දොස්තරලාගේ කුණු විරෝධය | දිනමිණ

දොස්තරලාගේ කුණු විරෝධය

අපගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිටපු ගමන් මහා භයානක ක්‍රියා ගැන සොයා ගන්නවාය. ඒ මේ ආණ්ඩුවේ කුමක් හෝ ක්‍රියාවකට විරුද්ධ වන්නටය. ‘සුව සැරිය’ ගිලන් රථ සේවය ගෙන එන වෙලාවේ සොයාගත්තේ රෝ ඔත්තු සේවයේ සැලැස්මකි. එය නම් ගිලන් රථ සේවය තුළින් මෙරට ජනයාගේ ජාන තොරතුරු රැස්කර ගැනී‍ෙම් සැලැස්මකි. ඒ මෙරට ජනයා විනාශ කරන්නටය. එදා ඔවුන් කීවේ ඉන්දියානුවන්ගේ ‘සුව සැරිය’ එබඳු මහා භයානක ව්‍යාපෘතියක් බවය. එය ගේන්නම නොදෙන බව පමණක් නොව ඒවායින් ගෙනෙන රෝගීන් රෝහල්වලට භාර නොගන්නා බව ද කීහ. මේවා මෙරට ජනයාට අමතක නැත.

දැන් මෙම සංගමයේ බයිට් එකට හසුව ඇත්තේ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමයි. එහිද තිබෙන්නේ මහා භයානක කොන්දේසිය. එකක් නම් සිංගප්පූරු කුණු මෙරටට එවීමය. එය සිදුවන්නේ ගිවිසුමේ ඇති නිදහස් ලැයිස්තුවේ මෙය අඩංගු නිසාය. එනම් බදු රහිතව මෙරටට ගෙන ආ හැකි භාණ්ඩ ලැයිස්තුවේ මෙය අඩංගුවීම නිසාය. දොස්තරලා කියන්නේ දැන් ඉතින් ශ්‍රී ලංකාවට සිංගප්පූරුව කුණු ගෙනත් දානු ඇති බවයි.

කුණු වෙළෙඳ භාණ්ඩයකි

එකක් තේරුම්ගත යුතුය. එනම් දැන් වන විට කුණු ද ජාත්‍යන්තර වෙළෙඳ භාණ්ඩයක් වී ඇති ඇති බවය. මේ කතා කරන්නේ නගර සභාවෙන් ගෙන යන කුණු ගැනම නොවේ. ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳාම් කරන කුණු නැතහොත් අපද්‍රව්‍ය ගැනය. ඇතැම් රටවල් ඒවා අපනයනය කරන අතර තවත් රටවල් ආනයනය කරයි. ඒ නිසා දැන් ඒවාට ජාත්‍යන්තර පිළිගත් රේගු බදු අංක ද ලබා දී තිබේ. ලෝක තත්ත්වය ඒකය.

දියුණු කාර්මික රටක් වන ස්වීඩනය පිටරටින් කුණු ආනයනය කරන රටකි. ඒ තම රටේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහාය. එයට අවශ්‍ය කුණු රට තුළ නිපදවන්නේ නැති නිසාය.

සිංගප්පූරුව ද කුණු අපනයනය කරයි. මැලේසියාව, ඉන්දියාව, වියට්නාමය හා මෑතක් වනතුරු චීනය එම කුණු ආනයනය කළේය. එනම් මිලදී ගත්තේය. ඒ කාර්මික අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනීමටය.

සිංගප්පූරු කුණු හෙවත් අපද්‍රව්‍ය ආනයනය චීනය මෑතකදී තහනම් කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ඒකාබද්ධ විපක්ෂය දැන් කියන්නේ චීනය එලෙස කුණු තහනම් කරද්දී ශ්‍රී ලංකාව එම කුණු භාරගන්නා බවකි. චීනය කුණු තහනම් කළේ ඇයි ද කියා හොයන්නේ නැත.

