අපේ ශක්තිය පාරි­භෝ­ගික විශ්වා­ස­යයි | දිනමිණ

අපේ ශක්තිය පාරි­භෝ­ගික විශ්වා­ස­යයි

කේ. ජී. ලීලා­නන්ද  - ප්‍රධාන පරි­පා­ලන නිලධාරි, සාමා­න්‍යා­ධි­කාරී ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ලිමි­ටඩ්

නූතන බැංකුකරණය වේගවත් තාක්ෂණයහා බද්දවී තිබේ. නවතම තාක්ෂණික මෙවලම්, ශිල්ප ක්‍රම බොහොමයක් බැංකුකරණය නිසාම තහවුරුවී තිබේ. එසේ වුවද මේ අධි තාක්ෂණික බැංකු සමඟ බද්දවී සිටින්නේ සමාජයේ කිනම් කොටසක් ද? තවමත් බැංකු සමඟ ගනුදෙනු නොකරන හෝ බැංකු වෙත සමීපනොවී සිටින පිරිස් කොතෙක් ද? මෙවන් පිරිස් බැංකුකරණය වෙත ආකර්ෂණය කරගත හැක්කේ කෙලෙස ද? මේ පිළිබඳ අත්දැකීම් බහුල විශේෂඥයෙකි ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ලිමිටඩ් බැංකු ආයතනයේ විධායක අධ්‍යක්ෂ කේ. ජී. ලීලානන්ද මහතා. ඔහු සමඟ දිනමිණ “කප්රුක” වෙනුවෙන් කළ සාකච්ඡාවකි මෙය.

 

ලංකාව වැනි කුඩා රටක ස්ථාවර බැංකුවක් ගොඩනැගීම අභියෝගයක් නොවේද?

ඕනෑම දෙයකට හිමි අභියෝගය ඊටත් හිමිය. නමුත් එය ජයගැනීමට අසීරු කරුණක් නොවේ. එවන් ආයතනයක් ගොඩනැගීමට අවශ්‍ය වෙන්නේ පරිණත නායකත්වයක් පමණයි. නව බැංකුවක් පිළිබඳව සිහිනය මා දුටුවේ මූල්‍යකරණය පිළිබඳ විදෙස් අධ්‍යාපනය ලබමින් සිටියදීය. අනතුරුව මම මෙරට ප්‍රමුඛතම බැංකුවක නියෝජ්‍ය සාමාන්‍යධිකාරි තනතුර හෙබවූවා. ඒ අත්දැකීම් ඇසුරින් මම හඳුනාගත්තා ලංකාවේ එක් ස්ථරයක් තවමත් බැංකුවලට ඈත බව.

උදාහරණයක් විදිහට සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායක පිරිස් මෙන්ම එදිනෙදා මුදල් උපයන බොහෝ පිරිස් බැංකු සමඟ ගනුදෙනු කිරීමට පෙලඹීම දුර්වලයි. මේ පිරිසට පහසුවෙන් ලඟාකරගත හැකි බැංකු පද්ධතියක් සැකසිය යුතුයි. රටපුරා විසිරී පැතිරී ඇති එවැනි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ශක්තිමත් බැංකු පද්ධතියක් සැකසිය හැකි බව මගේ අදහස වුණා. ඒ අනුවයි මුලින්ම දකුණු පළාත කේන්ද්‍රකරගෙන Lanka Credit and Business Lte පිහිටුවීමට කටයුතු කළේ.

ඔබ දැරූ විධායක ශ්‍රේණියේ වෘත්තිය අත් හැරීම ගැටලුවක් වූයේ නැති ද? ඒ අභියෝගයට මම මුහුණ දුන්නේ දැඩි විශ්වාසයෙන් යුතුවයි. දැඩි කැපවීමකින් යුතුව කටයුතු කිරීමෙන්. අරමුණ ජයගත හැකි බවට අවබෝධයක් මා සතුවුණා.

මේ කටයුත්තේදී මුලින්ම මා පිළිබඳව විශ්වාස කරමින් මූලික අරමුදලට දායකවූ මගේ මිතුරු මිතුරියන් පිළිබඳව සඳහන් කළයුතුයි. බැංකුවක මූලික අවශ්‍යතාව වන ප්‍රාග්ධනය මම මුලින්ම සොයාගත්තේ මගේ මිතුරු මිතුරියන් මා කෙරෙහි තැබූ විශ්වාසය මතයි. පසුව එම මුදල බිලියන 1000ක් තෙක් වර්ධනය කිරීමට අපට හැකියාව ලැබුණා.

