මෙන්න කජුවලට දැති කියත් අපලයක් | දිනමිණ


 

මෙන්න කජුවලට දැති කියත් අපලයක්

* පුහුලමටත් වෙළෙඳපොළක් හැදුවොත් හොඳයි
* රටින් කජු නවත්වා සහනයක් දෙන්න

ඕනෑම රටක් විවිධ භූ විෂමතා ලක්ෂණ රැසකින් සමන්විතය. ඒ අනුව රටේ එක් එක් ප්‍රදේශ විවිධ දේ සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. සමහර ප්‍රදේශ ඛණිජ සම්පත් සඳහා විශාල ප්‍රසිද්ධියක් උසුලන අතර, තවත් ප්‍රදේශ පාරිසරික අලංකාරය තුළින් ජනාදරයට පත්ව තිබේ.

රත්නපුරය මැණික් ද, පුල්මුඩේ ඉල්මනයිට් ද, පුත්තලම ලුණු සඳහා ද ප්‍රසිද්ධියක් දරයි. ඒ හා සමානව ජනතාව ගොවිතැන් කටයුතු සඳහාද නොයෙකුත් ප්‍රදේශ තෝරා බේරා ගෙන ගොවිතැන් කටයුතුවල නිරත වෙති. හලාවත, පුත්තලම, කුරුණෑගල පොල් ත්‍රිකෝණයට අයත්ය.

ඒ අනුව වනාතවිල්ලුව කියු සැණින් කාගේත් මතකය දිව යන්නේ කුමකටද යන්න ඔබට ප්‍රහේළිකාවක් වන්නට පුළුවන. සෑම වසරක් පාසාම එක් කන්නයක් පමණක් වැඩි ඵලදාවක් තිබෙන වෙළෙඳ පොළේ තරගකාරි ඉල්ලුමක් ඇති කජු කනවා වගේ යැයි කව්රුත් කියන කජු පුත්තලම පුරවරයේ රත්තරං නාමය දිනා ගෙන ඇති දේශීය නිෂ්පාදනයක් කිවහොත් නිවැරදිය.

ශ්‍රී ලංකාවේ ජනාදරයට පත් භෝගයක් වන විදේශ විනිමය මෙරටට ගෙන්වන වනාතවිල්ලුවේ කජු පිළිබඳව සටහනකි මේ.

වර්ග කිලෝමීටර් 710ක වපසරියකින් යුක්ත වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ භූමියේ අක්කර තිස්පන්දාහකට ආසන්න ප්‍රමාණයක කජු වගා කර තිබෙන බව පැවසේ. එසේම පසුගිය වර්ෂ වලදී කජු සඳහා මෙරට පමණක් නොව විදේශීය ආකර්ශනයද නොඅඩුව ලැබී තිබේ. කුඩා ඉඩම් ප්‍රමාණයකින් වුවද විශාල කජු ඵලදාවක් ලබා ගත හැකි බව ගොවියෝ පවසති. නමුත් පසුගිය වර්ෂවලදී පුත්තලම ඇතුළු ප්‍රදේශවලට බලපා තිබූ අධික නියඟය කජු ශාකයට දිගින් දිගටම වින කටින්නට වන්නේ කර්මාන්තයටම කණ කොකා හඬවමිනි.

අධික නියඟයට හසුවී ලක්ෂ සංඛ්‍යාවක් කජු ගස් අකාලයේ මියැදෙනවාත් සමඟම කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කපා ඉවත් කරන ලද කජු දර ගඩොල් සහ උළු පෝරණු සඳහා සොච්චම් මුදලකට අලෙවි කිරීම නිරන්තරයෙන් දක්නට ලැබිණි. සමහර ගොවියන්ගේ අක්කර ගණන් කජු රුක් අවසානයේ දර බවට පත්විය.

ඒ සියල්ලට මඳ විරාමයක් දෙමින් ඇද හැළුණු වර්ෂාපතනයත් සමඟ නැවතත් කජු වගාවට අපල කාලයක් උදාවන්නට වූයේ විවිධ අසාත්මිකතා සහ බැක්ටීරියා හට ගැනීම නිසාවෙන් බව ගොවියෝ පෙන්වා දෙති. වැසි වැටීමත් සමඟ කජු මල් පූදින්නට වූයේ ගොවියන්ගේ සිත්වලද මල් පුබුදුවාලමිනි.

එහෙත් ඉකුත් වර්ෂ වලදී රුපියල් තුන් දහසක් වැනි මිලක පැවති කජු කිලෝ එක වර්තමානය වන විට රුපියල් දෙදහසකට පමණ පහත වැටී ඇති බවද පාරම්පරික කජු කර්මාන්තයේ නියැලෙන්නෝ පෙන්වා දෙති.

ශීඝ්‍රයෙන් මිල පහත වැටීම හේතුවෙන් පාඩු ලබමින් මෙම කර්මාන්තය කරගෙන යන බව වනාතවිල්ලුව ප්‍රදේශයේ කජු ගොවියෝ පෙන්වා දෙති.