චීනය කළේ කුමක්ද

චීනය සිංගප්පූරුවේ අපද්‍රව්‍ය ගෙන්වීම තහනම් කළේ ‍තම රටේ එම කර්මාන්තවලට රට තුළින්ම අපද්‍රව්‍ය සොයා ගැනීමට පෙළඹවීමට ය. චීනය වැඩ කරන්නේ එහෙමය. පසුගිය කාලයේ චීනය සූර්ය බල තාප කර්මාන්තය වර්ධනය කළේ ඒවා මිලදී ගන්නා දේශීය ජනයාට සහනාධාර ලබා දෙමිනි. කර්මාන්තය වැඩුණු පසුව පසුගියදා එම සහනාධාර නවතා දමනු ලැබීය. එය කර්මාන්තයට කෙටිකාලීනව අර්බුදයකි. එසේ වුවද දැන් චීනයේ වුවමනාව තම නිෂ්පාදන වැඩි වැඩියෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කිරීමය. චීන රජය පොල්ලෙන් ගැහුවා වැනි තීරණ ගන්නේ එහෙමය.

ශ්‍රී ලංකාව තුළද කුණු විශාල ව්‍යාපාරයකි. මීතොටමුල්ල කුණු කන්දේ කතාව දුරදිග ගියේද එය ජීවනෝපාය කරගන්නා පිරිසක් නිසාය. කුණුවලින් අවශ්‍ය දේ වෙන්කරගෙන අලෙවි කිරීම එම පිරිසගේ ජීවනෝපාය විය. එමෙන්ම රටපුරා ගොස් කුණු නැතහොත් අබලි ද්‍රව්‍ය එකතු කිරීමේ ජාලයක් ද දැන් ක්‍රියාත්මකය. බට්ටෝ වාහන හෝ කරත්ත යොදා එකතු කරන ප්ලාස්ටික්, යකඩ, ලෝහ, වීදුරු බෝතල් ආදී විවිධ අපද්‍රව්‍ය රැස්කොට විකිණීමේ ජාලයක් ක්‍රියාත්මකය. එයින් වැඩි කොටස ඉන්දියාවට යන බව කියති. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ද කුණු අපනයනය කරන රටකි. තවත් ප්‍රමාණයක් දේශීය වශයෙන් ද කර්මාන්තවලට යොදාගන්නා බව දැනගන්නට ඇත. පුවත්පත් දැන්වීම් මඟින් එබඳු සමාගම් එම අපද්‍රව්‍ය ඉල්ලා සිටින බැවිනි. මෙලෙස අපද්‍රව්‍ය ඉන්දියාවට යැවීම තහනම් කරන ලෙස දේශීය ව්‍යාපාරිකයන් ඉල්ලා සිටි අවස්ථා ගැන ද වාර්තා වී ඇත. අපේ කුණු ගැන කතාවේ එක පැත්තක් එහෙමය.

කුණු කියා කීවාට මේවා භාවිත වන්නේ කාර්මික අමුද්‍රව්‍ය වශයෙනි. යෙදවුම් වශයෙනි. යතුරුපැදි කාර්මිකයකු මෙම ලියුම්කරු සමඟ පැවසුවේ ඉන්දියානු යතුරුපැදිවල ඉන්ධන ටැංකි හදා ඇත්තේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ලෝහවලින් බවයි. එක තැනක අපද්‍රව්‍ය තවත් තැනක කාර්මික අමුද්‍රව්‍ය වන්නේ එහෙමය.

වෙ‍ෙළඳ ගිවිසුම් එපා කියන වෛද්‍ය සංගමය ඒ ගැන කීවේ ඉන්දියාව වියට්නාමය වැනි රටවල් ගිවිසුම්වලට යන්නේ ජාතික ප්‍රතිපත්ති හදාගෙන බවයි. රටට අහිතකර දේ එම රටවල් නොකරන බවයි. ශ්‍රී ලංකාව ජාතික ප්‍රතිපත්තියක් නැතිව වැඩ කරන බවයි. ආණ්ඩුව ගිය වසරේ ඉදිරිපත්කොට සම්මත කරගත් ප්‍රතිපත්තිය වෛද්‍ය සංගමයට වැඩක් නැති ලියැවිල්ලකි. ඒ ගැන වෙනම කතා කළ යුතුය. වෙළෙඳ ගිවිසුම් ගැන සොයන්නට ජනාධිපතිතුමා පත්කළ කමිටුව ද ඒ ගැන අධ්‍යයනය කොට වාර්තා කිරීමට නියමිතය.

