මුඛ පිළිකාවට නෙල්ලි රසකිඳ කරාපිටියෙන් සොයාගැනීමක් | දිනමිණ

මුඛ පිළිකාවට නෙල්ලි රසකිඳ කරාපිටියෙන් සොයාගැනීමක්

ශල්‍ය වෛද්‍ය පී.කේ. ඩයස් මහතා

දේශීය ඖෂධවල විස්මයජනක බව අවධානයට ලක් කරමින් මුඛ පිළිකාවට සහ සෘජුවම ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට දායක වන දේශීය ඖෂධ වන නෙල්ලි රසකිඳ සුසංයෝගය පර්යේෂණ මඟින් මේ වන විට විද්‍යාත්මකව සනාථ වී ඇත.

කරාපිටිය රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස වසර 25කට අධික කාලයක් කටයුතු කරන ඩී.කේ. ඩයස් මහතා දැනට මුඛ පිළිකා ආශ්‍රිත ශල්‍ය කර්ම 2000 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර නෙල්ලි රසකිඳ භාවිතයෙන් මුඛ පිළිකා නිවාරණයට ප්‍රබල දායකත්වයක් ලැබී ඇති බව ප්‍රකාශ කර සිටී.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය අංශයේ අනුග්‍රහය දැක් වූ කරාපිටිය රෝහලේ මුඛ හා හනු ශල්‍ය ඒකකය මගින් මෙහෙය වූ මුඛයේ, කම්මුලේ සහ දිවේ පිළිකා සහිත රෝගීන් ආශ්‍රිතව සිදු කරන ලද සායනික පරීක්ෂණයක් සඳහා ඉහත කී ඖෂධ ද්විත්වය චිකිත්සාවක් වශයෙන් යොදාගනිමින් පර්යේෂණය කර ඇත.

දේශීය ආයුර්වේද ඖෂධයන්හි පවතින මුඛ පිළිකාවන්ට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමට නෙල්ලි රසකිඳ පානය විස්මයජනක බව මෙමඟින් තහවුරු කිරීමට හැකි වූ බව මෙම පර්යේෂණය මෙහෙය වූ මුඛ හා හකු ශල්‍ය වෛද්‍ය පී.කේ. ඩයස් මහතා මෙන්ම පර්යේෂණයට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය එල්. පී. ඒ. කරුණාතිලක මහතා අවධාරණය කරයි.

මෙම පර්යේෂණයේ මුඛ්‍ය අරමුණ මුඛ පිළිකාව වැලඳුණු රෝගීන් ඉන් මුදවා ගැනීම වේ. ඒ සඳහා නෙල්ලි රසකිඳ කුඩු ආකාරයෙන් යොදා ගන්නා ලද අතර ඒ තුළින් පිළිකා රෝගීන්ගේ පිළිකා තත්වය වර්ධනය වීමේ අවදානම අඩු වූ බව සහ ඒ සඳහා සෘජුවම මෙම ඖෂධ සුසංයෝගය දායක වූ බව අනාවරණය වී ඇත.

මේ සඳහා මෙම ඖෂධ නිසි ආකාර තත්ව පරීක්ෂණයට යටත්ව පරීක්ෂා කරවා වෙනත් අපද්‍රව්‍යවලින් තොර ඉතා ඉහළ ප්‍රතිශක්තිකාරක ගුණයන්ගෙන් හෙබි නියැදියක් බවට තත්ත්ව සහතික ලබා ගත් බව මෙම දේශීය පර්යේෂණ නියමු විශේෂඥ වෛද්‍ය ඩී.කේ. ඩයස් මහතා පවසා සිටියි.

2005 සිට 2015 දක්වා වසර 10ක කාලයක් තුළ මුඛ කම්මුල් හා දිව ආශ්‍රිත පිළිකා රෝගීන් 163ක් යොදා ගෙන සම්ප්‍රදායික චිකිත්සාවන්ට අමතරව නෙල්ලි රසකිඳ දිනකට දෙවරක් භාවිතයෙන් ප්‍රතිශක්තිනකරණ පද්ධතිය ශක්තිමත් කිරීම තම අරමුණ වූ බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටී.

