කාකි ඇඳුමේ සැඟවුණු මිනිසත්කම | දිනමිණ

කාකි ඇඳුමේ සැඟවුණු මිනිසත්කම

විජයානි එදිරිසිංහ

කවුරු කෙසේ කොහොම කෙසේ නීවත් මහජනතාවගේ ළඟින්ම ඔවුන්ගේ පිහිටට සිටින එකම පුද්ගලයා නම් පොලිස් නිලධාරියාය. ඒ කාකි ඇඳුම දුටු වහාම ඕනෑම කෙනකුගේ සිතට යම්කිසි ආකාරයකින් බියක් හෝ එසේත් නොමැති නම් ගෞරවයක් ඇති වෙන්නේ නිතැතින්මය. එතරම් හැඟීම් සමුදායක් යම්කිසි සිතක් තුළ ඇති කිරීමේ හැකියාව පොලිස් කාකි නිල ඇඳුමේ ගැබ් වී ඇත.

නංගි තව ටික වේලාවකින් මෙතැන කඳුළු ගෑස් ගහයි නිකම් ගුටි කන්නත් වෙයි. ඒ හින්දා මෙතැනින් පිටවෙලා යන්නලා ,ලිප්ටන් වටරවුම අසල පැවති විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණය වෙත යමින් සිටි තරුණ සිසුවියන් පිරිසකට ඒ අසල සිටි පොලිස් නිලධාරියකු කියනු ඇසිනි. ඒ මොකද එයාලට ඇතිවුණ ආදරේ වැරදියට කරුණු තේරුම් ගත් සිසුවියන් කියද්දි මනුස්සකමට කීවේ නංගි අපිටත් ඔය වගේ නංගිලා සිටිනවායැයි එම පොලිස් නිලධාරියා කියනු ඇසිනි.

කවුරු කෙසේ කොහොම කෙසේ නීවත් මහජනතාවගේ ළඟින්ම ඔවුන්ගේ පිහිටට සිටින එකම පුද්ගලයා නම් පොලිස් නිලධාරියාය. ඒ කාකි ඇඳුම දුටු වහාම ඕනෑම කෙනකුගේ සිතට යම්කිසි ආකාරයකින් බියක් හෝ එසේත් නොමැති නම් ගෞරවයක් ඇති වෙන්නේ නිතැතින්මය. එතරම් හැඟීම් සමුදායක් යම්කිසි සිතක් තුළ ඇති කිරීමේ හැකියාව පොලිස් කාකි නිල ඇඳුමේ ගැබ් වී ඇත. පොලිස් සේවයේ ආරම්භය මීට වසර එකසිය පනහකටත් වඩා ඈතකට දිව යයි. ලබන මස 3වැනිදා 152 වැනි ජාතික පොලිස් දිනය සැමරේ. උතුවන්කන්දේ විර සරදියෙල් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පළමු වරට ශ්‍රි ලංකා පොලිසිය වෙනුවෙන් දිවි පුදනු ලැබුවේ මුස්ලිම් ජාතික පොලිස් නිලධාරියකු වු සබාන් නැමැති නිලධාරියාය.එදා සිට අදට වසර එකසිය පනස් දෙකක් දක්වා පොලිස් ඉතිහාසයේ මේ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව නීතිය හා සාමය මෙන්ම රටේ ජනතාවට නිදහසේ ජිවත්වීමට හැකි පරිසරයක් අති කරලීම පිණිස දිවි පිදු පොලිස් නිලධාරින් අතිවිශාල පිරිසක් මේ ලිපිය ආරම්භයේදීම සිහිපත් කරනු ලබන්නේ ඔවුන්ට ‍ගෞරව කිරීමක් වශයෙනි

මිට දශකයකට පමණ පෙර මේ රටේ අවසන් වු ත්‍රස්තවාදි යුද්ධය වෙනුවෙන් සෙසු ත්‍රිවිධ හමුදා සමඟ දිවි පිදු මෙන්ම එදා අම්පාරේදි නිරායුධ පොලිස් නිලධාරින් පන්සියයක පමණක පිරිසක් මෙන්ම මේ රටේ විවිධ ස්ථානවල සිදුවු මෙහෙයුම් ස්වාභාවික ආපදා , කොල්ල කල්ලි පාතාලය පලිගැනීම් උද්ඝෝෂණ ඇතුළු බොහෝ අවස්ථාවන්හිදි සිය නිල ඇඳුමෙන්ම රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් ජිවිතය පුද කළ පොලිස් නිලධාරින් කිසි දිනක අපර අමතක කළ නොහැකිය.