ඉන්දියාව, වියට්නාමය කුණු ගත්තේ ඇයි?

ප්‍රශ්නය තිබෙන්නේ තවමත් සිංගප්පූරුවෙන් කුණු ගන්න රටවල් අතර ඉන්දියාව, වියට්නාමය හා මැලේසියාව ද වීමයි. සිංගප්පූරුකාර‍යන් මේ රටවල් රවටලා කියා දැන් මේ දොස්තරලා කියන්නට ඉඩ ‍ඇතැයි සිතේ.

ඇත්ත කතාව නම් සිංගප්පූරුවට කුණු දාන්න තැනක් නැති නිසා වෙළෙඳ ගිවිසුම මඟින් විවිධ රටවලට කුණු යවන්නට කූට ලෙස ක්‍රියාකිරීමක් මෙහි නැති බවයි. සිංගප්පූරුවට අපනයනය කරන්නට කුණු ඇති සේම ඒවා මිලදීගෙන කර්මාන්ත කරන්නට ඉන්දියාවට, වියට්නාමයට හා මැලේසියාවට පහසුකම් ඇත. ඒවා ඒ රටවල ලාභදායක හා ඵලදායක ව්‍යාපෘති විය යුතුය. ඒ කියන්නේ කුණු ද දැන් ජාත්‍යන්තර අගයදාම ක්‍රියාවලියේ කොටසකි.

මේ කියන්නේ ශ්‍රී ලංකාවටත් කුණු එන බව හෝ ආවාට කමක් නැති බව හෝ කියා දැන් මඩක් ගැසිය හැකිය. එසේ වුවද ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම නිසා කුණුවලට අමුතු තත්ත්වයක් ලැබී නැත. මෙම ගිවිසුමේ කුණු තියෙන්නේ බදු නැතිව ආනයනය කළ හැකි ලැයිස්තුවේය. එය අලුත් දෙයක් නොවේ. මේ වන තෙක් කුණු තිබුණේ ද බදු නැතිව රටට ආනයනය කළ හැකි භාණ්ඩයක් වශයෙනි. එසේ වුවද සිංගප්පූරුව මෙරටට කුණු එව්වේ ද නැත. මෙරට කවුරුන් හෝ කුණු ගෙන්නුවේද නැත.

වෙළෙඳ ගිවිසුම් බදු රහිත ලැයිස්තුවේ කුණු සඳහන්ව තිබෙන නිසා සිංගප්පූරුවට තම කුණු ගෙනැවිත් මෙහි දමා යන්නට ක්‍රමයක් නැත. කුණු එවන්නට නම් මෙහි යම් කිසිවකු හෝ සමාගමක් හෝ මුදල් ගෙවා කුණු ඇණවුම් කළ යුතුය. එසේ කළ හැක්කේ කුමන හෝ කර්මාන්තයකටය. එසේ කරන්නේ නම් එයට අනුමැතිය ලබාගත යුතුය. පළාත් පාලන ආයතනවලින් පරිසර අධිකාරියෙන් ආදී බොහෝ ආයතනවල අනුමැතිය ඊට අවශ්‍යය. මෙරට සම්මතකොට ඇති පරිසර නීති සියල්ලට යටත්විය යුතුය. ඒ සියල්ල කරගෙන මෙරටට කුණු නැත‍‍‍හොත් අපද්‍රව්‍ය ගෙන්වන්නට තරම් කර්මාන්තයක් මෙරට නැත. අප රටේ අපද්‍රව්‍ය යන්නේ ද ඉන්දියාවටය. දොස්තරලාගේ කුණු විරෝධය පුස්සක් යැයි කිව යුත්තේ ඒ නිසාය.