දකුණට පමණක් සීමාවූ ඔබගේ ආයතනය දැන් ජාතික තලයට ප්‍රවේශවෙලා. මූල්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වූ අප ආයතනයේ ප්‍රමුඛ අරමුණ වූයේ මහබැංකුව පිළිගන්න බලපත්‍රලාභී බැංකුවක මට්ටම ඇතිකර ගැනීමයි. බලපත්‍රය ලබාදීමේදී මහබැංකුව කරුණු කීපයක් පිළිබඳව සැලකිලිමත් වෙනවා. බැංකුව සතු වත්කම් ප්‍රමාණය මිලියන 1000ක් ඉක්මවිය යුතුයි. පිළිගත හැකි අධ්‍යක්ෂ මණ්ඩලයක් මෙන්ම මනා කළමනාකරණයක් සහිත විය යුතුයි. බැංකු ක්ෂේත්‍රයේ ඉදිරි දැක්මක් යුතුව කටයුතු කරන ආයතනයක් විය යුතුයි. දකුණේ ජනතාවත් සමඟ මූල්‍යමය කටයුතු කරමින් අපි කඩිනම් දියුණුවක් ඇතිකර ගැනීමට සමත්වුණා. අප කෙරෙහි විශ්වාසයෙන් යුතුව ඔවුන් ගනුදෙනු කිරීම සිදුකළා. ඒ නිසා අභියෝග පරයමින් ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට අපි සමත්වුණා.

මහබැංකුව ඔබ ආයතනයට බැංකු කටයුතු කිරීමේ බලපත්‍රය ලබාදී තිබුණේ දැවැන්ත අභියෝගයන් ද සමඟයි.

මහබැංකුවේ නියමයන්ට අනුව අප වෙත බැංකුවක් ලෙස කටයුතු කිරීමට හැකිවන අන්දමේ බලපත්‍රයක් ලබාදුන්නේ ඉන් පෙර City Finance Corporation ltd නැමති ආයතනයට ලබාදී තිබූ බලපත්‍රයයි. එම ආයතනයේ තැන්පතුකරුවන් 24000 දහසකගේ මුදල් ආපසු ගැනීමට නොහැකිව පසුවුණා. මේ සියලු දෙනාටම ගෙවීමට තිබූ මුදල මිලියන 565කි. අප බැංකුවට ලබාදුන් අභියෝගය වූයේ මෙම මුදල් නැවත ගෙවීමට කටයුතු කිරීමයි. මේ මුදල් ක්‍රමාණුකූලව ගෙවීම සඳහා අප ආයතනය විසින් ව්‍යාපාරික සැලැස්මක් සකස් කළා. ඒ සැලැස්ම පිළිබඳව මහබැංකුවේ මුදල් මණ්ඩලය සෑහීමකට පත්වුණා.

පවතින තරඟකාරීත්වය හමුවේ මේසා විශාල මුදලක් ගෙවීමෙන් ගැටලුවක් ඇතිවූයේ නැතිද?

අප එය සිදුකළේ සැලැසුමකට අනුවය. මුලින්ම මේ 24000 දහසක පිරිස හය දහස බැගින් කොළඹ මහජන පුස්තකාලේ කණ්ඩායම් පහක් වශයෙන් ගෙන්වා රැස්වීම් පැවැත්වූවා. ඒ වනවිටත් වසර ‘5ක්’ පුරා ඔවුනගේ තැන්පතු මුදල් ආපසු ගැනීමට නොහැකිව පසුවුණේ. අප මුලින්ම කළේ ඔවුන් තුළ අප පිළිබඳව විශ්වාසය තහවුරු කිරීමය. ඔවුන්ගේ මුදල් කඩිනමින් ලබාදීමට අප කටයුතු කරන බව සඳහන් කළා. ඒ සඳහා අප කෙරෙහි විශ්වාස තබන ලෙස අපි ඔවුන්ට මුදල් ගෙවන ආකාරය පිළිබඳව අපි පැහැදිලි කළා. ඒ අය අප කෙරෙහි විශ්වාසයෙන් යුතුව අපගේ කටයුතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදුන්නා. මේ අභියෝගය මහබැංකුව විසින් අප වෙත ලබාදුන්නේ 2017දී ය. අප මේ වනවිට ඒ තැන්පත්කරුවන්ගේ 90% කගේ මුදල් ආපසු ගෙවීම කර තිබෙනවා. ඉතිරිවී ඇත්තේ 10% පමණය. ඒවාත් යම් යම් අනන්‍යතාවන්, හිමිකම් පිළිබඳව ගැටලු සහිත ඒවා. නමුත් ඒවාත් කඩිනමින් ගෙවා අවසන් කිරීමටයි අපි කටයුතු කරන්නේ.

ජාතික බැංකු සමඟ තරග කරන ඔබට ජාතික සැලසුමක් තිබිය යුතුයි නේද?

