රජයට වසර තුනක් සපිරෙන අගෝස්තු මාසයේ ව්‍යාපෘති 14000 ක් දිවයින පුරා | දිනමිණ

රජයට වසර තුනක් සපිරෙන අගෝස්තු මාසයේ ව්‍යාපෘති 14000 ක් දිවයින පුරා

 අපේ දේශයේ සියල්ලන්ට බත බුලත සපයන්නට මහ වැස්ස ගිනි අව්ව එක සේ උසුලමින් මහපොළොව දහඩියෙන් සරුකරන ගම්දනව්වල ඇත්තන්ගේ ජීවිත වඩාත් සුවපත් කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම වගකීම වන්නේය. එම වගකීම මැනවින් තේරුම්ගෙන දැනටමත් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වලට අමතරව ගම්පෙ‍රළිය නමින් දැවැන්ත සංවර්ධන වැඩසටහනක් සැලසුම්කොට ඇත.

වාර්තාවන අන්දමට වැඩසටහනේ පිරිවැය කෝටි 8000 කි. කුමන නිර්නායකයක් යටතේ බැලූවද මෙය අද්විතීය එකකි. සෑම ග්‍රාම සේවා වසමකටම ප්‍රතිපාදන ලැබෙන මේ අවස්ථාව හැඳින්විය හැක්කේ පුරවැසියන් බලගැන්වීමක් ලෙසය. සෑම පුරවැසියෙකුටම පාහේ දැනෙන මෙවන් යෝධ වැඩසටහනකට ජවසම්පන්න ආරම්භයක් ද තිබිය යුතුය විධිමත් ආරම්භය ද ව්‍යාපෘතියේ සාර්ථකත්වයට උත්තේජනයක් සපයනු ඇත.

මේ අවස්ථාවේදී සිහිපත් වන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැඟුණු ව්‍යාපෘති 15000 වැඩසටහනය. එම වැඩසටහන දිවයින පුරා දියත් කළේ සිංහල අවුරුදු නැකතටය. එය කදිම ආරම්භයක් විය.

රජයට වසර තුනක් සපිරෙන අගෝස්තු මස දිවයින පුරා සෑම වසමකම එකක් බැගින් ව්‍යාපෘති 14000 ක් ආරම්භ කළ හැක.

ධරණීය සංවර්ධනයක් අපේක්ෂාවෙන් ක්‍රියාවට නංවන ජනතා මූලික ඕනෑම වැඩසටහනකට වඩාත්ම උචිත ක්‍රමවේදය ලෙස Òසහසාධක ප්‍රවේශයÓ හඳුනාගෙන ඇත. එම ප්‍රවේශයේදී කර්තෘවරුන් වන්නේ ජනතාවය. ඔවුන්ට වඩාත්ම ව්‍යාපෘති හඳුනාගැනීම, ඒවා සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පසුකාලීනව නඩත්තු කිරීම යන සෑම පියවරකදීම ජනතාවට වගකීම පැවරෙන්නේ නම් එවැන්නක් සඳහා හෘදයාංගම ජන සහභාගිත්වයක් උරුම වේ. එසේ නොමැති බාහිර අය ව්‍යාපෘති හඳුනාගෙන පසුබිම සැලසුම්කොට, ක්‍රියාත්මක කිරීමේදී පමණක් Òසහය වෙයල්ලාÓ යයි කීම සහභාගිත්වය ප්‍රවේශය නොවේ. එමනිසා ‍ගම්පෙරළිය වැඩසටහනේදී සැබෑ සහභාගිත්වය ලැබෙන තැනට වැඩ සැලැස්විය යුතුය. අවශ්‍ය කඩිනම් ව්‍යාපෘති හඳුනාගැනීමට ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂ දැනුම ඇති නිලධාරීන් සම්බන්ධ කළ හැකිය. ගම්පෙරළිය ජනතාවගේය.

