මෙරට අධිකරණ පද්ධතිය ශක්තිමත්ව ස්වාධීන තත්ත්වයට පත්කර තිබෙනවා | දිනමිණ

මෙරට අධිකරණ පද්ධතිය ශක්තිමත්ව ස්වාධීන තත්ත්වයට පත්කර තිබෙනවා

සිතාරා සේනානි

ඕනෑම අයකුට අධිකරණය හමුවට ගොස් ස්වාධීන තීන්දු ලබා ගැනීමට හැකි පරිදි මෙරට අධිකරණ පද්ධතිය ශක්තිමත් හා ස්වාධීන තත්ත්වයට පත් කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර, ඒවාට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට ගෙන එනවා කියන කාරණය පසුගිය මැතිවරණවලදී අපි විශේෂයෙන්ම මතු කළ කාරණය වුණා. එහෙත් පසුගිය කාලය පුරා මේ ක්‍රියාදාමය මන්දගාමීව සිදු වනවිට අපිට සමාජයෙන් නොයෙකුත් චෝදනා ආවා අපි මේක ක්‍රියාත්මක කරන්නේ නෑ, අපි හොරුන් ආරක්ෂා කරනවා කියලා. මේ ක්‍රියාදාමය ප්‍රමාද වුණේ ඒ සඳහා පවතින නීතිය අනුව කටයුතු කිරීමට සිදුවන නිසයි. ඒ වගේම, පවතින නීතියට පිටස්තරව වැඩ කරලා කාටවත් දඬුවම් දෙන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් තුළ අපට බෑ. ඒ නිසා අපිට ඒ නීති පද්ධතිය හදාගන්නත්, ඒවාට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්නත් යම් කාලයක් ගතවුණා .

අපි 19 වැනි සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් මේ රටේ විශාල පරිවර්තනයක් සිදුකළා. ඒ වගේම, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට තීරණයකර, එහි පළමුවැනි මහාධිකරණය මේ වනවිට ස්ථාපිත කර තිබෙනවා. ඒ මහාධිකරණවල මේ නඩු විභාග කිරීම මේ වනවිට ආරම්භකර තිබෙන අතර, එහි පළමු නඩුව විදිහට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතාගේ නඩුව විභාගයට ගෙන තිබෙනවා. එසේම ගෝඨාභය රාපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දී සිදුවූ රුපියල් මිලියන 41ක ගනුදෙනුව පිළිබඳත් මේ විශේෂ අධිකරණය තුළ විභාග කිරීමටත් කටයුතු කෙරෙමින් තිබෙනවා.

ජනාධිපතිතුමාට තිබුණු බලතල විශාල ප්‍රමාණයක් අපි 19 වැනි සංශෝධනයෙන් අපි අඩුකර ඒ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට පැවරීමට කටයුතු කළා. ඒ අනුව අගවිනිසුරුවරයා, නීතිපතිවරයා හා පොලිස්පතිවරයා, පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයයි. ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන සියලුම විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපතිතුමා ඇතුළු විනිසුරුවරුන් පත් කරන්නේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයයි. මේ විදිහට ස්වාධීනව කටයුතු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් අපි ඇති කර තිබෙනවා. මීට පෙර මේ හැම තනතුරක්ම පත් කළේ හිටපු ජනාධිපතිවරයාගේ බලතල යටතේයි. මේවා වෙනස් කරන්න අපිට කාලයක් ගත වුණා. දැන් අධිකරණය තුළ ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කර තිබෙනවා. පසුගිය සමයේ මෙවැනි තත්ත්වයක් තිබුණේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා යටතේ තමයි නීතිපති දෙපාර්තමේන්තුව තිබුණේ. ‍එදා ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත්වීම් ගත්තේ අරලියගහ මන්දිරයේදීයි. අගවිනිසුරු පත් කළේ කොහොමද කියලා කවුරුත් දන්නවා. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් එකේ හිටපු නීතීඥවරයා තමයි අගවිනිසුරු ලෙස පත් කළේ. අද එහෙම නෑ. ස්වාධීන ආයතන පත් කරලා, ඒවාට අවශ්‍ය බලතල ලබා දීලා, දේශපාලන බලපෑම්වලින් තොරව ඒවායේ කටයුතු ඉදිරියට කරගෙන යන්න පුළුවන්, වැඩකරන්න පුළුවන් පරිසරයක් අද නිර්මාණය කර තිබෙනවා.

වත්මන් රජය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වගේ මේ රටේ වංචා දූෂණ අවම කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ආයතන පිහිටුවන්න කටයුතු කළා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අවශ්‍ය බලතල ලබා දී, එහි විමර්න කටයුතු සඳහා අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණය ලබා දීමට කටයුතු කළා. ඔවුන්ගේ වැටුප් වැඩිකළා. මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ පුරප්පාඩු පිරවීමට කටයුතු කළා. ඒ වගේම ඔවුන්ගේ වැටුප් වැඩ කළා. මේ ආකාරයට රටේ වංචා දූෂණ අවම කරන්න අවශ්‍ය තීන්දු තීරණ රැසක් ගත්තා. නීතිය ක්‍රියාත්මක කර‍න්නේ නෑ කියන චෝදනාවට පිළිතුරු ලබා දෙමින් අපි ක්‍රමානුකූලව මේ ආයතන ශක්තිමත් කර තිබෙනවා. දැන් කාටවත් චෝදනා කරන්න බෑ ආණ්ඩුව මේවා කරන්නේ නෑ කියලා. අපි දැන් ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවා දිනපතා නඩු අසන්න කටයුතු කර තිබෙනවා.

