අව­මං­ගල්‍ය නවාංග | දිනමිණ

අව­මං­ගල්‍ය නවාංග

මා රෑ බෝ වී ‘සංහිඳ පාමුල’ ලියන්නට පටන් ගත් බදාදා දින දහවලේ මළගෙදරකට සහභාගී වීම සඳහා කිරිල්ලවලට ගියෙමි. ගෙවුණු දවස් සිහිගන්වන විට අවමංගල්‍ය සඳහා සහභාගී වූ දවස් බොහෝ යයි සිතෙයි. ඊට කලින් වූ සඳුදා දිනයේ ද මම මළගෙදරක ගියෙමි. සඳුදා මතු නො වේ. ඊට පෙර දවසේ එනම් ඉරිදා ද මළගෙයක් විය. මම ඊට ද සහභාගී වීමි. මළ ගෙවල් නිම වූ පසු පිංකම් ය. හත් දවස, තුන් මාසය හා අවුරුද්ද ආදී වශයෙන් පිංකම් ගෙවල් එළඹෙයි. සමාජයේ මිනිසුන් අතර ජීවත්වන විට අප ඒවාට සහභාගී විය යුතු ය. අප දන්නා හඳුනන හිතවතුන් රෝගී වූ විට ඔවුන් බලන්නට ද එක්කෝ රෝහලට නැතහොත් නිවසට යා යුතු ය. එය අප සතු යුතුකමකි. මම රෝගීව නිවසට වී සිටින රෝගීන් හත් අට දෙනකුගේ ලැයිස්තුවක් දකින්නට යාම සඳහා සිතින් පිළියෙල කරගෙන සිටිමි. අභාග්‍යයකි. මාතින් ඒ අය දකින්නට යාම දිනෙන් දින පැහැර හැරෙයි. එය කයිවාරු ගැසිය යුතු තත්ත්වයක් නො ව යුතුකම් පැහැර හැරීම පිළිබඳ ස්වයංව දුක්විය යුතු තත්ත්වයකි. ඇතැම් විට ජීවත්ව සිටිය දී දකින්නට යන්නෙමි යි සිතින් සැලසුම් කරගෙන සිටි අය මරණයට පත් වෙත්. එවිට මළගෙදරට සහභාගී වන්නට සිදුවන්නේ එක්තරා කනගාටුවක් සිතෙහි රඳවාගෙන ය. මෙවන් අතපසුවීම් සිතාමතා කරන දේ නො වේ. වෘත්තිමය, සමාජමය, පෞද්ගලික, කිසියම් කාලරාමුවකට කළ යුතු කටයුතු, ජීවත්වන්නට මුදලක් ඉපයීම සඳහා කරන කටයුතු ආදී වශයෙන් කුදු මහත් කටයුතු අටෝරාශියක අප සැම පැටලී සිටින හෙයින් සිදුවන්නකි.

යන හැම මළගෙදරක දී ම හමුවන අය අතර (සත්‍ය වශයෙන් බොහෝ හඳුනන මිනිස් ප්‍රජාව හමුවන තැන මළගෙදරයි.) “මේ දවස්වල මළගෙවල් වැඩියි නේ ද?” යන කතාබහ මතුවෙයි. සෙ‍ස්සෝ ද ඒ කතාව අනුමත කරත්. එහෙත් මළ ගෙවල් අඩු කාලයක් තිබිණි ද? රෝගී වූවන් අඩු කාලයක් තිබිණි ද? මැදිහත් සිතින් විමසා බලන විට නැත යන පිළිතුර ලැබෙයි.

මරණය සනාතනික, සෑම අයකුට ම පොදු ධර්මතාවකි. මම ඊයේ චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා අපෙන් සමුගෙන තුන්මසක් ගතවීම නිමිත්තෙන් ප්‍රකාශයට පත් වූ ‘දොඩං’ නම් පොත කියැවීමි. (මා දොඩන්ගොඩ මහතාගේ අවමංගල්‍යයට සහභාගී වූ මුත් තුන්මාසයේ පිංකමට යන්නට නොහැකි විය. එහෙත් දොඩන්ගොඩගේ සහධම්මිනිය වූ සුනිලා විජේසිංහ මහත්මිය අපේ පළාතෙන් යනෙන ඥාතියකු අත පොත එවන්නට තරම් කාරුණික වූවා ය.)