ඉතා ඈත කාලයේදි මෙරට සුළු පිරිසකගෙන් ආරම්භ වු පොලිස් සේවය තුළ අද වනවිට පොලිස් නිලධාරින් ලක්ෂයක පමණ පිරිසකගෙන් සමන්විත වෙයි. එදා කොට කලිසමත් කාකි තොප්පියත් ඇඳ බැටන් පොල්ල අතට ගත් පොලිස් නිලධාරියාගේ සුන්දර නිල ඇඳුම අද වන විට‍ වෙනස් වී ඇත. සමාජය වෙනස් වන විටත් රටක දියුණු තාක්ෂණයත් සමඟ විවිධ අලුත් දේ එකතු වෙද්දි පොලිස් සේවාවද අලුත් එකක් බවට පත්වී ඇති බව කිව යුතුය.

අද ලෝකය එනම් ජාත්‍යන්තරය සමඟ එකට එකතු වී කටයුතු කරන්නට පොලිසියට සිදුවී ඇත්තේ නව තාක්ෂණයත් සමඟ සිදුවන අපරාධවලද වැඩි දියුණුවක් වී තිබීම නිසා වෙයි. මීට වසර පනහකට පමණ පෙර ගමකට පොලිස් නිලධාරියකු පැමිණෙන්නේ මාස දෙක තුනකට වරකි. ගමට පොලිස් කොස්තාපල්වරයෙක් පාපැදියෙන් එන විට ගමම බියට පත්වෙයි. ඒ කුමක් නිසාද යත් කොතැනකද යම් වැරැද්දක් සිදු වී ඇත්තේ ඒ කවුරුන් විසින්ද යන්න සම්බන්ධයෙන් ඇති වන බියක්ද සමඟිනි.

ඒ එදා දක්නට ලැබුණු තත්ත්වයයි. එහෙත් වර්තමානය වන විට එම තත්ත්වය පහව ගොස් සමාජය තුළ සිදුවන දේවල් ගැන අමුතුවෙන් කිව යුතු නැත. අද පොඩි දරුවන්ට පවා පොලිස් නිලධාරියා සාමාන්‍ය පුද්ගලයකු බවට පත්ව තිබෙන්නේ පොලිසිය සමාජය සමඟ ඉතා සමිප සම්බන්ධතාවක් පවත්වන නිසාද එසේත් නොමැති නම් සමාජයට ආරක්ෂාව සලසාදීම පිණිස ඔවුන් අපරාධ සිදුවන සිදුවීමට ඇති ස්ථාන සොයා යාම නිසාද යන්න තේරුම් ගැනීම මහජනයාටම පැවරුණු කාර්යයක් වෙයි.

සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්න හඳුන්වනවාක් මෙන්ම පොලිස් නිලධාරියාද මනුෂ්‍යයෙකි යන්න අපට හදවතට එකඟව හැඳින්විය හැකිය. පොලිස් නිලධාරියා රාජකාරී අවස්ථාවේදි වැරැද්ද දු‍‍ටු විට කෝපාවිෂ්ඨ වි ක්‍රියා කරන්නාක් මෙන්ම සෙසු අවස්ථාවලදි එම නිල ඇඳුම තුළ අවිහිංසක මානුෂීය එසේත් නොමැති නම් සංවේදි පුද්ගලයෙක් සිටින බව වසර තිහකට වැඩි කාලයක් පොලිස් සේවාව සමඳ කටයුතු කළ අප හඳුනාගෙන ඇත.