දැන් බැසිල් රාජපක්ෂ මහතා කියලා තිබෙනවා ඒ අය බලයට ආව දවසක මේ විශේෂ මහාධිකරණ අහෝසි කරනවා කියලා. ඇයි මේවාට බය වෙන්නේ? ඇයි හැංගෙන්නේ? ඇයි තමන්ගේ නඩු අහනකොට ඉහළ අධිකරණවලට ගිහින් ඒ නඩු අහන්න එපා කියලා නියෝග ඉල්ලන්නේ? තමන් පිරිසුදු නම්, තමන් වංචා කරලා නැතිනම්, තමන් දූෂණවලට සම්බන්ධ නැතිනම් ඕනෑම උසාවියකට ගිහින් බය නැතිව නඩුවලට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් හා ආත්ම විශ්වාසයක් තිබෙන්න ඕනෑ. මෙතැන තිබෙන දේ ඒ අයට ආත්ම විශ්වායක් නෑ මේ නඩුවලට මුහුණ දෙන්න. ඒ අයගේ හෘදය සාක්ෂිය දන්නවා ඒ අය මේ වංචා දූෂණවලට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ඒ අය ජනතාවගේ මුදල් අවභාවිත කරලා තිබෙනවා කියලා. කාගෙන් ගැලවුණත් තමන්ගේ හෘදය සාක්ෂියෙන් ගැලවෙන්න බෑ. හෘද සාක්ෂියට මුහුණ දෙන්න බැරි නිසා තමයි ඒ අය කියන්නේ අපි ආවාම මේවා අහෝසි කරනවා කියන්නේ, එසේත් නැතිනම් මේ නඩු අහන්න එපා කියලා ඉහළ අධිකරණවලින් නියෝග ඉල්ලන්නේ මේ තිබෙන බය නිසයි. එහෙම බය ඒ අය මේ වැරදිවලට සම්බන්ධ නිසයි. වැරදි කරලා නැතිනම් කවුරුවත් බය වෙන්න ඕනෑ නෑ. තමන් හෘදය සාක්ෂියට එකඟව ජනතාවගේ මුදල් අවභාවිතකර නැතිනම් අපිට මේවාට බය වෙන්න වුවමනාවක් නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ පසුගිය කාලයේ ජනතාවට දුන් පොරොන්දුවක් විශේෂයෙන්ම මේ රටේ වංචා දූෂණ අවම කිරීමටත්, ඒ ‍වගේම පසුගිය කාලයේ ඒවාට සම්බන්ධවූවන් ගැන කටයුතු කිරීමටත් අපි ක්‍රියාමාර්ග අපි අරන් තිබෙනවා කියලා.

පොලිස්පතිතුමාගෙන් පොලිස් කොමිසම ප්‍රශ්න අහන තත්ත්වයක් අද උදා වෙලා තිබෙනවා. අද දේශපාලකයන්ට ටෙලිෆෝන්වලින් පොලිසියට බලපෑම් කරන්න පුළුවන් තත්ත්වයක් නෑ. ඒ වගේ දේශපාලන බලපෑම් ආවොත් පොලිසියට පුළුවන් ඒ ගැන පොලිස් කොමිසමට වාර්තා කරන්න. අද ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන කුලුනු ටික ස්වාධීන කොමිෂන් සභා හරහා ශක්තිමත් කර තිබෙනවා. පසුගිය ආණ්ඩුව 18 වැනි සංශෝධනය හරහා අහෝසි කර තිබූ ස්වාධීන කොමිෂන් සභා යහපාලන ආණ්ඩුව යටතේ 19 වැනි සංශෝධනය මඟින් නැවත ශක්තිමත් කර, එහි ඵල ප්‍රයෝජන ජනතාවට ලබා ගන්න පුළුවන් තත්ත්වයක් මේ වනවිට අපි ඇති කර තිබෙනවා. තොරතුරු පනත හරහා මාධ්‍යවේදීන් ඇතුළු ඕනෑම අයකුට ඕනෑම රාජ්‍ය ආයතනයක තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ දේවල් අපිට කලින් දකින්න තිබුණේ නෑ. නමුත් සමාජය තුළ අද අතිවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී වෙනස තුළ නිදහසේ අලුත් දිශාවකට ගමන් කිරීම ආණ්ඩුව මේ වනවිට ආරම්භ කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව අද නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ අධිකරණයට කරුණු ගොනු කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව මේ ආකාරයට ස්වාධීනව වැඩ කරනවා. මේ වගේ තත්ත්වයක් අපි 2015ට පෙර මේ රටේ දකින්න ලැබුණේ නෑ. අද අධිකරණය ස්වාධීනවී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට අද හැකිවී තිබෙනවා තමන්ගේ නඩුව අහන්න එපා කියලා, තමන්ව අධිකරණයට කැඳවන්න එපා කියලා ඉහළ අධිකරණයට ගිහින් නියෝග ලබා ගන්න. අපි දන්නවා එදා සරත් ෆොන්සේකා මහතාට මේ වගේ අවස්ථා ලැබුණේ නෑ. ඒ වගේම එදා රජයේ ආයතනවලට ලබා දෙන දුරකථන ඇමතුම් අනුව තමයි කටයුතු සිදුවුණේ. නමුත් අද එහෙම නෑ. ඕනෑම කෙනෙකුට අධිකරණය හමුවට ගිහින් තමන්ට සිදුවූ අසාධාරණය ගැන ස්වාධීන තීන්දු ගන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කර දී තිබෙනවා. අධිකරණ කොමිසම ශක්තිමත් කරලා, නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය බඳවා ගැනීම් සිදුකරලා ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා.

නව අදහස දක්වන්න