ප්‍රංශයේ පරිසර ඇමති ඉල්ලා අස්වෙයි | දිනමිණ

ප්‍රංශයේ පරිසර ඇමති ඉල්ලා අස්වෙයි

 ප්‍රංශයේ පරිසර අමාත්‍ය නිකලොස් හුලෝට් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
 
එරට සජීව ගුවන් විදුලි වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ප්‍රංශය අනුගමනය කරන ප්‍රතිපත්ති තමන්ට සෑහීමකට පත්වීමට නොහැකි බැවින් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ප්‍රංශ පරිසර ඇමතිවරයා පවසා තිබේ. 
 
කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීමට පෙර ප්‍රංශ ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට පූර්ව දැනුම්දීමක් කර නොමැති බව සදහන් ය.
 
ජෛව විවිධත්වය, පස ආරක්ෂා කිරීම, පළිබෝධනාශක සම්බන්ධයෙන් ප්‍රංශයේ වත්මන් රජයට ප්‍රමාණවත් වැඩපිළිවෙළක් නොමැති බව හුලෝට් කියාසිටියේය. 
 
ඔහු ප්‍රංශයේ ඉතා ජනප්‍රිය පරිසරවේදියෙකු වේ. එසේම පරිසරය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරමින් තරුණ පිරිස් අතර විශාල ජනප්‍රියත්වය හිමිකර ගැනීමට හුලෝට් මහතා සමත් ව සිටී. 
 
2017 වසරේ මැයි මාසයේදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඔහු පරිසර ඇමතිවරයා ලෙස පත්කරන ලදි. 
 
මෙම ඉල්ලා අස්වීම මැක්රන්ගේ පාලනයට අයහපත් ලෙස බලපානු ඇති බවයි විචාරයින් සදහන් කර ඇත.

නව අදහස දක්වන්න