මොනරාගල එන්ටර්ප්‍රයිස්! | දිනමිණ

මොනරාගල එන්ටර්ප්‍රයිස්!

ලෝකය දැන් නැඹුරු වී ඇත්තේ ලිබරල් ආර්ථිකයක් වෙත ය. ලිබරල් ආර්ථිකය යනු ධනවාදයේ අලුත් අවධිය යි. මේ ආර්ථික ක්‍රමවේදය ලෝක යථාර්ථයක් බව වටහාගත යුතු සේ ම ඉන් බැහැර ව ජාත්‍යන්තරය සමඟ ආර්ථික ගනුදෙනු පවත්වාගත නොහැකි බවද අවබෝධ කරගත යුතු ය. නිදහස් වෙළඳ පොළ ලිබරල් ආර්ථිකයේ මූලික ලක්ෂණයකි. සියලු නිෂ්පාදන හා සේවා ව්‍යාපාරික මට්ටමෙන් පවත්වා ගැනීම හා ඉන් ලාභ ඉපැයීම එහි තවත් වැදගත් ලක්ෂණයකි. නව නිපැයුම්වලට තැනක් දීම හා තරගකාරිත්වය ඔස්සේ උසස් භාණ්ඩ හා සේවා නිර්මාණය කිරීම ද එහි කැපී පෙනෙන ලක්ෂණයකි.

ලිබරල් ආර්ථිකය පිළිබඳ ලෝක සංවාදයක් පවතී. ඊට සමගාමී සංවාදයක් අපේ රට තුළ ද පවතී. එහෙත් මේ ක්‍රමවේදය ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කරන වැඩසටහන් හිඟ විය. ඒවා ආරම්භ වන්නේ මේ දැන් ය. මේ ආර්ථික ක්‍රමවේදය තහවුරු කිරීමට ගත යුතු ප්‍රධාන ක්‍රියා මාර්ගයක් වන්නේ ව්‍යාපාරිකයන් බිහි කිරීමට අවශ්‍ය පහසුකම් සැලැසීම ය. ව්‍යාපාරිකයන් ඉබේ බිහිවන්නේ නැත. ඒ සඳහා අවම වශයෙන් සාධක තුනක් සපුරාලිය යුතුය. එක; ව්‍යාපාරයකට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම ය. දෙක; නව නිෂ්පාදන සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණය ලබාදීම ය. තුන; ව්‍යාපාර වැටෙන්නට ඉඩ නොදී පවත්වා ගැනීම ය.

අපේ නූතන සමාජය ව්‍යාපාර ආරම්භ කරන වේගයෙන් ම ඒවා බංකොලොත් කර ගනිති. නැතහොත් ව්‍යාපාරයක් පවත්වාගැනීමේ අවදානම භාරගත නො හැකි ව ළතවෙති. කොටින් ම ව්‍යාපාර සඳහා දිරි දෙන ආයතන ඇත්තේ ස්වල්පයකි. ඒවා ද ඒ හැටි ජනප්‍රිය නැත. ඕනෑම තැනැත්තකුට ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි ය. ඊට නෛතික වශයෙන් බාධාවක් නැත. එහෙත් ව්‍යාපාරයක් ඕනෑම අවස්ථාවක වසා දැමීමේ අයිතියක් කිසිවකුට නැත. හේතුව; ව්‍යාපාරයක් සේවකයාගේ ද අයිතියක් බවට පරිවර්තනය වන බැවිනි. එම ව්‍යාපාරය පිළිබඳ යම් වගකීමක් රජයටද තිබේ. එබැවින් ව්‍යාපාර වසා දැමීම හෝ ඈවර කිරීම හෝ යුක්තිසහගත නැත.

ව්‍යාපාර කඩා වැටෙන්නට බලපාන ප්‍රධාන සාධක කිහිපයක් පවතී. ඇතැම් ව්‍යාපාරිකයෝ තම ව්‍යාපාරය කිසියම් නැග්මක් කරා ගිය සැණෙන් එහි ආදායම වෙනත් කටයුතු සඳහා යොදවති. එය අවදානමකි. ව්‍යාපාරයකට කරන බලවත් හානියකි. මේ අනුව ව්‍යාපාරයක් ආරම්භකොට වැඩිකල් යෑමට මත්තෙන් එය කඩා වැටේ. තව සමහරු ණය කළමනාකරණය කරගැනීමට නොදනිති. ඒ අනුව ඔව්හු ණය උගුලක සිරවී ව්‍යාපාරයත්, ජීවිතයත් යන දෙක ම කඩාකප්පල් කරගනිති. තවත් සමහරු ව්‍යාපාරය හා වෙළෙඳ පොළ අතර සම්බන්ධය නොදනිති. ඒ අනුව ඔව්හු තරගයෙන් පරාජයට පත්වෙති.