ගම්පෙරළිය යටතේ ව්‍යාපෘති තෝරාගැනීමේදී ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ප්‍රමුඛ විය යුතුය. එසේ සැලකීමේදී නිතැතින්ම ඉදිරියට කෘෂි හෝ කෘෂි ආශ්‍රිත ක්‍රියාකාරකම්ය. යම් යම් ප්‍රදේශවල වැව් පිළිසකර කිරීම දැනටමත් ආරම්භ කර ඇත. එසේ කිරීමේදී හැකි සෑම විටකදීම මිනිස් ශ්‍රමයට මුල් තැන දිය යුතුය. එසේ වූ විට රජයේ වියදම ගම්මුන්ගේ ආදායම බවට පත්වෙයි. ඒ තුළින් ව්‍යාපෘතිය හා කිට්ටු සම්බන්ධයක් ඔවුන් තුළ ඇතිවෙයි. වැව් අමුණු නොමැති ප්‍රදේශවල වසර ගණන් තිස්සේ පුරන් වී ඇති යායවල් අස්වැද්දීම ව්‍යාපෘතියට යොමුකර ගත යුතුය. බරපතළ තාක්ෂණික හේතුවක් නැති සෑම යායක්ම වගාකිරීමට සැලැස්වීම අනිවාර්ය කළ හැකිය. ආරම්භ කන්නයේදී සහන මිලට හෝ නොමිලයේ බිත්තර වී ලබාදීම වැනි දිරිගැන්වීම් තිබිය යුතුය. එය මුදල් නාස්තියක් නොව ජාතික ආර්ථිකය මෙන් ගොවි ජීවිත ද නඟාසිටුවීමකි.

සෑම ග්‍රාම සේවා වසමකම හැකි උපරිම ගෘහස්ථ ප්‍රමාණය දායක කරගන්නා ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සුදුසුය. මාස කිහිපයකට පසුව තම ආහාර වේලට ගෙවත්තෙන් යමක් එක්කර ගන්නා පවුල් ගණනෙන් ප්‍රගතිය මැනිය යුතුය. එම සතිය උදාවන තෙක් සමීපව පසුවිපරම් කිරීමේ ප්‍රායෝගික ක්‍රමවේදයක් තිබිය යුතුය. එයට ප්‍රමාණවත් රාජ්‍ය සේවා බලඇණියක් දැන් රට සතුව ඇත. වස විස නැති ආහාර වේලක් සඳහා තම ගෙවත්ත ගැන විශ්වාසය තැබීම හැර අන් විකල්පයක් නැත. මේ දිනවල අමුමිරිස් කිලෝවක් රු. 700 තරම් ඉහළ මිලකට අලෙවි වෙයි. එයින් ගම්‍ය වන්නේ ගෘහාශ්‍රිත ගෙවතු වගාව අසාර්ථක බවය. දැඩි දුෂ්කරතා මත වුවද දැවැන්ත මුදලක් සංවර්ධනයට වෙන්කොට ඇති මේ අවස්ථාවේදීවත් යථාර්ථවාදී ගෙවතු වගා වැඩසටහනකට යා යුතුය.

ගෘහස්ථ පරිශ්‍රවල ඇති ඉඩකඩ ප්‍රමාණය අනුව තමන්ට අවශ්‍ය ආහාර භෝග වගාකිරීමට අමතරව වාණිජ වගාවකට ද යොමුවිය හැකිය. අපේ රටේ පලතුරු වගාව දැඩි සේ බොහෝ පසුගාමී තැනකය. ඉතා කටුක දේශගුණ‍ෙය්දී වඩාත් හොඳින් වැවෙන දෙළුම් හෝ අපට ඇති ප්‍රමාණයට වගාකර ගත නොහැකිව අපි ලතැවෙන්නෝ වෙමු. ඕනෑම අඩු ජල සැපයුමක් යටතේ පැවතිය හැකි කටුවැල්බටු, කටුක‍‍රෝසන වැනි දේශීය ඔසු වර්ග අප තවමත් ගෙන්වන්නේ පිටරටිනි. එමනිසා ඔසු ගම්මාන වැඩසටහන ද මේ සමඟම සක්‍රීය කළහොත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

ගෙවතු වගාවන් ගැන කතා කරන විට නිරෝගී පැළ ලබාගැනීම ගැටලුවක්ව පවතී. එමනිසා වැඩසටහන යටතේ හැම වසමකම හොඳ තත්ත්වයේ පැළ තවානක් ආරම්භ කිරීම අනිවාර්ය අංගයක් කිරීම සලකා බැලීම වැදගත්ය. එවැනි කටයුත්තකට අවශ්‍ය වන්නේ සුළු මුදල් ප්‍රමාණයකි. එහෙත් ප්‍රතිඵල විශාල වනු ඇත.

