ඥානසාර හිමිගේ අභියාචනය සලකා බැලේ | දිනමිණ

ඥානසාර හිමිගේ අභියාචනය සලකා බැලේ

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන්නැයි කර ඇති ඉල්ලීම ලබන සිකුරාදා (31) සලකා බලන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය.

මෙම ඉල්ලීම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීය.

එහිදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය කරුණු දක්වමින් මෙම නඩු තීන්දුවට අදාලව මතුවී තිබෙන නීතිමය ගැටළු තුනක් පිළිබඳව තමන් කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කියා සිටියේය.

එම කරුණු තුන ලිඛිතව සූදානම් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එය අද දින තුළ මෝසමක් මාර්ගයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඒ අනුව අදාළ ඉල්ලීම සලකා බැලීම ලබන තිස් එක්වනදා සිදුකරන බව සඳහන් කළ අභියාචනාධිකරණය එදිනට ඊට අදාළව කරුණු දක්වන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසූරියට ද නියම කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් 08 වනදා ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එය වසර හයකින් ගෙවිය යුතු බව නියම කර තිබුණි.

නව අදහස දක්වන්න