නාවික හමුදාව අතහැර පත්තර වෙළෙඳාමට ආ සිරිසේන | දිනමිණ


 

නාවික හමුදාව අතහැර පත්තර වෙළෙඳාමට ආ සිරිසේන

* දැනට පැරණිම ලේක්හවුස් නියෝජිත වයස 93යි
* පටන්ගනිද්දි කොමිස් මුදල ශත එකහමාරයි

“මීට අවුරුදු හැට හැත්තෑවකට ඉහතදී පත්තර නියෝජිතකමට ලොකු ගෞරවයක් තිබුණා. ඒ හින්දයි මං නාවික හමුදාවෙන් ඉවත්වෙලා, එක පත්තරේකින් ලැබෙන ශත එකහමාරෙ කොමිස් එක ගැන නොහිතා මේ රස්සාවට ආවෙ.”

1951 දී පත්තර මහ ගෙදරින් පුවත්පත් නියෝජිතකම භාරගත් නාවික හමුදාවේ සේවය කළ රණසිංහ ආරච්චිගේ සිරිසේන නම් හිරියාල ඒජන්සියේ හිමිකරු සමඟ කතාබහක නියැළෙන්නට අපට අවස්ථාවක් හිමිවුණා. ඔහු දැනට ලේක්හවුස් ආයතනයේ සිටින පැරණිතම පත්තර නියෝජිතවරයාය. වයස අවුරුදු 93ක් වන සිරිසේන මහතා තවමත් උදෑසන 8.00, 9.00 වනතුරු පත්තර කියවීමට බලා සිටින පාඨකයෙක්ද වෙයි. එහෙත්, ඔහුගේ ඇසීමේ දුබලතාවක් නිසා අපට ඔහු සමඟ කතාබහ කිරීමට සිදුවූයේ; අපි කියන දේ කොළයක එකින් එක ලියාදෙමින්, ලියාදුන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ සිරිසේන මහතා අප සමඟ කළ කතාවයි මේ.

“මං නාවික හමුදාවෙ සේවය කරන කාලෙ ත්‍රිකුණාමලයට ගිහිං පත්තරේ අරගෙන එනවා කියවන්න, ඒ කාලෙ ත්‍රිකුණාමලේ තිබුණා සිටි ස්ටෝස් කියල කඩයක්. මං ඒකෙන් තමයි පත්තර ගත්තෙ. ඒ කාලෙදි මං දැක්කා මිනිස්සු පුදුම ගෞරවයක්, නම්බුවක් පත්තරවලටත්, පත්තර නියෝජිතයටත් දක්වන ආකාරය. ඒ කාලෙදි මං හිතාගත්තා කවදා හරි මමත් පත්තර නියෝජිතවරයෙක් වෙනවා කියලා.

නාවික හමුදාවෙ හිටපු අපිව ඒ කාලෙදි ගල්ඔය ව්‍යාපාරයේ වැඩට යෙදෙව්වා. මටත් ගල්ඔය ව්‍යාපාරයේ වැඩට යන්න කිව්වා. මං බැහැ කිව්වා. ආයෙ රස්සාවක් කරන්නෙ නෑ කියලා මං ඉබ්බාගමුවට ඇවිත් හිරියාල ඒජන්සිය පටන්ගත්තා.

මං ඉපදුණේ 1926 ජූලි 27. මං අලෙවි නියෝජිතකම ගත්තෙ 1951 ජූලි 22. එදා සිට මේ දක්වාම නියෝජිත තනතුරේ ඉන්නවා. ඒ කාලෙදි ජනප්‍රියම පුවත්පත දිනමිණ. මිල ශත හතයි. දවස් හයට විශේෂ ලිපි තිබුණා. සාහිත්‍ය, විචාර ලිපි තිබුණා. ඒ නිසා හැමදාම පත්තරේ ගත්තු පාඨකයො හිටියා. පහු කාලයකදී ශත 10 වුණා. දිනමිණ ශත හතට තියෙද්දි සිළුමිණ ශත 10යි. ඒ කාලෙ දවසකට මං දිනමිණ පත්තර 40ක් විතර වික්කා. ඩේලිනිවුස් 10, තිනකරන් 05යි. ඒ විදිහේ අලෙවියක් තිබුණා. හවස පත්තරෙත් දින 5ක් එනවා. සති අන්තයට සිළුමිණ පත්තර 100ක් විතර අලෙවි කළා. සන්ඩේ ඔබ්සර්වර් 40ක් විතර අලෙවි කළා. කොහොම වුණත් අද වෙනකොට මේ සියලුම, ඉඩකඩම් - දේපළ හම්බකළේ ඔය පත්තර අලෙවියෙන් තමයි.