වැරදි අවබෝධය කරුණු හරි හැටි අවබෝධ කර නොගැනිම පක්ෂපාතිවීම ඉහළ නිලධාරීන්ගේ නියෝග මත සිතට එකඟව හෝ වේවා සිතට විරුද්ධව හෝ වේවා අසාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරින් ‍පොලිස් සේවාව තුළ නැතුවා නොවේ. වැටුපක් ගත්තත් පවු‍ලේ වියදම් බර දරාගත නොහැකි වු විට දඩ කොළයක් වෙනුවට යම් කිසි මුදලක් ලබා ගන්නා රථ වාහන පොලිස් නිලධාරින් මෙන්ම වෙනත් විවිධ වරප්‍රසාද මත නීතිය වෙනස් කර ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ද අපට අමතක කළ නොහැකිය. ඒ වගේම ඉහළ දේශපාලනඥයන්ගේ අණට කීකරුව ඇත්ත වසා දමා බොරුව ක්‍රියාත්මක කර සිරගෙවල්වල ලගින්ට සිදුවු පොලිස් නිලධාරින් වෙනුවෙන් අප තුළ ඇති වෙන්නේ දැඩි අනුකම්පාවක් මිස වෛරයක් නොවේ . ඒ ඊට බලපාන ‍හේතු අපට තේරුම් ගැනීමට හැකි වන නිසාය.

එහෙත් බෙල්ල නැති වුවත් ගෙදර යැවුවත් නීතියට පිටින් වැඩ නොකරන පොලිස් කොස්තාපල්වරයාගේ සිට පොලිස්පතිවරයා දක්වා වු ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරින් වසර එකසිය පනස් දෙකක පොලිස් ඉතිහාසය තුළ නොසිටියා නොවේ. අදටත් හෙටටත් එවැනි පොලිස් නිලධාරින් අපට දක්නට ලැබෙනු ඇත.

එවැනි පොලිස් කොස්තාපල්වරයකුගේ ක්‍රියාවක් අප ඉදිරිපිටම දක්නට ලැබුණේ මීට වසර ගණනාවකට පෙර කොළඹ අවට පොලිස් ස්ථානයකින්ය. එම සිද්ධිය නම් පත්තර කලාවේ ඉහළ කතුවරයකුගේ මෝටර් රථයක් අනතුරකට ලක්වී තිබුණි. එම මෝටර් රථය පදවා තිබුණේ එම කතුවරයාගේ රියැදුරුය. මෝටර් රථයේ හිමිකරු කර්තෘවරයා වු අතර රියැදුරු රථය ඔහු අතින් අනතුරට ලක්වු බවට පොලිසියේ දමා තිබු පැමිණිල්ලට අනුව රක්ෂණ ආවරණය ලබාගත නොහැකි තත්ත්වයක් උදා වි තිබුණි. මේ සම්බන්ධයෙන් තවත් කිසිවක් කළ නොහැකි විය. අප කර්තෘවරයා වෙනුවෙන් ඔහුගේ ඉල්ලීම අහක දැමිය නොහැකි නිසා පොලිසියට ගොස් එහි ස්ථානාධිපතිවරයා හමුවී මේ තත්ත්වය පැවසු අතර ඔහු මාධ්‍ය සමඟ දැඩි සමීප සම්බන්ධතාවක් පැවැත්වු දක්ෂ පොලිස් නිලධාරියකු වු නිසා ඔහුටද මේ ඉල්ලීම වෙනුවෙන් යමක් කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබුණි.

පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණිලි පොතේ එම සටහන තබා තිබු පොලිස් නිලධාරියා පැමිණිලි පොතත් සමඟම කැඳවා සිටියේය. එම පොලිස් කොස්තාපල්වරයා වයස අවුරුදු පනහ ඉක්මවු පොලිස් සේවාවේ අත්දැකීම් ඇති අයකු ලෙස පෙනුණි. පොලිස් ස්ථානාධිපතිවරයා අප ඉදිරියේම එම පොලිස් කොස්තාපල්වරයාට කියා අදාළ පැමිණිල්ල ඇති පිටුව පෙරළ කියවා ඔහුට කතා කර මේ පැමිණිල්ල ලියා ඇති පිටුව මත සුදු කොළයක් අලවා එම පැමිණිල්ල වසා දමා අලුතින් අප කර්තෘවරයා කියන පැමිණිල්ල ලියා ගන්නා ලෙස නියෝග කළේය. පොලිස් පරීක්ෂකවරයාගේ එම නියෝගයෙන් කෝපයට පත් පොලිස්කොස්තාපල්වරයා සර් මම අවුරුදු විසි පහක් විතර පොලිසියේ හිටියා මේ වගේ බාල රාජකාරි වැඩක් කරලා නැහැ මට මෙක කරන්න බැහැ වෙනත් කොනකුට කියලා කර ගන්න මේවා පොලිසියක සිද්ධ වෙන්න ඕනැ දේවල් නොවේ යැයි පොලිස් ස්ථානාධිපතිවරයාගේ මුහුණටම කියා සිටියේය.

පහළ තැනක සිටියත් ඉහළ නිලධාරියකු විසින් කළ වැරදි නියෝගය ප්‍රතික්ෂේප කර සිය පිරිසිදු රාජකාරිය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගත් එම පොලිස් කොස්තාපල්වරයා මෙන් තවත් දහස් ගණනක් මේ පොලිස් සේවාව තුළ සිටින බව අමතක කළ යුතු නැත.

මෙවැනි පොලිස් සේවාවක් තුළ නිරතුරුවම සිත සතුටින් නොමැති පොලිස් නිලධාරින් අප බොහෝ දැක ඇත.විශේෂයෙන් පොලිසියේ උසස්විම නියමිත කාලයට නොලැබිම පොලිස් සේවාවේ කිදා බැසගත් ගැටලුවක් වෙයි. වර්තමාන රජය මෙන්ම බොහෝ රජයන් පොලිස් නිලධාරින්ට උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇත. එහෙත් තවමත් නියමිත කාලයට උසස්විම් නොලැබු තවත් විශාල පිරිසක් සිටිති. අප විසින් සිදු කළ සොයා බැලීමකදි හෙළිදරව් කර ගැනීමට හැකි වුයේ පොලිස් කොස්තාපල් තනතුරේත් පොලිස් සැරයන් පොලිස් රියැදුරු සැරයන් සහ තවත් තනතුරු රැසක වසර විස්සකටත් වඩා වැඩි කාලයක් සිටියත් කිසිදු උසස්වීමක් නොලැබු පිරිසක් සිටින බවයි‍.

මේ අතර තවත් පිරිසක් විවිධ විනය හේතු මත පරීක්ෂණවලට භාජනය වී සිටිති. තවත් පිරිසක් උසවීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට ලක්වී සිටින අය වෙති. මානව හිමිකම් කොමිසමට වාර්තා කළ පිරිසක්ද පොලිස් අභියාචනා සහ තවත් විවිධ දේ නිසා උසස්වීම් නොමැතිව සිටින පිරිසක්ද වෙයි. කෙසේ වෙතත් පොලිසියට නම් මේ වන විට හොඳ වැටුපක් ලැබෙන බව කිව යුතුය. ඊට හේතුව පොලිසියේ වැටුප් මේ රජය විසින් සියයට හතළිහකින් වැඩිකරදීම වෙයි.

පඩි නැතැයි පොලිසියට දැන් කිසි විටෙකත් කිව නොහැකිය .මහමඟ ගිනි අව්වේ වේළෙමින් මහ වැස්සට තෙමෙමින් රථ වාහන පොලිස් රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරින් දඩ කොළයක් වෙනුවෙන් කීයක් හෝ ඉල්ලා ලබා ගත්තත් කමක් නැතැයි යන සිතිවිල්ල අපට දැනුණේ කාලයකට පෙර ඉතා පොඩි පඩියක් පොලිසියට ලැබුණු නිසාය. ඒ වගේම පොලිස් රාජකාරිය දිරිමත් කිරීම පිණිස ඔවුන් රාජකාරියේදි සිදු කරන විවිධ දක්ෂතාවන් වෙනුවෙන් පොලිස්පති ප්‍රසාද දිරිදීමනා ත්‍යාග ඇතුළු බොහෝ දේ කඩිනමින් ලබාදීමට කටයුතු කර ඇත.

හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගසිංහ මහතා විසින්ද පොලිස් නිලධාරින්ගේ එමදීමනා ඔවුන් වෙනුවෙන් බොහෝ දේ ලබාදීමට කටයුතු කළ උසස් නිලධාරියෙකි. ඒ වගේම පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාද මේ වන විට පොලිස් නිලධාරින්ට පොලිස් විශ්ව විද්‍යාලයක්, පොලිස් නිවාස සංකිර්ණ කැඩි බිඳී ගිය බැරැක්ක වෙනුවට නව පහසුකම් ඇති නිවාස ඇතුළු බොහෝ දේ ලබාදීමට කටයුතු කර ඇත. මේ නිසා පොලිස් සේවයේ සිටින අයට යම්යම් ආකාරයේ සුළු සුළු අඩුපාඩුකම් තිබුණත් බොහෝ දේ ලබා දී ඇත‍.

උතුරු නැඟෙනහිර පොලිසිවලට දෙමළ කතා කරන සිංහල පොලිස් නිලධාරින් ලබාදීම දකුණේ පොලිසිවලට දෙමළ කතා කරන පොලිස් නිලධාරින් යෙදවිම සහ රටේ පොලිසි ප්‍රමාණය හාරසියය ඉක්මවා පිහිටුවිම සහ නවිකරණය කිරීම ඇතුළු පොලිසිවල සිදු කළ සේවා බොහෝය.

බොහෝ දේ ලැබුණත් පොලිස් සේවාවේ අල්ලස් ගන්නා පිරිසක් සිටිති . සුළු පිරිසක් කරන වැරදිවලින් සමාජය රිදවන්නේ සමස්ත පොලිස් සේවාවටමය. ඒ නිසා පොලිස් නිලධාරින් සෑම කෙනකුම බොහෝ විට සමාජය විසින් හෑල්ලුවට ලක්කරන තත්ත්වයකි.

ඒ පොලිස් නිලධාරියා නොසිටින තැන සහ මාධ්‍ය හරහාය. මෙසේ වැරදි කරන සුළු පිරිස අතර කොල්ලකෑම්වලට සහාය දෙන එසේත් නොමැති නම් අල්ලසට වංචාවට සහාය වන අය නොසිටිනවා නොවේ.

පසුගියදා තරුණයෙක් රාජගිරිය ප්‍රදේශය හරහා සුපිරි රථයකින් ගමන් ගන්නා විට පාරේ සිටි තරුණ පොලිස් නිලධාරියක් එම රථය නවත්වා බලපත්‍ර ආදිය පරීක්ෂා කරමින් එහි දුම් සහතිකයක් නැති බව කියා සිටියේය. ඒ අවස්ථාවේ එම තරුණයා කියා සිටියේ ඉංග්‍රිසි අකුර ඇති වාහනවලට දුම් සහතික නැති බවයි. ඒ අවස්ථාවේ මචං උඹ ළඟ සල්ලි නැද්දැයි පොලිස් නිලධාරියා ඇසීය. කීයක්ද මචං. හවසට යාළුවෝ ටික සෙට් වෙනවා. බෝතලයක් ගන්න ඕනෑ. කීයක් හරි දිපං කියා තරුණයා රුපියල් දහසක් දුන් විට මචං මේ මගේ නම්බර් එක කරදරයක් වෙච්ච වේලාවක මට කෝල් කරපං මගේ නම මේකයැයි කියා ‍‍කොළයක් ලබා දුන්නේය.

