හොඳ නරක දෙකම මට හොඳයි | දිනමිණ

හොඳ නරක දෙකම මට හොඳයි

රූකාන්ත නැවත ලංකාවේ පදිංචියට

රූකාන්ත ගුණතිලක

80- 90 දශකයේ ලාංකේය සංගීතය නව ආරකින් වෙනත් මානයක් කරා ගෙන යෑමට රූකාන්ත ගුණතිලක නම් වූ ඔහු සමත් විය.. ඔහු හා ඒ ගමන් මගේ අතීතා වර්ජනයක යෙදීමට පසුගිය දිනෙක ලැබූණු අවස්ථාවේ සටහන අද මෙසේ සති මැද කතා බහට ගෙන ඒමට සිතුවෙමි.

* පාසල් වියේදීම සංගීතයෙන් වැඩ පෙන්වූ ඒ මතකයෙන් පිළිසඳර අරඹමු?

පොඩි කාලේ ගෙදර තියා ගන්න බැරි තරමට මම හරිම දඟයි. මග්ගොන දානවා කියලයි අම්මා කියන්නේ. පස්සේ කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේ නේවාසිකාගාරයට දැම්මා. එතැන් සිට ගොඩක් නීති රීති මැද්දේ හැදෙන්නේ. පුංචි කාලේ ඉගෙන ගන්න හරිම දක්ෂයි. හොඳම ශිෂ්‍යයාට හිමි සම්මානයත් වරක් ලැබුණා. නමුත් 7 වසරේ ඉඳන් මම ගිටාර් ගහන්න පුරුදු වුණා. ඉගෙන ගන්න ආසාව නැති වුණේ එතැනින්. ඒ කාලෙදීම ස්ටෑන්ලි පීරිස් මහත්තයා පාසලේ කලා වැඩ වලට මාව සම්බන්ධ කර ගත්තා. සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ දිනක් ඔහු මගෙන් අහනවා" වැඩිදුර ඉගෙන ගන්නවද? බෑන්ඩ් ගහනවද?" කියලා. මම "බෑන්ඞ් ගහමු" කිව්වා.

* ගෙදරින් අවසර ලැබුණද?

අම්මා හිතුවේ මම වෛද්‍යවරයෙක් වෙයි කියලා. ඇය හරිම ප්‍රඥාවන්තයි. පස්සේ ඈට තේරුණා දොස්තරකම මට හරියන්නේ නැති වග. මම ගායකයෙක් වීම ගැන ඈට කිසිම දුකක් තිබුණේ නැහැ. සංගීතය හදාරන්න සහය දුන්නා. ගෙදර රණ්ඩුව පටන් ගන්තේ උසස් පෙළ නොකර බෑන්ඩ් ගහන්න ගත්තහම. ඉතින් ඔහොම අවුරුද්දක් විතර සංගීත කටයුතු කරගෙන සමාජ ගත වෙලා ඉන්න කොට උසස් පෙළ කරන්න නැවත මාව කෑගල්ල විද්‍යාලයට ඇතුළු කරනවා. ඒ වෙනකොට සමාජයේ තියෙන විනෝද රසය මගේ ඇඟට දැනිලා තිබුණේ. බොහොම අමාරුවෙන් අවුරුද්දක් ඉඳලා අස් වෙලා හොටෙල් පාසලට සම්බන්ධ වෙනවා. පාඨමාලාවේ අන්තිම මාසේ වෙද්දි ඒකෙනුත් අස් වුණා. ඊට පස්සේ දිගටම සංගීත කටයුතු තමයි කළේ.

* ඔබ හැදී වැඩෙන්නේ අඟ හිඟ කම් අඩු පවුලක?

මගේ මව්පියන්ට ඉඩ කඩම් තිබුණා. නමුත් අපි ළඟ ඉතුරුවක්, තැන්පතු ධනයක් තිබුණේ නැහැ. මාව පාසලට ඇතුළත් කරන්න ඉඩ කඩන් පවා වික්කා. තාත්තා නැති වුණාට පස්සේ අම්මා පාසලෙන් සහනයක් ඉල්ලුවත් ලැබෙන්නේ නැහැ. කොහොම හරි ළමයට උගන්වන්න මෙයාට ඉගැන්නුවට පාඩු වෙන්නේ නැහැ කියලා විදුහල්පති තුමා කියලා තිබුණා.

* සංගීතයට ළැඳි වුණත් ගායනයට ඔබේ උනන්දුවක් තිබුණේ නැහැ?

මට අවශ්‍ය වුණේ සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙන්න. සින්දු හදන්න, සිනමාවට සංගීතය සපයන්න. නමුත් ලංකාවේ, නිර්මාණකරුවාට වඩා ගායකයා සහ ගීතය තමයි මිනිස්සු වැළඳ ගන්නේ. ඊට හේතුව මම දන්නේ නැහැ. මම ඒකට ටිකක් පුදුම වුණා. මට හීන් දුකකුත් දැනුණා. ඒ දුක අනිවාර්යෙන් අද සින්දු ලියන අයටත් පොඞ්ඩක් හෝ දැනෙනවා ඇති.

* ඔබේ මුල්ම නිර්මාණය තවම එළිදක්වා නැහැ?

ඔව්. ‘සොඳුරු සිනා පා‘ කියන ගීතය නිර්මාණය කළේ 6 වසරෙදි. අනාගතයේ දවසක ඒ ගීතයේ වචන පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා එළි දක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා.

* සංගීතයෙන් ඔබ ඉපැයූ පළමු ආදායම?