කෘෂිකර්ම ආශ්‍රිත සෑම ඉසව්වකටම අතපෙවිය යුතුය. එය පවුල් මට්ටමේ හා ජාතික මට්ටමේ ප්‍රගමනයට නොවරදින මඟක් වනු ඇත.

වැඩසටහනේ සමාජ යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාකාරකම්වලදී ඉතා ප්‍රවේසම් වීම වැදගත්ය. Òසංවර්ධනය යනු පාරවල්යÓ යන මතයක් සමාජගත වෙමින් තිබේ. සංවර්ධනයට පාරවල් අවශ්‍ය නමුත් මුළු සංවර්ධනයම යනු පාරවල් ‍පමණක් නොවේ. සෑම පවුලකටම වෙනසක් දැනෙන්නට නම් තවත් බොහෝ දේ කළ යුතුය. එමනිසා වැඩසටහනට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් හඳුනාගැනීමේ වරදක් නැතත් දැනට ක්‍රියාත්මක වියදම් අධික කොන්ත්‍රාත් ක්‍රමය වෙනස් විය යුතුය. මේ වියදම් අධික ක්‍රමය නිසා සමහර ඉතා කෙටි පාරක වුවද කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කර ඇත්තේ සුළු කොටසක් පමණි. මීටර් 400 කටත් අඩු පාරක මීටර් 100 ක් පමණ කොන්ක්‍රීට් අතුරා තිබෙන අවස්ථා අප දැක තිබේ. මෙය ජනතාවට විහිළු සපයන ක්‍රියාවකි.

ශ්‍රම හා ද්‍රව්‍ය ඇස්තමේන්තු මත තම ප්‍රදේශයේ ඉදිකිරීම් කරගැනීමට ස්වේච්ඡා සංවිධානවලට බාරදිය යුතුය. එවිට ප්‍රතිපාදන සලස්වන්නේ ද්‍රව්‍යවලට හා ශ්‍රමයට පමණි. සම්මත ඇස්තමේන්තු ක්‍රමයට වඩා වියදම අවම වශයෙන් 30% ඉතිරියක් දැකිය හැකිය. විශේෂයෙන්ම 70 හා 80 දශකවල ක්‍රියාත්මක වූ බොහෝ ව්‍යාපෘතිවලට මෙම ක්‍රමය යොදාගත් බව එය සාර්ථක වූ බව එදා උපදිසාපතිවරුන් ක්‍රියාකළ හැටි අපට හොඳ හැටි මතකය. එමනිසා නව ආරයේ මෙම සංවර්ධන ව්‍යාපෘතියට යෝජිත ක්‍රමය ආදේශ කර ගැනීමට පසුබට නොවිය යුතුය. වියදම් අඩු ප්‍රතිඵල වැඩි ක්‍රමයකට කිසිවකුට විරුද්ධ විය නොහැකිය. ව්‍යාපෘතිය යටතේ කඳුකර ප්‍රදේශයක පඩිපෙළක් සෑදීම අත්‍යාවශ්‍ය තැනෙක නාන තොටුපොළක් හෝ පොදු ළිඳක් සකස්කිරීම කිසිසේත්ම බැහැර නොකළ යුතුය.

කුඩා පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වර්ධනයට ප්‍රතිපාදන සලස්වා ඇති බව වාර්තා වෙයි. මෙය ‍හොඳ ප්‍රවණතාවයකි. පුස්තකාල ගැන ද සලකා බැලුවේ නම් වඩාත් හොඳය.

විශාල හරිත උයන් සඳහා ඉඩ සලස්වා තිබෙන බව දැනගන්නට ඇත. එහෙත් කුඩා ප්‍රමාණයේ හරිත උයන්වලට ද අවස්ථාව දීම වැදගත්ය.