මේ ඉතා සුළු සිද්ධියක් පමණි. මෙවැනි තවත් බොහෝ දේ ඈත වැලිලොරි පස් ගස් ලී පමණක් නොවේ කොළඹට ගෙන එන හොර හරක් ලොරිවලින්ද එසේ මුදල් ගැනීමට පුරුදු වු පොලිස් නිලධාරීන් පිරිස් සිටිති.

හොර හරක් ලොරි ගැන කතා කරන විට මතකයට එන්නේ එක්තරා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පොලිස් සේවාවේ ගෞරවය ආරක්ෂා කරමින් හොර හරක් ලොරි දිනපතා අල්ලා ඔහු කුරුණැගල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුව සිටි කාලය තුළ ගවයන් එක්දහස් ගණනකගේ ජිවිත බේරා මැල්සිරිපුර රජයේ ගොවිපොළට බාර දී ඇත.අධිකරණය හරහා ගවයන් බාර දුන් එම නිලධාරියාගේ එම උතුම් ක්‍රියාව සමස්ත පොලිස් සේවාවටම ආදර්ශයකි. මේ පොලිස් නිලධාරියාට එක් හොර හරක් ලොරියකින් දිනකට රුපියල් පනස් දහසක අල්ලසක් දීමට ඉදිරිපත් වු ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගත් මේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කුරුණෑගල ප්‍රදේශයේ සියලු නීති විරෝධි ජාවාරම් මැඩ පවත්වා පාසල් දරුවන්ගේ විනය ආරක්ෂා කරමින් ගෙන ගිය වැඩපිළිවෙළ අදටත් එම ප්‍රදේශයේ පැසසුමට ලක් වී ඇත.

එපමණක් නොව කොටකෙතන මහා ඝාතන රැල්ල මර්දනය කළ මේ පොලිස් නිලධාරියා අද මරණ දඩුවමට ලක්ව බන්ධනාගාරගතව ඇති බවද සිහිපත් කරන්නේ දැඩි සංවේගයකින් යුතුවය.

මහජනතාවට පොලිසියට බිය වන්නේ ඇතැම් පොලිස් නිලධාරින් මහජනතාවට කතා කරන අාකාරයටය . වැරැද්දක් කළත් නොකළත් පොලිසියට යන වැඩි දෙනෙක් වැරදිකරුවන් සේ සලකන පොලිස් නිලධාරින් නිසා මහජනතාව පොලිසිය එපා වන තත්ත්වයක් ඇති වී ඇති අවස්ථාද වෙයි. මේ සඳහා උදාහරණ නම් සිය දහස් ගණනක් ඇත.

රථ වාහන දඩ කොළයක් ගෙවු උසස් අධ්‍යාපනය හදාරන සිසුවකුට එම දඩය නොගෙව්වේයැයි කෑගල්ල පොලිසිය මගින් නඩු පවරා තිබුණි. මේ ගැන කිසිවක් නොදත් එම තරුණයාට කෑගල්ල අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණි. අතුරුගිරිය පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට නිවසට ‍ගොස් තිබු අතර එහි ගිය නිලධාරින්ට දඩය ගෙවා ඇති බවට අදාළ ලේඛන පෙන්වු පසු ඔවුන් පොලිසියට පැමිණ ඒ බව පෙන්වා ආපසු යන ලෙසට කීය. ඔවුන් ‍සමඟ පොලිසියට ගිය විට එහි සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් කෝ ගෙනාවද දාපන් මුව කුඩුවටයැයි කීය. ඒ අවස්ථාවේ මෙය වැරදිමක් බවත් දඩ ගෙවා ඇති බව‍ පවසා අදාළ ලේඛන පෙන්වුවත් එය නොසලකා හැරි උප පොලිස් පරීක්ෂකවරයා අපිට ඕවාගෙන් වැඩක් නැහැ. ඒවා බලා ගන්නවා පොලිසියත් එක්ක .අද සිකුරාදා සඳුදා වෙනකම් කුඩුවට දානවායැයි කීය.