‘තිස් වසරකට පසු’ යන හිසින් දිවයින පුවත්පතට තිස් වසරක් පිරීම නිමිත්තෙන් මුල පටන් එහි සේවය කළ දොඩන්ගොඩ ලියූ ලිපියක කොටසක් ‘දොඩං’ පොතට එකතු කර තිබිණි. එහි මෙසේ සඳහන් විය.

“අපට නොදැනුණ ද ලෝකය කැරකේ. ලෝකය කැරකෙනවාත් සමඟ මිනිසකුගේ ජීවන කාලය ද කැරකේ. කෙටියෙන් කිවහොත් සෑම උදෑසනක් ම ඇරඹෙන්නේ අප මහලු බවට පත් කරමිනි. ගසක් තවදුරටත් පවතින්නට නම් අලුත් දලු කොළ නැගිය යුතු ය. එවිට පරණ කොළ ඉදී කහපැහැ ගැන්වී බිම වැටේ.”

ස්වභාව ධර්මය සමඟ ජීවිතය බද්ධ කෙරෙන අපූරු කියමනකි. මෙම කියමනින් කියැවෙන ස්වභාව ධර්මයේ නියාමනයට කොයි කවුරුත් යටත් විය යුතු ය. සමහරු ආයුෂ විඳ මහලු වියේ දී මිය යෙත්. ඇතැම්හු මැදිවිය හමාර වන විට සියල්ල හැරදා සොහොන් බිමට යෙත්. සමහරුන් අවසන් ගමන් යන්නේ සියලු දෙන කම්පාවට පත් කරමින් භද්‍ර යෞවනයේ දී ය. තවත් අය සුරතල් ළමා වියේ දී ය. මරණය විවිධාකාර ය කිසිවෙකුට මෙකියන සනාතන සත්‍යතාවයෙන් ගැළවිය නොහැක.

මට මෙහි දී බෞද්ධ සාහිත්‍යයේ එන එක් තේරී ගාථාවක් සිහියට නැගෙයි. බුදුන් වහන්සේ මෙම ගාථාව දේශනා කරන්නේ මියගිය දියණියගේ සොහොන් ගැබ අසල වැළපෙන ‘උබ්බරිය’ අරභයා ය.

“අම්ම ජීවාති වනම්හි කන්දති - අත්තානම් ආධිගච්ඡ උබ්බරී

තුලාසිටි සහස්සාති - සබ්බා ජීව සනාමිකා

ඒතම්ලාභතේ දද්ඪා - තාසං හමනු සෝවසී”

මෙම ගාථාවේ සිංහලාර්ථය මෙසේ ය. “උබ්බරිය ඔබ දුව ‘ජීවා’ යයි කියමින් වනයෙහි හඩන්නෙහි ය. තමන් ගැන ම සිතා බලව. මෙම සොහොනෙහි ජීවා යන නම් ඇති අසූහාරදහසක් දවන ලදහ. ඔවුන් අතුරින් කවර දුවක සඳහා හඬන්නෙහි ද? මේ ගාථාව අසා ඕ තොමෝ රහත් වූවා ය.” (ගාථාව හා සිංහලාර්ථය මා උපුටා ගන්නා ලද්දේ එන්. ඒ. ජයවික්‍රම හා පණ්ඩිත කාන්ගාරච්චි මහතුන් විසින් සම්පාදිත ‘ථෙරි ගාථා ව්‍යාඛ්‍යා’ නම් කෘතියෙනි. එය මට සැපයූවෝ මිතුරු ආරියවංශ අබේසේකරයෝ ය.)