2016 සහ 2017 වසර වලට සාපේක්ෂව කජු මද මිල විශාල වශයෙන් පහත වැටීම නිසා පසුගිය වර්ෂයේ වැඩි මිලට ගත් ලෙලි සහිත කජු කපා මද බවට පත් කිරීමේදී ව්‍යාපාරිකයින්ට දැඩි සේ පාඩු බව ද කියති.

පුරා වසර දෙකක් පැවති නියඟය සමඟ කජු අස්වැන්න අඩුවීමත්, කජු ගෙඩිවල මිල ඉහළ යෑමත්, කජු අානයනය කිරීමත් හේතුවෙන් කජු ව්‍යාපාරිකයින්ට පාඩු ලැබීමට සිදුවී ඇති බවට මැසිවිලි නඟති.

2017 වසරේදී කජු මද මිල කිලෝ එකක් රුපියල් තුන් දහසකට වැඩි මිලකට අලෙවි කළද, වර්තමානයේ කජු මද කිලෝ එකක තොග මිල රුපියල් දෙදහසක් දක්වා පහත වැටී ඇත.

කජු මද කිලෝ එකක් ලබා ගැනීමට ලෙලි කජු කිලෝ පහක් පමණ අවශ්‍ය වන අතර කජු මද කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් දෙදහසකට වැඩි මුදලක් වැය කිරීමට සිදුවී ඇති බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ හේතුවෙන් අධික ලාභ ලබන කෘෂි භෝගයක්ව තිබූ කජු නුදුරේදී වනාතවිල්ලුවෙන් සදහටම නැතිවීයාමේ ලකුණු පහළ වෙමින් තිබෙන බව ජනතාව පෙන්වා දෙති. එසේම කිසිදු අවසරයකින් තොරව වතු හිමියන් ඔවුන්ට රිසි සේ කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කජු ශාක කපා දර සඳහා අලෙවි කිරීම නිසාවෙන් කජු ශීඝ්‍ර ලෙස මෙරටින් වඳවී යාමේ තර්ජනයකටද ලක්ව ඇති බව කියති.

එක් පසෙකින් ස්වභාව ධර්මයා කජු වගාවට විනකටිද්දි තවත් පසෙකින් රිළවුන්, වඳුරන්, මොනරුන් වක්‍රව දැඩි හානි පමුණුවයි. ඊට හාත්පසින්ම වෙනස් තවත් විශාල උවදුරක් කජු ශාකයේ ඇතුළාන්තයේ සැඟව සිටින බව කවුරුත් නොදනිති. එනම් සතියක් වැනි කාලයකදී කජු ශාකය සම්පූර්ණයෙන්ම මරා දමන ක්‍රියාන්විතයක යෙදෙන විවිධ වර්ගයේ කෘමීන්ය. මේ කෘමීන් මැඩ පැවැත්වීම සඳහා විවිධ කෘමිනාශක භාවිතා කිරීමට ගොවියන්ට සිදුවන බව ගොවියෝ පෙන්වා දෙති.

මේ පිළිබඳ අදහස් දැක්වූ කජු ව්‍යාපාරිකයකු වන වනාතවිල්ලුව නිව්ටන් අප්පුහාමි මහතා - "මේ ව්‍යාපාරය මම පටන් අරගෙන අවුරුදු 20ක් විතර වෙනවා. සුළුවෙන් පටන් අරගෙන මේ දක්වා එන්න පුළුවන් වුණා. ඒ කාලේ කජු මද කිලෝ එකක් විකුණපු මිලට අද කජු ගෙඩි කිලෝ එකක් ගන්න වෙලා.

බැංකු ණය අරගෙන කජු කපන මැෂින් කිහිපයක් අරගෙන සේවකයෝ දාලා ව්‍යාපාරය කරගෙන යනවා.

වර්තමානයේ පවතින ඉන්ධන, විදුලිය වියදම සහ සේවක වැටුප් ගෙවුවට පස්සෙ ඇති ලාභයක් නැහැ. කජු ගස් කපලා දර වලට අර ගන්නවා. කිසිම තහනමක් නැහැ. කජු ගස් එහෙම විනාශ කරලා විදේශීය කජු මෙරටට ගේනවා.

ඒ නිසා අපේ රටේ කජු වලට මිලක් නැති වෙලා. රටින් ගේන එක නතර කර ලංකාවේ කජු වගාකරුවන් දිරිගැන්වීමක් කරනවා නම් හොඳයි. කජු ගස් කැපීම තහනම් කරන්න ඕනෑ. අපතේ යන කජු පුහුලන් වලින් යම්කිසි නිෂ්පාදනයක් හඳුන්වා දීලා රජයෙන් වෙළෙඳ පොළක් සකස් කරලා දෙනවා නම් කජු පුහුලන් වලින් හොඳ ආදායමක් ගන්න පුළුවන්.

රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබෙනවා වගේම රටේ ජනතාවගේ අත මිටත් සරුවෙනවා. කජු වගාවටත් ඉදිරියේදී කෘමිනාශක යොදන්න වෙයි කියලා තමයි කියන්න වෙන්නේ."

කේ. ප්‍රියංකර කළුපහන
වනාතවිල්ලුව සමූහ

නව අදහස දක්වන්න