ගලහ සිද්ධිය | දිනමිණ

ගලහ සිද්ධිය

වෛද්‍යවරුන් ඇත්තේ රෝගීන් මරා දැමීමට නොව: හැකි සෑම උත්සාහයක් ම දරා ඔවුන් ජීවත් කරවීමට ය. එලෙස ම රෝගීන් ඇත්තේ ද රෝහල්වලට පහරදීමට නොව; එම ස්ථාන ආරක්ෂා කරන අතර වෛද්‍ය ප්‍රතිකාර ලබා සුවපත් වීමට ය. ශ්‍රී ලංකාව තුළ මේ ක්‍රියාදාමයන් දෙකෙහි ම යම් අඩු පාඩු පවතින බව පෙනෙයි. පෙරේදා ගලහ ප්‍රාදේශීය රෝහලේ ඇති වූ සිද්ධියෙන් මේ බව තහවුරු වෙයි. උණ රෝගය වැළැඳුණු රෝගී දරුවෙක් එම රෝහලේ දී මිය ගියේ ය. දරුවාගේ වයස අවුරුදු එකහමාරකි. සිද්ධිය සම්බන්ධයෙන් ඥාතීහු වෛද්‍ය කාර්ය මණ්ඩලයට දොස් පවරති. වෛද්‍ය කාර්ය මණ්ඩලය රෝගියාගේ ඥාතීන්ට දොස් පවරති.

රෝගී දරුවාගේ පාර්ශ්වයෙන් ඇසෙන කතාවට අනුව උණ හා සෙම් රෝගය සහිත දරුවා පෙ. ව. 7.30ට පමණ රෝහලට ඇතුළත් කර ඇත. එහෙත් පෙ. ව. 9.30 වන තුරු ද කිසිදු ප්‍රතිකාරයක් ලැබී නැත. රෝගියාගේ තත්ත්වය බරපතළ බැවින් පේරාදෙණිය රෝහලට යවන ලෙස ඥාතීන් ඉල්ලීමක් කර ඇත. එහෙත් අවශ්‍ය පහසුකම් ලබාදී නැත. අවසන් ලෙස රෝගියා ත්‍රි - ‍රෝද රථයක නංවාගෙන පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගිය ද ඒ වනවිටත් දරුවා මිය ගොස් සිටියේය. බැලූ බැල්මට නම්; මෙය අපරාධයකි. දරුවා මිය ගොස් ඇත්තේ නිසි ප්‍රතිකාර නො ලැබීම නිසාය. ගලහ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය ඊට වගකිව යුතුය.

දරුවාට ප්‍රතිකාර කළ නොහැකි නම්; ඔහු පේරාදෙණිය රෝහල වෙත රැගෙන යෑමට ගිලන් රථය ලබාදීමට ඉඩ තිබිණි. එහෙත් ගිලන් රථ ලබා දී නැත. ගිලන් රථයේ රියැදුරු පවා මේ අවස්ථාවේ මඟහැර සිටිය බවද, පසුව රෝගියා ගේ ඥාතීන්ට බැණ වැදුණු බව ද ඥාතීහු කියා සිටිති. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩල පත්කර ඇත්තේ රෝගීන් සුවපත් කිරීම සඳහා ය. රාජ්‍ය සේවකයන් වන ඔවුන් වැටුප් හා වෙනත් වරප්‍රසාද ලබන්නේ ද මහජනයාගේ බදු මුදල්වලින් ය. මෙබඳු පරිසරයක් තුළ මහජනයා කෝපවීම සාධාරණ යැයි සිතන්නට පුළුවන. ප්‍රදේශවාසීන් එකතු වී රෝහලට පහර දී ඇත. රෝහල සමීපයේ නවතා තිබූ වාහනවලට ද පහර දී ඇත.

ඥාතීන්ගේ ක්‍රියා පිළිවෙතත්, ප්‍රදේශවාසීන්ගේ හැසිරීමත් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දිය යුත්තේ හැඟුම්බර ලෙස ක්‍රියා කිරීමෙන් නොවේ. ජාතික ධනය යොදවා රෝහල් ස්ථාපිත කරනු ලබන්නේ ද, ඒවා පවත්වාගෙන යනු ලබන්නේ ද අසීරුවෙන් ය. අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගතහොත් එහි වැඩිපුර ඇත්තේ සුබසාධනය යි.

