයිතියද ප්‍රකාශන අයිතිය කියන්නේ ටොම්සන් මහත්තයා. මට නම් තේරෙන්නේ නෑ. ඒකයි මේ අහන්නේ...“ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘ ඕක එක පැත්තකට බොහොම සරල කාරණයක්. රටක නීතියක් තියෙනවා. ඒ නීතියටම තව ව්‍යාතිරේක තියෙනවා. එක නීතියකින් බොහොම ඉහළ සංකල්පයක් ඉදිරිපත් කරන ගමන්, ඒකට වෙනස් අදහස් තියෙන වෙනත් නීතිත් තියෙනවා.. රටක්, ආගමක්, සංස්කෘතියක් නැති බොරු කලාවකට ඕක තෙරෙන්නේ නෑ... එහෙම එකෙක් තමයි පහු ගිය කාලේ තමන්ගේ පොතක් පිළි ගැන්වීමේ ලියලා තිබුණේ තාත්තගේ ප්‍රෝටීන්වලට ස්තුති කරලා. එහෙම කාලකණ්ණි කලාවක් තමයි මේ බිහි වෙමින් තියෙන්නේ... මේකත් ඒකේ එක සන්ධිස්ථානයක්. ‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘ ටොම්සන් මහත්තයා කියන දේ ඇත්තයි. ඕනෑම ආගම් ශාස්තෘවරයෙක් ගැන අපි කතා කරන්නේ ගෞරව පූර්වකව. ඒක ඒ ආගම හොඳද? නැද්ද? හරිද? වැරදිද? කියන පදනම මත නෙවෙයි. ඒකේ අදහස යම් පිරිසක් ඒ ආගම අදහනවා නම් ඒ අයගේ අයිතියට ගරු කිරීමක් හැටියට. ඒක තමයි සමාජයක සදාචාරය කියන්නේ... සංස්කෘතික අක්මුල් නැති, සංස්කෘතියක් ගැන ගරු කිරීමක් නැති මුග්ධ පරම්පරාවක් මේ රටේ බිහි වෙමින් තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ... ඒ මුග්ධ කණ්ඩායම ඉස්සෙල්ලම අල්ලා ගත්තේ මේ රටේ මාධ්‍ය. ඒ ඔස්සේ සංගීතය, ඒ ඔස්සේ ටෙලි නාට්‍ය. ඒ ඔස්සේ පුවත්පත්. වේදිකා නාට්‍ය. ඒ විදිහට හැම තැනකම මේ මුග්ධ පරම්පරාව බූවල්ලෙක් වාගේ පැතිරිලා ගිහින්... මේක උන්ගේ ප්‍රකාශන අයිතිය නම්, මේ රටේ පොදු ජනතාවටත් තියෙනවා නේ තමන්ගේ ආගම පිළිබඳ අයිතියක්. මේ විදිහට ආගමකට ගර්හා කිරීම අපරාධ නීතියට යටත් නේ... මේ රට සංවර්ධනය කරන්න. මේ රටේ ජනතාව ප්‍රගතිශීලී මාවතකට ගෙනි යන්න තමන්ගේ කලාව යොදා ගන්නේ නැතිව ඒක සැඟවුණු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න යොදා ගන්න එකයි මේකෙන් පේන්නේ. “ කියා උන්නැහේ කීවේය.

‘‘ දැන් බැලුවම උන්නැහේටත් වෙනදට වඩා කාරණා කාරණා තේරෙනවා වාගේ. ඇත්තම කතන්දරේ නම් ඇම්බන් මහත්තයා... දැන් ඔය නවකතාකාරයෝ නවකතා ලියන්නේ ලිංගික සිද්ධි ඇතුළත් කරලා. ඒ ගමන් බොහොම ආඩම්බරෙන් කියන්නේ මොකක්ද? ලිංගිකත්වය කියන්නේ බොහොම ස්වභාවික දෙයක් කියලා. හැබැයි ඕනෑම සමාජයක ලිංගිකත්වය කියන්නේ ඒ රටේ සංස්කෘතිය විසින් හසුරුවන දෙයක් කියන එක නොදන්නවා නෙවෙයි. මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙළඳ පරමාර්ථ. ඒ කියන්නේ තමන්ගේ පොත විකුණාගන්න කරන පහත් උප්පරවැට්ටියක්. ආගමකට ගැරහීමත් එහෙම තමයි. එතන වෙළෙඳ පරමාර්ථයකට වඩා එහා ගිය සැඟවුණු න්‍යාය පත්‍ර තියෙනවා වෙන්න පුළුවන්. මේවා පටන් ගත්ත තැනම නවත්තන්න ඕනෑ. ඒකට තමයි නීති තියෙන්න ඕනෑ. ඉබාගාතේ යන, නන්නත්තාර වෙච්චි, වල් බූරු ප්‍රකාශන නිදහසක් රටකට මොකටද? ඒකෙන් මේ සමාජය තිබුණාට වඩා ඉහළ තැනකට අරන් යනවද? නෑ නේ... මං යනවා පන්සල පැත්තේ ගිහින් එන්න. ලොකු හාමුදුරුවෝ හම්බ වෙලා මේ ගැන තව ටිකක් කතා කරන්න ඕනැ... “ කියමින් ටොම්සන් මහත්තයා ගෙදරින් එළියට බැස්සේය.

බන්දුල පී දයාරත්න


නව අදහස දක්වන්න

Or log in with...