සිංගප්පූරුවෙන් මෙරටට කුණු ගේන්නේ නැතිනම් ගිවිසුමේ බදු නිදහස් ලැයිස්තුවට එය ඇතුළත් කළේ ඇයිදැයි අසන උදවිය ද සිටිති. ඔවුන් ගැන කිව යුත්තේ ගිවිසුම් සකස් කරන ජාත්‍යන්තර ක්‍රමවේද ගැන ඔවුන් නොදන්නා බවයි. ඒ කිසිවක් අප දැනන් හිටියේ ද නැත. තවමත් සියල්ල දන්නේ ද නැත. එසේ වුවද ප්‍රශ්නය මතු වූ විට සොයාබලා තේරුම්ගත යුතුව ඇත.

පිළිගත් ක්‍රමවේදය

අද ජාත්‍යන්තර වෙළඳාම හා රේගු බදු ආදිය ද එක්තරා ආකාරයකට ප්‍රමිතිගතකොට ඇත. ජාත්‍යන්තර වෙළෙඳ ද්‍රව්‍ය රේගු කාණ්ඩ 7438 ක් ලෙස බෙදා ඒවාට සංකේත ද ලබා දී තිබේ. භාණ්ඩ දැන් සඳහන් කරන්නේ නම්වලින් නොවේ. ඒවාට අදාළ රේගු සංකේත මඟිනි. වෙ‍ළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේදී ඉහත කී සියලුම කාණ්ඩ ලැයිස්තු හතරකින් එකකට ඇතුළත් කිරීමට සිදුවෙයි. එනම් බදු නිදහස් ලැයිස්තුව, වහාම බදු නිදහස් කරන ‍ලැයිස්තුව, ක්‍රමානුකූලව බදු අඩු කරන ලැයිස්තුව හා සංවෘත්ත හෙවත් බදු නිදහස් නොකරන ලැයිස්තුව වශයෙනි.

මෙහිදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදය නම් වෙනත් ආකාරවලින් පාලනය නොවන හා ආනයනය රටට අහිතකර යැයි සිතන භාණ්ඩ සංවෘත්ත ලැයිස්තුවට ඇතුළත් කිරීමයි. බදු නිදහස් කරන ලැයිස්තු වෙන වෙනම සකස් කිරීමත්, රටට ගෙන්වීමට වැඩි ඉඩක් නැති හා වෙනත් ආකාරයෙන් පාලනය වන භාණ්ඩ බදු නිදහස් ලැයිස්තුවේ තබාගැනීමත් එම ක්‍රමවේදයයි. ශ්‍රී ලංකා ආණ්ඩුව ද මලික් සමරවික්‍රම ඇමැතිවරයා හා එම අමාත්‍යාංශය ද ක්‍රියාත්මක වී ඇත්තේ එම පිළිගත් ක්‍රමවේදය අනුවය.

සිංගප්පූරු‍ව සමඟ වෙළෙඳ ගිවිසුම අත්සන් කරන්නට පෙර මේ වන විට ශ්‍රී ලංකාව වෙළෙඳ ගිවිසුම් දෙකකට ඇතුළත්ව ක්‍රියාවට නංවා ඇත. එනම් ඉන්දු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම හා පාකිස්තාන - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමයි. මේ ගිවිසුම් දෙකෙහිම කුණු ඇතුළත්කොට ඇත්තේ බදු රහිතව ආනයනය කළ හැකි ලැයිස්තුවටය. එනම් නිදහස් ලැයිස්තුවටය. එසේ වුව එමනිසා මෙරටට කුණු ගෙනඒමක් සිදුවූයේ නැත. සිදුවූයේ නම් ඒ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට යැවීමයි. සිංගප්පූරු ගිවිසුමේ අත්දැකීම් ඊට වෙනස්වීමට කිසිදු ඉඩක් නැත.