ලෝකයේ දියුණුම රටවල ද සෞඛ්‍ය ක්ෂේත්‍රය හැමවිට ම නිදහස්ව පවතින්නේ නැත. එහි අදහස වන්නේ ලෙඩට බෙහෙත් ගන්නට ගියවිට යම් වියදමක්ද දැරිය යුතු බව ය. සමහර යුරෝපීය රටවල සුබසාධනයක් ඇත්තේ ම නැත. රෝගී වූ පමණින් ඔහුට හෝ ඇයට හෝ සියල්ල සපයා දිය යුතු තැනක ‍ලෝකයේ බොහෝ රටවල් නැත. එහෙත් ශ්‍රී ලංකාවේ එය පවතී. ආණ්ඩුව රෝගීන් සඳහා වූ ප්‍රතිකාර ක්‍රමයට බැඳී සිටී. ඒ හැරෙන්නට රෝගීන්ගේ තත්ත්වය නැවත නැවත පරීක්ෂා කිරීමට ද අපේ සෞඛ්‍ය ක්ෂේත්‍ර පුරුදු පුහුණු වී සිටී.

ගලහ ප්‍රාදේශීය රෝහල් සිද්ධිය ගතහොත් එය අමුතු දෙයක් ලෙස අපට දැනී යන්නේ නැත. රටේ ග්‍රාමීය රෝහල් තුළ ද ප්‍රාදේශීය රෝහල් තුළ ද මෙබඳු සිදුවීම් බහුලය. ඇතැම් වෛද්‍යවරුන් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය ගැටලු වටහාගෙන නැත. එම වෛද්‍යවරුන් ගමෙන් නැගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තර්ක විතර්කවලට සාධාරණ පිළිතුරු සපයන්නේ නැත. අපගේ විමර්ශනවලට අනුව පෙනී යන්නේ ප්‍රාදේශීය හා මුලික රෝහල් තුළ මෙබඳු ගැටලු උත්සන්න වී ඇති බව ය. සමහරු එලෙස උත්සන්න වූ ගැටලු දේශපාලන වාසිය සඳහා යොදා ගනිති. තව සමහරු එයම තම අභිවර්ධනය උදෙසා යොදා ගනිති.

අපගේ මූලික ගැටලුව වන ගලහ සිද්ධිය ගතහොත්; සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමේ හැකියාවක් නැත. එහෙත් වෛද්‍ය කාර්ය මණ්ඩලය එලෙස ක්‍රියාකර ඇති බව පෙනෙයි. දෙවනුව රෝගියා නියෝජනය කරන ඥාති පාර්ශ්වයටද එලෙස ක්‍රියාකිරීමේ හැකියාවක් නැත. යම් වරදක් සිදුවූයේ නම්; ඒ පිළිබඳ ක්‍රියාකිරීමේ පිළිවෙළක් තිබේ. නීතියක් තිබේ. ඒවා උල්ලංඝනය කරන්නේ නම්; එහිද හිතුවක්කාරකමක් තිබේ. රෝහල්වලට පහරදීම්, වෛද්‍යවරුන්ට පහරදීම හොඳ දෙයක් නො වේ.

ගලහ සිද්ධියට සමාන සිදුවීම් ගණනාවක් පසුගිය මාස කිහිපය තුළ වාර්තා වී ඇත. අපගේ අවධාරණවලට අනුව ග්‍රාමීය රෝහල් තුළ ද, ප්‍රාදේශීය රෝහල් තුළ ද මේ තත්ත්වය වැඩිපුර පවතී. එම රෝහල් තුළ කාර්ය මණ්ඩල රෝගීන් සඳහා උපරිම උනන්දුව දක්වන්නේ නැති බව පෙනී ගොස් තිබේ. සමහර කාර්ය මණ්ඩල තමන්ගේ ගමනක් යෑමට වුවමනා වූ විට රෝගියකු තෝරාගෙන ඒ සඳහා ගිලන් රථය යොදාගන්නා බව ද වාර්තා වී ඇත.

ගලහ සිද්ධිය ගැන මුළුමහත් සෞඛ්‍ය ක්ෂේත්‍රයම දුක්විය යුතු ය. එහෙත් පෙරළා බලනවිට මේ ආණ්ඩුව ඖෂධ මිල අඩුකර ඇත. හෘද රෝගීන් සඳහා පහසුකම් සපයා ඇත. පිළිකා රෝගීන්ට සහන ලබාදී ඇත. වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලවලට වරප්‍රසාද ලබාදී ඇත. එහෙත් ‍බොහෝ පළාත්වල දරුවෝ මිය යති.

 


නව අදහස දක්වන්න

Or log in with...