ඌවේ පත්තිනි ඇදහිල්ල හා පත්තිනි උපත | දිනමිණ

ඌවේ පත්තිනි ඇදහිල්ල හා පත්තිනි උපත

බුදුන් වහන්සේ සිරිලකටද කිහිප වතාවක්ම වැඩම කළේ ,තමන් වහන්සේ වටහා ගත් දහම මෙරට සෑම ජන කොටසකටම අවබෝධ කරදීම සඳහාය.ඒ දහම නිසි ලෙස ඇදහීම නිසා එදා මහියංගණ ප්‍රදේශයේ ඇති වන්නට ගිය යක්ෂ ගෝත්‍රික හෙළ ජාතිකයන්ගේ මහා සටන තිර ලෙසින්ම සමථයකට පත් කර ගැනීමට හැකි වී තිබුණි.එම සුවිශේෂ ඓතිහාසික අවස්ථාව ඌවේ ප්‍රථම ලේඛන ගත “ඇදහිල්ල“ ලෙස මෑත කාලයක රචිත ඌව වංශ කතා සංග්‍රහයේද මහත් අභිමානයෙන් සනිටුහන් කරනු ලබයි.

එහෙත් ඊට පෙරද ඌවේ ජනයා අතර විවිධ ඇදහිලි හා විශ්වාස පැවති බවට ඇති සාධක රැසකි.පසුකාලයේ ඒ තුළින් ඉස්මතු වීමට පටන් ගෙන තිබු“පත්තිනිය“පිළිබඳ විශ්වාස හා ඇය වෙනුවෙන් පවත්වනු ලැබූ පුද පුජාදිය මේ වන විටත් ඌව පළාතේ ඇතැම් ප්‍රදේශයන්හි ගරු ගාම්භීර තත්ත්වයකින් පවත්වාගෙන යනු ලබයි.පත්තිනි ඇදහිල්ල දකුණු ඉන්දියාවෙන් ඇබ්බැහි වුවක් සේ විශ්වාස කෙරේ.

මෙය දකුණු ඉන්දීය පත්තිනිය නොහොත් පත්තිනි අම්මා ඉහළ ගණයේ දේවතාවියක් ලෙස සැලකේ.ඇය බෝධිසත්ව කෙනකු සේ සැලකීමට තරම් බෞද්ධයන් අතරද සමීප විශ්වාස එකල සිට ගොඩනැගෙමින් පැවතුණි.අන් දෙවිවරුන් මෙන් මැයද අදහමින් පුදපුජා පවත්වමින් ඇය පිනවීමෙන්

මිනිසුන්ට උදව් උපකාර ලබාගත හැකිවේයැයි යන විශ්වාසයක්ද එදා මෙන්ම අදත් මේ පළාතේද සමාජ ගත වී ඇත. මිනිස් රූපයේම විකාශනයක් වන මේ දේවතාවියට වේශ හතකින් පෙනී සිටීමේ හැකියාවක් ඇති හෙයින් ඈ සත්පත්තිනි නමින් හඳුන්වන බවත්, මිනිස් බලය ඉක්ම වු ප්‍රබල ශක්තියක් ඇති කාන්තාවක් බවත්,එසේම මාතෘ දෙව්ලියක් සේ බහුතරයකගේ ආදර ගෞරවයට පාත්‍ර වී ඇති බවත්

පත්තිනි ඇදහිල්ල හා බැදි දේව කන්නලව් ආදියෙන් මැනවින් විස්තර කරනු ලබා ඇත.

ජානකී,පද්මිණී හා දේවස්මී ආදී ආකර්ෂණීය නාමයන්ගෙන් පිදුම් ලබන පත්තිනි දේව මාතාව සෝභාව අතින් අගතැන් ස්ත්‍රියක් සේ සැලකේ.

ඒ අනුව ඇගේ රුව සිත්තමට නගන පැරැණි හා පසුකාලීන සිත්තරුන් හා අනෙකුත් නිර්මාණ ශිල්පීන් සියල්ලෙන් සපිරි අපුර්ව කාන්තාවක් සේ ඇගේ රූව සිත්තම් කර ඇත.එහි අවස්ථා කිහිපයක් පළාතේ අනෙකුත් දේවාලවලට අමතරව බදුල්ල ළිදමුල්ල පත්තිනි දේවාල පරිසරයේ අදටත් දැක ගත හැකි වේ.මේ කුමන හෝ සිත්තමක අන් අඟපසග හා වස්ත්‍රාභරණ මෙන්ම මේ දේව මෑනියන්ගේ දෑතෙහි හෝ දකුණතෙහි හා පායුගලෙහි “සළඹ“සනිටුහන් කිරීමට සියලුම නිර්මාණකරුවන් විශේෂයෙන් වග බලා ගෙන ඇත. ඒ ඇගේ උපතේ සංකේතයක් සේ සැලකෙන නිසාය.