එම සිසුවාගේ මව මාධ්‍යවේදිනියක වුවත් ඒ බව නොකියා සඳුදා දිනයට අධිකරණයට ගොස් කරුණු බේරුම් කරගන්නා තෙක් කුඩුවට දමන්නට එපායැයි කියා සිටියත් එම උප පොලිස් පරීක්ෂකවරයා කැත ආකාරයට කතා කළේය පොලිස් කුඩුව ළඟ සිටි වයසක සැරයන්වරයා පුතා ඔයා කුඩුවට දමන්න ඕනෑ නැහැ. මේ බංකුවෙන් වාඩි වෙන්නයැයි කියා සිටි අතර ඒ වන විට මව උසස් පොලිස් නිලධාරියකුට දුරකතන ඇමතුමක් ගෙන මේ අසාධාරණය කියා සිටියාය. ඒ අවස්ථාවේම එම උසස් පොලිස් නිලධාරියා අතුරුගිරිය පොලිසියට කතා කර එම තරුණයා කෑගල්ල පොලිසියත් සමඟ කරුණු බේරා ගන්නා බැවින් ඔහු නිදහස් කරන ලෙසත් සිසුවාගේ මව මාධ්‍යවේදිනියක් බවත් කියා තිබුණි. කලින් බැණ වදිමින් කතා කළ උප පොලිස් පරීක්ෂකවරයා දුවගෙන විත් ආ මිස් මට නම නොකිව්වේ කිව්වා නම් මම පුතාව ගෙනියන්න දෙනවානේ කීවේ සිසුවාද නිදහස් කිරීමට නියෝග කරමින්ය. ඒ අවස්ථාවේ ඔහු ගේ වචන ගැන දැඩි කළකිරීමට පත්ව සිටි මව මහත්තයෝ තනතුරට නොවේ සෑම පුද්ගලයකුටම එක සමානව කතා කරන්නත් සලකාන්නත් ඇහුම්කන් දෙන්නත් පුරුදු වෙන්නයැයි කියා සිටියාය.

ඒ පොලිසියේ ඇමතුම් නිලධාරින්ගේ විලාශයයි.

පොලිස් නිලධාරින්ගේ සේවාව ගැන ඇතැම් පිරිස් තුළ වැරදි වැ‍ටහීම් ඇත. එවැනි වැරදි වැටහීමක් තුළින් නිරතුරුවම විවේචනයට ලක්වන බැණ වදින පොලිස් නිලධාරියකු බවට පත්ව ඇත්තේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරයි. දිනකට දුරකතන ඇමතුම් පන්සියයකට වැඩි ප්‍රමාණයකට කන් දෙන එම කර්තව්‍ය පමණක් නොව තමන්ට පැවරුණු තවත් රාජකාරි විශාල ප්‍රමාණයක් මධ්‍යයේ කටයුතු කරන මාධ්‍ය ප්‍රකාශකවරයාට මෙය මෙසේ කියන්නැයි මෙය වැරදියට කියන්නයි කිසිවකුත් අණ කරන්නේ නැත.මේ තනතුරට බාරව ඇති කාර්ය නම් සිද්ධියක් වු විට එම සිද්ධිය හෝ සොයා ගැනීමට හැකිවු තොරතුරු නැවත නැවතත් නිවැරදිද සොයා බලා වගකීමකින් යුක්තව මාධ්‍ය මගින් ජනතාවට දැන ගැනීමට මුදා හැරිම වෙයි. සාක්ෂි නොමැතිව කිසිම දෙයක් ප්‍රකාශයට පත් නොකෙරේ. මේ වන විට වැරදි තොරතුරු ඉදිරිපත් වී ඇති නම් මාධ්‍ය ප්‍රකාශකවරයාට එරෙහිව නඩු සිය ගණනක් වැටි තිබිය හැකිය. එහෙත් මෙතෙක් ඉතිහාසයේ කිසිදු මාධ්‍ය ප්‍රකාශකවරයකු සම්බන්ධයෙන් නඩු පැවරී නැත.