අප සතු ජාතික සැලසුමක් තිබෙනවා. අපගේ සැලසුම වන්නේ බැංකු කටයුතු සාමාන්‍ය ජනතාවට වඩාත් සමීප කරවීමය. අප දකුණු පළාතේ බැංකුකරණයේ නියැළී සිටින්නේ පාරිභෝගිකයා බැංකුව වෙතට පැමිණෙනතෙක් නොඉඳ පාරිභෝගිකයා වෙත සමීපවීමයි. ඔහ‍ුගේ වැඩබිම, ඔහුගේ නිවෙස වෙතටම ගොස් ඔහුගේ තැන්පතු ලබාගැනීම, ලීසිං පහසුකම් ලබාදීම, ණය ලබාදීම වැනි මූල්‍යමය අවශ්‍යතා ඉටුකර දීමයි. ඒ ක්‍රමයෙන් අප වඩාත් සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙනවා. මීට අමතරව පොදුවේ රැස්වෙන ස්ථානවල පවත්වන දැනුම්වත් කිරීම් මගින් බැංකු කටයුතු කෙරෙහි දැනුම්වත් කිරීම් සිදු කෙරෙනවා.

මෙලෙස පාරිභෝගිකයා වෙතට බැංකු නියෝජිතයා සමීප වීමේදී විශ්වාසය තහවුරු කරන්නේ කෙලෙස ද?

ඔවුන්ගේ ගෙවීම් සඳහා ඒ අවස්ථාවේම ජංගම යන්ත්‍රය ආධාරයෙන් රිසිට්පත් නිකුත් කිරීම සිදු කෙරෙනවා. ඊට අමතරව ඔවුන් භාවිතා කරන දුරකතන අංක ඔස්සේ ගනුදෙනුව පිළිබඳව කෙටි පණිවිඩයක් ලබාදීමත් සිදු කෙරෙනවා. පාරිභෝගිකයා වෙතට යන නිලධාරීන් මෙන්ම නිලධාරිනියන්ට මහජන සම්බන්ධතාව මෙන්ම අලෙවිකරණය, සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ දැනුම්වත් කිරීම් හා පුහුණුවීම් සහිත අය ආයතනයේ ගෞරවය මෙන්ම පාරිභෝගිකයාගේ ගෞරවය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීම ඔවුන් සතු ප්‍රධානම වගකීමයි.

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ලිමිටඩ් ශාඛා පද්ධතිය විසිරී ඇත්තේ කෙලෙස ද?

ගාල්ල, කරන්දෙණිය, මාතර, කළුතර, පැලවත්ත, කොහුවල, රත්ගම ප්‍රදේශවල අපගේ ශාඛා විවෘතකර තිබෙනවා. අපගේ අරමුණ පළාත් 9 පුරාම විසිරුණු ශාඛා විවෘතකර තිබෙනවා. අපගේ අරමුණ පළාත් 9 පුරාම විසිරුණු ශාඛා ජාලයක් ඇතිකිරීමයි. නූතන දියුණු බැංකු තාක්ෂණය භාවිතා කිරීම මෙන්ම, බැංකුකරණයේ බැහැර ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීම මුඛ්‍ය අරමුණ බවට පත්වෙනවා. අන්ත දෙකක ක්‍රියාදාමයන් වුවත් අපි එය මැනවින් කළමනාකරණය කරනවා. අපේ සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ ඒ තුළයි.

ඔබ බැංකුව මඟින් සිදුකරනු ලබන සේවාවන් හා නිෂ්පාදනයන් මොනවා ද?

ලීසිං පහසුකම්, රත්රන් ණය, කාන්තා, වැඩිහිටි, ළමා, ඉතුරුම් ගිණුම් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායිකයන් දියුණු කිරීමට ලබාදෙන ණය වර්ග කීපයක්ම තිබෙනවා. ඊට අමතරව පෞද්ගලික ණය, නිවාස ණය, අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ලබාදෙන ණය.

ඔබගේ අදහසට අනුව ඔබ ආයතනය සතු විශාලතම ශක්තිය කුමක් ද?

අප සතු ශක්තිමත් පදනම අපගේ විශාලතම ශක්තියයි. “අභිමානයේ නව මානය” අපගේ ආදර්ශ පාඨයයි. මේ බැංකුව ආරම්භ කළේ දකුණේ ජනතාවගේ මුදලින්. ඒ නිසාම දකුණේ අභිමානය රටටම ගෙන යන පළමු බැංකුව ලෙස Lanka Credit and Business Ltd බැංකුව ඉතිහාසයේ රන් අකුරින් ලියැවේවි. අපි පිළිබඳව විශ්වාසයෙන් යුතුව අපි සමඟ එක්වන පාරිභෝගිකයා අප සතු සුවිසල්ම ශක්තියයි. තරඟකාරීත්වය හමුවේ බැංකුවක් ලෙස නැගී සිටීමට අපට හැකිවී තිබෙන්නේ අප සමඟ එක්වන සුවහසක් පාරිභෝගිකයා නිසායි. ඔවුනට මෙතෙක් බැංකුවකින් ඉටු නොවූ සමීප සේවයක් කිරීමයි අපගේ අරමුණ. ඒ අරමුණ මේ වනවිටත් අප ජයගෙන තිබෙනවා.

බුද්ධිකා බ්‍රාහ්ම­ණගේ
 

නව අදහස දක්වන්න