පත්තිනි උපත පිළිබඳ“ සිලප්පදිකාරම් “නමැති ද්‍රවිඩ මහා කාව්‍ය සංග්‍රහයේ විස්තර කරනු ලබයි.සිලප්පදිකාරම් යනු“සිලම්බු“හෙවත් “සළඹ“ලෙසින් අර්ථ ගැන්වේ. ක්‍රි.ව.150 වැන්නේදී කලිකාලව්චෝලන් නමැති සොලී රජුගේ ප්‍රභාර් නමැති රාජධානයේ කෝවිලන්

හෙවත් ගෝපාලන් නැමැති තරුණයෙකු සහ කණ්ණනී නම් තරුණියක් වුහ.මොවුහු වෙළෙඳ කුලීකයෝ වුහ.ඔවුන් විවාහ වු අතර කෝවිලන් මාධවී නම් ගණිකාවකට එක්වී සියලු දේපළ විනාශ විය.දිවි පෙවෙත සඳහා කෝවිලන් මධුරාපුර යාමට සැරසුණේය.එහිදී ඒ ගමනට කණ්ණනි

ද එක්වීමට තීරණය කොට දෙදෙනාම මධුරාපුර ගියෝය.කණ්ණනි රන්මිණිවලින් නිම වු සළඹ පළදා සිටියාය.එය විකුණා වෙළෙඳාමක් කිරීම ඔවුන් දෙනොගේ අදහස විය.ගොපලු නිවසක කණ්ණනි නතර කොට කෝවිලන් සිලම්බු විකිණීමට රජ වාසලට ගොස් රන්කරු මුණ ගැසිණි.

මේ වන විට එම රජ වාසලේ රජ බිසවගේ සිලම්බු නැති වි තිබුණු අවස්ථාවකි.එම මොහොතේ එතැනට ගිය කෝවිලන් අත වුයේ රජ බිසවගේ සිලම්බු යැයි සිතු රන්කරු ඔහු රජු වෙත ඉදිරිපත් කළේය.රජු ඒ ගැන කිසිවක් නොවිමසා කෝවිල්ට මරණී දණ්ඩනය නියම කරන ලදි.මේ

පුවතින් කෝපයට හා වේදනවාට පත් කණ්ණනි රජු හමු වී දොස් නඟන්නට වුවාය.පසුව වියරු වෙස් ගත් කණ්ණනි තම වම් පියයුර කඩාගෙන නගර පැදකුණු කොට ගෙන එය වීථියට දමා ගැසුවාය.ඇගේ පතිවත් බලෙන් අග්නි බමුණු ඇය ඉදිරියේ පෙනී සිට පඩිපුර ගිනිලන්නට තමා වරම් ලද බව පැවසීය.

එකල්හි කෝපයෙන් දැවෙමින් සිටි කණ්ණනි බමුණන්,සුදනන්,පතිවතියන්,මහල්ලන්,මැහැල්ලන්,ළමයින්,කිරි දෙනුන්,හැර අන් සියල්ල ගිනි

ලවයි අණ කළාය.එසැණින් පඩිපුර ගිනිගෙන දැවෙන්නට විය.මද වේලාවකින් ඇය දිව්‍ය රථයකින් සුරපුරට ගිය බව රාජ සෙන්පති රජ වාසලට ගොස් ඒ බව සැලකළ විට රාජ බිසව “පත්තිනි දේවිය“ නමින් දෙවොලක් කිරීමට තීරණය කළාය.ඒ අනුව රජු හිමාලයෙන් ගලක් ගෙන්වා පත්තිනි රුවක් නෙළීමට අණ කළේය.මේ තොරතුරු ඇසු වෙනත් රජවරුද පත්තිනි නමින් දෙවොල් තනා පුද සිරිත් ආරම්භ කළහ.බෞද්ධයෙකු වු සෙන්රුවන් රජු ඇරැඹු පත්තිනි දේවාලයේ උත්සවයට එවකට ලක්දිව වු ගජබා රජු සහභාගි වී ඇති බව පෙනේ.

යළි ලක්දිවට පැමිණි ගජබා රජුද මෙරට තැන් කිහිපයකම පත්තිනි දේවාල තනා පුද පුජා පවත්වන්නට පටන්ගෙන තිබේ.පසු කාලයේද එලෙස දේවාල ආදිය තනා පත්තිනි දෙවියන්ට පුද සිරිත් පැවැත්වීමට ඌවේ ජනතාවද නැඹුරු වෙමින් සිටියහ.ඒ අනුව පොල් ගැසීම,කප්සිටුවීම, අංඇදීම ආදී ක්‍රිඩා හා චාරිත්‍ර රැසක්ම ඇතුළත් දේව පෙරහරද එම ක්‍රියාදාමය හරහා මේ පළාතට උරුම වී ඇත.විශේෂයෙන් පළාතේ හින්දු බැතිමතුන්ගෙන් සමන්විත ජනවාසද මේ වැඩසටහන් සඳහා සහාය දැක්වීම හා සහයෝගය ලබාදීම සුබවාදී ප්‍රවණතාවක් බවට පත්ව තිබේ.ඒ මේ තත්ත්වය ජාතික සංහිඳියවටද විශාල රුකුලක් වී ඇති බැවිනි. ඌව පළාතේ පත්තිනි දේවාල අතර බදුල්ල ළිඳමුල්ල සහ පස්සර උඩගම පත්තිනි දේවාල මේ වන විටත් දේව මෑණියන් වෙනුවෙන් කලට වේලාවට පුද පුජා පවත්වයි.විශේෂයෙන් එමගින් පවත්වනු,ලබන අං කෙළි ක්‍රිඩාව පත්තිනි දෙවියන් වෙනුවෙන් සිදු කරන පුජාවක් බවට පත්ව ඇත.වර්ෂ තුනකට වරක් ළිඳමුල්ල දේවාලයේ සිට පත්තිනි මෑණියන්ගේ අාභරණ උඩගම අම්පිටිය දේවාලයට වඩමවා දින ගණනාවක්ම පුද පුජා පවත්වා ප්‍රදේශයට ප්‍රදේශයේ ජනතාවට ආශිර්වාද ලබා ගනිති.එය ඌව පළාතේම මහා අං කෙළි පුජෝත්සවය සේ සැලකේ.

පස්සර සමූහ
උබයරත්න වනසිංහ

 


නව අදහස දක්වන්න

Or log in with...