මේ අතර තවත් විවේචනයට ලක්වන්නේ පොලිස්පති තනතුරයි. පාන්දර තුනට පමණ පොලිස් මුලස්ථානයට හෝ නිවසේ කාර්යාලයට මාධ්‍ය ප්‍රකාශක හෝ වෙනත් පොලිස් නිලධාරින් ගෙන්වා දිනපතා ‍ලිපිගොනු දහසකට පමණ අත්සන් තබන පොලිස්පති තනතුර වෙත පැවරුණු වගකීම් සම්ප්‍රදාය මෙතකැයි කිව නොහැකිය.රටේ කොතනැක හෝ සිදුවන සෑම අපරාධ සිද්ධියක් ගැනම බලා සි. අයි. ඩි. .සිසිඩි. එස් අයි යු සි ආර් ඩි පොලිස් බුද්ධි අංශ පොලිස් මුලස්ථාන අපරාධ අංශය ඇතුළු සියලු පරීක්ෂණ අංශවල මෙන්ම තවත් බොහෝ කාර්යයන් ගැන සොයා බැලීම කරන පොලිස්පති තනතුරට මෙතරම් කාර්යභාරයක් දරා ගත හැකිද යන්න පවා සිතා ගත නොහැකිය.වචනය වැරදුණු තැන ගැස්සි යන මාධ්‍ය මගින් දැඩි විවේචනයට පත් කෙරෙන පොලිස්පති තනතුර තරම් වගකීම් පැවරී ඇති තනතුරක් නැතැයි සිතෙයි.

මාධ්‍ය නිසා පොලිස් නිලධාරින්ට සිය තනතුරු පවා නැති වු අවස්ථා ඇත. වගකීමක් නොමැතිව පළකරන ඇතැම් ප්‍රවෘත්ති නිසා හෝ සත්‍ය සිද්ධියක් පළ කළද පොලිස් නිලධාරින්ගේ පවුල් ජිවිතය පවා කැඩි යන ආකාරයේ සිදුවිම් ඇති වන බව අත්දැකීමෙන් කිව හැකිය. මීට වසර ගණනාවකට පෙර කොළඹට නුදුරු පොලිස් ස්ථානයක පොලිස් ස්ථානාධිපතිවරයකු විසින් කරන ලදැයි කියන වැරැද්දක් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළ කරනු ලැබිණි. එම ප්‍රවෘත්තිය වැරදියැයි එම පොලිස් නිලධාරියා විසින් දැනුම්දීමක් හෝ කළේ නැත. එය එතැනින් අවසන් විය. තවත් වසර කිහිපයකට පසු ප්‍රවෘත්තියක් ලබා ගැනීමට පොලිසියකට කතා කළ විට එම පොලිස් ස්ථානාධිපතිවරයා එම ප්‍රවෘත්තිය ලබා දී කතා කළ මාධ්‍යයේ නම අසා සිටියේය. නම පැවසු විට ඔයා නිසා මගේ පවුල් ජිවිතය නැතිවෙලා ගියා යැයි කී විට මාධ්‍යයට එය සිතා ගත නොහැකි විය. කරුණු විමසු විට ඔහු කියා සිටියේ එම ප්‍රවෘත්තිය පළවීමෙන් පසු පොලිස් මුලස්ථානය මගින් එම පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වු බවත් ඒ අනුව වසර ගණනාවකට සේවය නවත්වා සිටි බවත් ඒ අතර ඔහුගේ බියද පවුල අතහැර ගිය බවත්ය.ප්‍රවෘත්තියකින් සිදු වන යහපත් හෝ අයහපත් ප්‍රතිඵල එසේය.

පොලිස් සේවය ගැන තවත් බොහෝ දේ කිව හැකිය. සමාජය මෙන්ම රටේ තවත් සෑම අංශයක් සමඟ ළඟින්ම සිටින ශ්‍රි ලංකා පොලිසිය අපට නැතුවම බැරි ආයතනයක් වෙයි. ශ්‍රි ලංකා පොලිසියේ තේමා ගීයෙන් කියවෙන පරිදි සැමදා මහජනතාවගේ සමිපතම ආයතනය විය යුතුය.


නව අදහස දක්වන්න

Or log in with...