කුණු කොහෙන් ආවත් බදු නෑ

දැනට ඇති රේගු බදු නීතිරීති අනුව වෙළෙඳ ගිවිසුම් ඇති නැති කුමන රටකින් වුවද මෙරටට කුණු ගෙන්වන්නේ නම් එයට තීරු බදු නැත. යුරෝපයට, අමෙරිකාවට, චීනයට, රුසියාවට හා ජපානයට වුවද තිබෙන්නේ එම තත්ත්වයයි. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමෙන් එරටට කිසිදු විශේෂ වාසියක් ලබා දී නැත. එසේ වුවද බදු නැතැයි කියා මෙරටට කුණු ගෙන්වන්නට ඔළුවේ අමාරුවක් කාටවත් නැත.

ඒකාබද්ධ විපක්ෂයේ උදවියටත්, ‍රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අන්තවාදීන්ටත් අවශ්‍යව තිබුණේ බිල්ලෙක් මවන්නටය. මිනිසුන්ට බය හිතෙන බිල්ලෙක් මවන්නටය. ඒ සඳහා කුණු විරෝධය ඉතා වැදගත් වන්නේ පසුගිය කාලයේ මේ රටේ කුණු ප්‍රශ්නය බරපතළ වූ නිසාය. මහමග කුණු ගොඩගැසෙන තත්ත්වයට එය වර්ධනය වූ නිසාය.

රටේ කුණු ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුම් සොයන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේ නැත. කොළඹ ලස්සන කරන්නට කියා ගෝඨාභය රාජපක්ෂ මහතා කළේ කොළඹ කුණු කොළොන්නාවට යවා බලහත්කාරය යොදාගෙන ගොඩගැසීමය. ප්‍රශ්නය පුපුරා ගියේ කුණු කඳු නාය ගියාමය. කුණු දමන්න තැනක් නැතිව පාරවල්වල ගොඩගැසෙන්නට විය. එම ප්‍රශ්නයට ආණ්ඩුව මේ වන විට සාර්ථක විසඳුම් ක්‍රියාත්මකකොට අවසානය.

ඇහිඳගත් කරුණු

කෙසේ වෙතත් විපක්ෂය දැන් බිල්ලෙක් මවන්න හදන්නේ සිංගප්පූරුව දැන් එහේ කුණු ගෙනත් මෙහේ ගොඩගසන්නට අවසර ලබාගෙන ඇති බවක් කියමිනි. තැනින් තැනින් ගෙන පූට්ටු කරගත් කරුණු ටිකක් ඉදිරිපත් කරමින් මේ කරන්නේ ඒ බිල්ලා මවා ජනතාව බියපත් කරන එකය. එසේ වුවද විචාර බුද්ධියෙන් යුතු ජනතාව දැන් මේ කතාවලින් මුලා කළ නොහැකිය.

මේ ජනතාද්‍රෝහී කටයුතු ගැන ජනතාව දැන් ඉන්නේ මල පැනලාය. පසුගියදා සමීක්ෂණයකදී ජනතාවගෙන් සියයට 85 ක් කියා තිබුණේ මේ රටේ වෘත්තීය සමිතිවල අත්තනෝමතික කටයුතු පාලනය කළ යුතු බවය. රටේ සංවර්ධනයට අවශ්‍ය වැදගත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නඟන විට ඒවා කඩාකප්පල්කොට ආණ්ඩුව පෙරළන්න හදන උදවිය කවුදැයි දැන් ජනතාව හඳුනාගෙන අවසානය. කඩාකප්පල්කාරී වැඩට තිත තියන්නට ජනතාව නැඟී සිටින දිනය වැඩි ඈතක නොවේ.

සී.ජේ.අමරතුංග


අදහස් 1ක් ඇත

ඉතාම කාලීන ලිපියකි.මෙවැනි ලිපි ප්‍රචලිත කලයුතුය මන්ද ජනතාව අතරට යන්නේ බොරු බේගල් නිසාය.

පිටු

නව අදහස දක්වන්න

Or log in with...