අප කතා කරමින් සිටියේ මළගෙවල් ගැන ය. මළගෙයක දී හමුවුණු තැනැත්තෙක් මෙවැන්නක් පැවසී ය.

“බලන්න. ඉස්සර මළගෙයකින් වතුර ටිකක්වත් බීව ද? ඒකට දැන්? එන හැමෝ ම කෑම කනවා.”

සැබෑවකි. අද එසේ නො වේ. සියල්ල වෙනස්වන්නා සේ මළගෙය ද වෙනස් ව තිබේ. එන හැමෝ ම පාහේ ආහාර ගනිති. හරියට ම පුංචි පාටියක් සේ ය. සමහර තැන්වල රාත්‍රී ආහාරයට බත්වලට අමතරව ඉඳි ආප්ප, පාන් ආදිය ද තබා තිබේ. රාත්‍රී ආහාරය රුචි පරිදි ගැනීම වෙනුවෙනි. තමන් වෙනුවෙන් පැමිණෙන නෑ, හිතමිතුරු ප්‍රජාවට සංග්‍රහ සත්කාර කිරීම තම යුතුකමක් සේ මළගෙදරට සම්බන්ධ වූවෝ ද සලකති. එහි වරදක් ද නැත. කොහොමටත් විවිධ තැන්වල වාසය කරන සාමාජිකයන් වැඩි නිවසක අවසන් දිනට පෙර රාත්‍රි ආහාර වේල සැපයීම ද ලේසිපහසු කටයුත්තක් නම් නො වේ.

මළගෙයක දැනෙන දුක සදාකාලික නො වේ. දරුවෙකුගේ මරණයක් වැනි අවස්ථාවක් ඉතා ශෝකාකූල ය. හත්දවසේ දානය වන විට දුක තුනී වී ගොසිනි. තුන්මාසයේ දානය බොහෝ විට පාටියක් බවට පත්වෙයි.

මළගෙයක දී හමුවූවෙක් මා හා මෙසේ පැවසී ය.

“දැන් බලන්න. ඉස්සර වගේ මළගෙදරක කාඩ් ගහනව ද? කැරම් ගහනව ද? කතාබහ කරනව ද? නෑ. කොලු පරම්පරාව ටච් ෆෝන් දිහා බලාන. ගොළුවො වගේ.”

ඇත්ත. පෙර මළගෙදරක තිබුණු ගෘහස්ත ක්‍රීඩා, කතාබහ සියල්ල අබිබවා ස්පර්ශ ජංගම දුරකථනය රජ වී ඇත. පාළු කපන්නට, තනි නොතනියට පිරිසක් අවශ්‍ය නො වේ. ස්පර්ශ ජංගම දුරකථනය ඒ සියල්ල කරයි.

“ අපේ සංස්කෘතිය අකාමකා වෙලා ගිහින්.” තවත් මනුස්සයෙක් කම්පා වෙයි. (කොහොමටත් තමනුත් අලුත් දේවලට ආසක්ත වන අතරේ ම නොඉඳුල් යයි කියන සංස්කෘතියක් වෙනුවෙන් කම්පා වීම අපේ සමාජයට ආවේණික පුරුද්දකි.)

නොඉඳුල් සංස්කෘතියක් කියා දෙයක් නැත. සංස්කෘතිය එක තැන නතර වූ බරකරත්තයක් වැනි දෙයක් නො වේ. එය නිරන්තරයෙන් කාලානුරූපව, සමාජ මතිමතාන්තර වෙනස් වීම් වලට අනුරූපී ව වෙනස් වන්නකි. සමාජ මතිමතාන්තර වෙනස් වූ විට සංස්කෘතිය ද ඇතැම් පැරණි අංග ඉවතලයි. නවාංග එකතු කර ගනියි. අන් හැම සමාජ කාරණාවලට මෙන් ම අවමංගල්‍යයට ද මෙම කාරණය අදාළ ය.

 මහා­නාම දුනු­මාල


නව අදහස දක්වන්න

Or log in with...