1971 දි විතර අලෙවිකරුවන්ට විවිධ ජීවිත තර්ජන තිබුණා. ඒ කාලෙදි මැල්සිරිපුර අලෙවි නියෝජිතවරයා වෙඩි තියලා මරලා තිබුණා. මටත් ලියුම් ආවා. මරණ තර්ජනය කරමින් මං ඒවා ගණන් ගත්තෙ නෑ. මැල්සිරිපුර නියෝජිතගෙ මිනිය වැටිලා තියෙන විදිහ බලන්නත් මං බයිසිකලෙන්ම ගිහින් ආවා.ඒ කාලෙදි කුඹුක්ගැටේ පත්තර අලෙවිකරුට පොල්ලකින් ගහලා සල්ලි ටික උදුරාගෙන තිබුණා.

ප්‍රවෘත්ති ලියලා ප්‍රදේශයට සේවයකුත් කරන්න පුළුවන් වුණා. අද මං සතුටුවෙනවා ලෝකෙ තියෙන ප්‍රවෘත්ති ජනතාව අතරට අරගෙන ගිහිං මිනිස්සු දැනුවත් කරන්න මට හැකිවීම ගැන. තවමත් හිරියාල ඒජන්සිය මගේ නමින්ම පවත්වාගෙන යනවා. ඒ හින්දා 2001 අවුරුද්දෙ 2014 අවුරුද්දෙදි ලේක්හවුස් ආයතනයේ ඇගයීමට ලක්වුණා. 50 වසරකට වැඩි නියෝජිතකම ඇගයීමට ලක්වුණා.

අද පත්තර අලෙවිසලේ කටයුතු සොයා බලන්නෙ මගේ ලේලි. මගේ පුතාගෙ නෝනා. එයා විශ්‍රාමික ගුරුවරියක්. මගේ පුතා මිය ගියාට පස්සෙ ඒ සියලුදේත් බලාගෙන මට සලකාගෙන ඉන්නෙ ‍ලේලිය තමයි. ඒ අයට දැන් පත්තර අලෙවි කරන්න අමාරු නෑ. කොම්පැණියෙන් පත්තර ටික උදේ වෙනකොට ගෙනැත් දෙනවා. ඒ කාලෙ එහෙම නෑ, අපි පත්තර ටික ගන්න කුරුණෑගලට යන්න ඕනෑ. බයිසිකලේ පැදගෙන කිලෝමීටර් 14ක් විතර ගියා. 1960න් පස්සෙ තමයි සේවිස් එක දැම්මෙ. එතෙක් අපි පත්තර අලෙවි කළේ අර විදිහටයි. පුවත්පත් කලාව දියුණු වුණා වගේම බෙදාහැරීමේ ක්‍රමයත් දියුණු වුණා. අද පුවත්පත් ප්‍රමාණයත් වැඩියි. නියෝජිතයින් ගාණත් වැඩියි. එහෙම වුණා කියලා පත්තර අලෙවියට එතරම් හානියක් නෑ. මිනිස්සු පත්තර මිලදී ගන්නවා. මං සතුටු වෙනවා, මිනිස්සු අප ‍ ගැන විශ්වාසය තබා වසර 70කට කිට්ටු කාලයක් අපි සමඟ ගනුදෙනු කිරීම ගැන.” යැයි සි‍රිසේන මහතා අවසන් වතාවට කීය. අපි ඔහුට නිරෝගී සුවයත්, දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමින් පිටවීමු.

කුමාරි දිසානායක
ඉබ්බාගමුව සමූහ

නව අදහස දක්වන්න