දිළිඳුකම පිටුදැකීමේ උත්සාහයේදී ආදායම් අඩුවීමට අමතරව හඳුනාගෙන ඇති ප්‍රධාන බාධකයක් වන්නේ වියදම් අයාලේ යාමය. එය සිදුව තිබෙන්නේ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයන් හමුවේ අපේ සමහර අම්මාවරුන් අතරමං වී සිටීම නිසාය. එමනිසා අත්‍යවශ්‍ය වියදම් පෙළගස්වා ගැනීම අත්‍යාවශ්‍ය වෙයි.

බෝනොවන රෝග වළක්වා ගැනීම, දුම්වැටි මත්වතුර පානය අවම කර ගැනීම යන කාලීන ප්‍රශ්න සඳහා දැනුවත් වූ අම්මාවරුන්ගේ දායකත්වය අතිමහත්ය. අපේ සාම්ප්‍රදායික සමාජයේ පවුල් තුළ තිබූ දියුණුවට ප්‍රබලම සාධකය ලෙස බලපා ඇත්තේ සාධනීය සම්ප්‍රදායයන්ගෙන් සන්නද්ධ වූ අපේ මාතෘ භූමිකාවය. යළි එය ගොඩනඟා ගැනීම සමාජ ප්‍රගමනයට අතිශයින් තීරණාත්මකය. මෙවැනි වැඩසටහන්වලට වැයකළ යුත්තේ අඩු මුදල් ප්‍රමාණයකි. ඔවුන්ට සමීප වී ඔවුන් අගේ කරමින් ක්‍රම ක්‍රමයෙන් වඩාත් ‍ෙහාඳ දේට මෙහෙයවීම කළ යුතුව ඇත. මේ සඳහා වන දැවැන්ත රාජ්‍ය සේවා බලඇණියක් අප සතුව ඇත.

මේ සියලු කටයුතු සිදුවෙද්දී පවත්නා සංවර්ධනයක් සඳහා ජනතාවගේ සංස්කෘතික ජීවිත ශක්තිමත් විය යුතුය. යුනෙස්කෝ සංවිධානය පවසන්නේ සියලු සංවර්ධන කටයුතුවලට සාංස්කෘතික මුහුණුවරක් නොදුනහොත් ඒ සංවර්ධනය අයාලේ යන බවය. ඉතා සාධනීය ප්‍රකාශයකි. ඒ නිසා සෑම පූජනීය ස්ථානයක්ම කේන්ද්‍ර කර ගනිමින් සංස්කෘතික සමාජ පිහිටුවා, යහගුණදම් සරල ඇවතුම් පැවතුම් යළිත් සමාජගත කළ යුතුය. ඒ සඳහා පූජනීය ස්ථානවල ද අඩුපාඩු මඟහරවා කුඩා හෝ පුස්තකාල ආරම්භකොට තරුණ ආකර්ෂණය ඇතිකරගත යුතුය. ගම්පෙරළිය මේ උත්සාහය ද අත්නොහැරිය යුතු යයි සිතමු.

ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සංවර්ධන කටයුතුවලට සෘජුවම මැදිහත්වෙමින් සිටී. ගම්පෙරළිය භාරගෙන ඇත්තේ ඕනෑම පෙරළියකට රුසියෙකැයි ප්‍රකට මුදල් ඇමැතිතුමා විසිනි. මෙතෙක් සංවර්ධන ඉතිහාසයේ ලත් සියලුම සාර්ථක ක්‍රමෝපායයන් බද්ධකර ගනිමින් ගම්පෙරළිය මෙහෙයවුවහොත් එය සෑම කුටුම්භයකටම නව කළඑළියක් වැටෙන යුග පෙරළියක්ම වනු ඇත. එය එසේම වේවායි අපි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමු.

කේ. කේ. ඩබ්ලිව්. තිලකසිරි
හිටපු ජනසවිය කොමසාරිස් හා විශ්‍රාමික අතිරේක ලේකම් 


නව අදහස දක්වන්න

Or log in with...