මේ පිළිබදව අදහස් දැක් වූ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩී.කේ. ඩයස් මහතා,

"විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අනෙක් පිළිකා වර්ග වගේ නෙමෙයි මුඛ පිළිකාව වළක්වා ගැනීමට පුළුවන්කම තියෙනවා. අනෙක් පිළිකා දිහා බැලුවොත් ඒවා ජාන මගින් හැදෙන්නත් පුළුවන්. ඒවා වළක්වා ගැනීමේ සම්භාවිතාව හුඟක්ම අඩුයි. මුඛ පිළිකාව මුලින්ම හඳුනා ගැනීම තමයි වැදගත්. මෙම රෝගී තත්වය හැදීමට ප්‍රධානතම හේතු සාධක තියෙනවා වගේම ලංකාවේ මෙය ඉතා ශීඝ්‍ර ලෙස වර්ධනය වීමක් ද දක්නට ලැබෙනවා. ඒ නිසා ලංකාවේ මේ වන විට ප්‍රධානතම පිළිකාව මුඛ පිළිකාව බවට පත් වෙලා තියෙනවා. ඒත් 90% වළක්වා ගැනීමේ හැකියාවත් මෙම රෝගයට තියෙනවා. අවුරුදු පහකට සැරයක් මෙහි රෝගීන් දෙගුණ වීමක්ද දක්නට ලැබෙනවා. ඒ වගේම දිනකට මෙම රෝගී තත්වය නිසා රෝගීන් 2ක්, 3ක් ජීවිතයෙන් සමුගන්නවා. මෙහි තවත් පැත්තක් තමයි මෙම රෝගීන් විශාල ප්‍රමාණයක් සාමාන්‍ය වැඩ කරන ජනතාව වීම.

මෙම රෝගයේ අවස්ථා 2ක් තියෙනවා. පූර්ව පිළිකා තත්වය හා පිළිකාව කියල. දියුණු රටවල මෙම පිළිකාවට ගොදුරු වෙන්නේ අධික මද්‍යසාර හා දුම්පානය නිසා. ඒ අයගෙන් හුඟක් අයට පිළිකාව හැදෙන්නේ යටි තල්ල ප්‍රදේශයේ. නමුත් ලංකාවේ රෝගීන්ට හැදෙන්නේ කම්මුල කෙළවරේ, දිව යන ස්ථානවල. ඒකට ප්‍රධාන හේතුව බුලත් හපය කටේ තියාගෙන සිටීම. ඒවගේම දුම්කොළ දුම්වැටි භාවිතය, පුවක් බුලත් කෑම. වැඩියෙන්ම නරක දුම්කොළ, පුවක්, හුණු හා අධික මද්‍යසාරය. ඒ වගේම දුම්කොළ, බුලත්, මද්‍යසාර ගන්නා අයට පමණක්ම නෙමෙයි මෙම රෝගී තත්වය ඇති වෙන්නේ. සාමාන්‍ය පුද්ගලයන්ද මේ රෝගී තත්වයට ගොදුරු වෙනවා. ඒත් අධික දුම්පානය අධික මද්‍යසාරය භාවිතය තුළින් සාමාන්‍ය පුද්ගලයකුට වඩා සිය ගුණයක් වැලඳීමේ අවධානය වැඩි වෙනවා.

මෙම රෝගී තත්වය හඳුනා ගැනීමේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. සුව නොවන තුවාල, කට ඇතුළේ සුදු හෝ රතු මිශ්‍ර ළප. හුඟක් වෙලාවට මේවා වේදනා රහිතයි. එම නිසා මිනිසුන්ගේ අවධානය මේ සඳහා අඩුයි. සමහර වෙලාවට බෙල්ලෙ කුද්දැටියක් ඇති වෙන්නත් පුළුවන්.

මේ අනුව මම 2005 - 2015 දක්වා වසර දහයක් තිස්සේ පරීක්ෂා කළා. දැනට තියෙන ප්‍රතිකාර ක්‍රමවලට අමතරව අපි එක් කොට්ඨාසයකට නෙල්ලි රසකිඳ ලබා දුන්නා. මේ තුළින් අපිට සොයා ගැනීමට හැකි වුණා මුඛ පිළිකාවට නෙල්ලි රසකිඳ දිනපතා ලබා දීමෙන් රෝගීන්ගේ පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තියෙන බව. මෙම ඖෂධ පරීක්ෂණයට භාජනය කිරීමේදී මෙම පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව වැඩි බව ‍සොයා ගත්තා. මේ අනුව අපට හැකි වුණා රෝගීන්ගේ ශරීර ශක්තිය වැඩි කරලා එම විනාශකාරී සෛලවලට ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරන්න."

කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය ඩී.කේ. ඩයස් මහතාගේ විශේෂ උනන්දුව මත මාරාන්තික මුඛ පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ට තම රෝගී තත්වය සමනය කර ගැනීමට නෙල්ලි රසකිඳ භාවිතය පිළිබඳව දැනුවත් වීමෙන් රෝගීන්ගේ ආයු කාලය වර්ධනය කර ගැනීමට හැකි වීම විශාල පුණ්‍ය කර්මයකි.

සටහන සහ ඡායාරූප
ප්‍රභාත් විතානාච්චි - දකුණු පළාත් විශේෂ 


නව අදහස දක්වන්න