මේ කරුණු සමාලෝචනය කරන විට පෙනී යන්නේ අපේ තරුණ පරම්පරාව ආර්ථික විද්‍යානුකූල පරිසරයක් තුළ සන්නද්ධ කොට ව්‍යාපාරික ක්ෂේත්‍රය කෙරෙහි යොමු කළ යුතු බව ය. ආණ්ඩුවක් පළමුවරට මේ තත්ත්වය වටහාගෙන ඇත. අපට ඒ බව තහවුරු කළ හැක්කේ මුදල් අමාත්‍යාංශය මෙහෙයවන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන ඔස්සේ ය. මේ වැඩසටහන හුදු දේශපාලනික ව්‍යාපෘතියක් නො වන බව ද ප්‍රචාරයට මුල් තැන දුන් වැඩසටහනක් නො වන බවද අපට පෙනී යයි. වැඩසටහන නිර්මාණය වී ඇත්තේ ලෝක ආර්ථිකය හා ගැටගැසිය හැකි සැලැසුම්සහගත ක්‍රමයකට ය. එලෙස ම එය අපට ඔරොත්තු දෙන හා සෑහෙන වැඩපිළිවෙළක් බව ද පෙනී යයි.

චීනයේ පර්යේෂණ කණ්ඩායමක් මෑතක දී ශ්‍රී ලංකාවට පැමිණ මෙරට කෘෂිකර්මය පිළිබඳ පර්යේෂණයක් කළේ ය. එම පර්යේෂණයේ එක් ප්‍රතිඵලයක සටහන් වන්නේ මෙරට භෝග වගාවල අස්වැන්නෙන් 60%ක්අපතේ යන බව ය. මෙයින් 30% ක් වන සතුන් හා කෘමීන් කා දමන බව සඳහන් ය. තවත් 30%ක් නිෂ්පාදන ක්‍රමවලදී ද ප්‍රවාහනය හා වෙළෙඳ පොළට ගෙන යෑම යන අවස්ථාවලදී විනාශයට පත්වන බව ද සඳහන් ය. නිවැරැදි තාක්ෂණය භාවිත නොකිරීම මීට එක් හේතුවකි. ව්‍යාපාරික අරමුණුවලින් වගා නොකිරීම තවත් හේතුවකි. කෘෂිකර්මය පිළිබඳ නව දැනුම නැතිකම තව ද හේතුවකි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවංක ප්‍රකාශයක් මෙහිලා සටහන් කිරීම වටී. අප එය නැවත සටහන් කර තබන්නේ එය අපගේ විෂයයට අදාළ බැවින් ය. අමාත්‍යවරයා කියා සිටින්නේ තවදුරටත් රාජ්‍ය අංශයේ රැකියා නැති බවය. එය සත්‍යයෙකි. බොහෝ ආයතනවලට ඔරොත්තු නොදෙන තරම් සේවකයෝ සිටිති. එම ආයතනවල වැටුප් ගෙවීමත් ප්‍රශ්නයකි. මේ වටපිටාවෙන් පැහැදිලි වන්නේ ව්‍යාපාරිකයන්, නව නිපැයුම්කරුවන් හා ස්වයං රැකියාලාභීන් බිහි කිරීම ඉතා වැදගත් බවය. අපේ වෙළෙඳ පොළ ගතහොත් එය දිනෙන් දින ප්‍රසාරණය වෙයි. ඒ හැරත් අන්තර් ජාතික වෙළෙඳ පොළ සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව දැන් උදා වී ඇත. මේවා සුබදායක පණිවිඩ ලෙස ගත හැකි ය.

නව ව්‍යාපාරිකයන් බිහි කිරීම, ඔවුන් සඳහා බැංකු ණය ලබාදීම, උපදේශන සේවා පැවැත්වීම හා ව්‍යාපාර පිළිබඳ පසු විපරම් සිදු කිරීමත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට අයත් ය. ඇතැම් ණයවල පොලිය රජය ගෙවයි. ඇතැම් ණය ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ සහන පොලී මත ය. නොමිලේ පවත්වනු ලබන පාඨමාලා ද මීට අයත් ය. ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීම වැඩසටහනේ ඉලක්කය බව සඳහන් ය. තවත් විශේෂයක් වන්නේ තරුණ පරම්පරාව කේන්ද්‍ර කොට වැඩසටහන ක්‍රියාත්මක වීම ය. මෙය ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාවලිය තුළ අලුත් අත්හදා බැලීමක් වන අතර රජය තරුණ පරපුරට ආරාධනා කරන්නේ ඊට එක් වන ලෙස ය.

වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීමේ අධ්‍යාපනික ප්‍රදර්ශනයක් අද මොනරාගල දී ආරම්භ වෙයි. එහි කලාප දොළහක් හා කුටි පන්සිය ගණනක් තිබේ. මේ සෑම අංගයක් ම ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ ය. මීට පෙර ජාතික වශයෙන් වැදගත් ප්‍රදර්ශන පැවැතිය ද ඒවා මඟින් ව්‍යාපාරිකයන් බිහිකළේ නැත. ව්‍යාපාරික ණය හෝ ආධාර හෝ ලබාදුන්නේ ද නැත. ‘එන්ටර් ප්‍රයිස්’ ශ්‍රී ලංකා යනු තරුණ පරම්පරාව නූතන ආර්ථික ලෝකය වෙත සමීප කිරීමකි.

 

නව අදහස දක්වන්න