ඒ කාලේ ගෙවල්වල පැවැවුණු සාදවල ගීත ගායනයට ආරාධනා ලැබෙනවා රුපියල් දෙකේ කොලේකුත් එක්ක. සල්ලි ලැබුණම තමයි මම සින්දු කියන්නේ. මගේ හැකියාවට වටිනා කමක් දිය යුතුයි කියන දේ ඒ කාලේ ඉඳන් මට තිබුණා. නමුත් අවස්ථාවට අනුකූලව මම ඕනෑතරම් නොමිලයේ සින්දු කියලා තියෙනවා.

* සංගීතයෙන් ඔබ කළ වෙනසට පැසැසුම් මෙන්ම ගැරහුම් ලැබන්න ඇති?

අලූත් දෙයක් කළ යුතුයි කියන හැඟීම පොඩි කාලේ ඉඳන් දැඩිව තිබුණා. ඒ දක්ෂකම නෙමෙයි. මගේ හැටි. අලූත් කියන්නේ මොකක් හරි පොඩි අමුතු දෙයක්. එහිදි මට ලැබුණු හොඳ නරක දෙකම මට හොඳයි. මම කා එක්කවත් තරහා වුණේ නැහැ. පුළුවන් තරම් ඒ සිදුවීම් අමතක කරන්න බලනවා. හිටපු ගමන් මතක් වුණොත් විනෝදයට හරවගෙන අමතක කරලා අදටත් ඒ අය එක්ක හොඳින් කතා බහ කරනවා.

* ඔබේ ගීත අතුරෙන් වැඩියෙන් මිනිසුන් වැළඳ ගත් ගීතය?

‘ඹබර පහස‘ එය නිකුත් වුණේ 1988 ඔක්තෝම්බර් 31. ඒ කාලේ යාළුවෙක් එක්ක මගේ වාහනේ කැසට් ටික දාගෙන කැසට් කවර වීදුරු වටේ එල්ලගෙන කඩවල්වලට යනවා. කැසට් 5ක් වගේ තමයි මුළින් දැම්මේ. තව තැනකට ගියාම "අයියෝ මේක එපා වැඩක් නෑ" කියනවා. සමහර කඩවලින් දෙකක් වගේ ගත්තා. ඒ කැසට් වලට ලැබෙන්නේ පොඩි ගාණක්. සල්ලි එකතු කරන්න ගියහම සමහර අයගෙන් ලැබුණා. අදටත් මුදල් නොගෙවපු සහ මම ගන්න නොගිය කඩවල් තියෙනවා. තවමත් ඒ කඩවල්වල නම් ලියපු පොත මං ළඟ තියෙනවා.

* ඔබේ ජනප්‍රියත්වය අදටත් වෙනස් නොවීමේ රහස?

වාසනාව කියන වචනේ පාවිච්චි කරන්න මම කැමැති නැහැ. එය ආශිර්වාදයක් හෝ නොමිලයේ ලැබෙන තෑග්ගක් මිසක් තමන් ආයෝජනය කරලා උපයගත් දෙයක් නෙමෙයි. මට හිතෙන විදිහට මුල්ම හේතුව දේව කරුණාව. අනෙක මම මිනිසුස්නට දක්වන ආදරය. මා ගැන විශ්වාසයක් මිනිස්සු තුළ ඇති.

* ඔබට චිත්‍ර අඳින්නත් පුළුවන්?

ඔව්. ඒ හැකියාව පොඞ්ඩක් තියෙනවා.

* ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹෙන කාලයේ විදෙස් ගත වීමට ඔබ ගත් තීරණය ගැන අද ඔබට දැනෙන්නේ?

මගේ පවුල වෙනුවෙන් මම ඒ තීරණය ගත්තේ. මෙහෙ හිටියා නම් දරුවන්ගේ අධ්‍යාපනය පවා අඩ පණ වෙන කාරණා ගොඩක් තිබුණා. ඒ නුවෙන් මම සහ චන්ද්‍රලේකා අපේ ජීවිත කැප කළා.

* ඇමරිකාවේ ගත කරපු ජීවිතය සුන්දර නොවෙන්න ඇති?

ගොඩක් කටු කෑවා. මම මුළින්ම නඩත්තු කිරීමේ ආයතනයක පිරිසුදු කිරීම් කටයුතු කළා. පස්සේ පල්ලියක ඕගන් වාදකයෙක් විදියට වැඩ කළා. කාලෙන් කාලෙට මෙහෙ ඇවිත් උපයන මුදලින් තමයි අපි එහේ ජීවත් වුණේ.

* ඒ කැප කිරීමේ ප්‍රතිඵල අද අත්විඳිනවාද?

අපි බලාපොරොත්තුවන විදියට ලැබෙන්නේ නැහැ. රයිනි ගුවන් නියමුවරියක් වෙන්න හිටියේ. අවසානෙදි ඇගේ ආදර සබඳතාව නිසා ඒ අරමුණ වෙනස් වුණා. අපිට මොකවත් කියන්න බෑ. ඇය මගේ ලොකු දුව. අපි ඇය වෙනුවෙන් ඉන්නවා. හැබැයි තාත්තා කෙනෙක් විදියට මට ඒ වෙලාවේ සතුටු වෙන්නත් බැහැ. නමුත් ඒ ප්‍රශ්නේ මගේ ඔලූවේ තියාගෙන ජීවත් වුණොත් මට මාව බලා ගන්න බැරි වෙනවා.

* ඔබ දැන් දේශපාලනයෙන් බැහැර වෙලාද?

දැනට බැහැර වෙලා ඉන්නේ. අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. දේශපාලනය කියන්නේ මගේ ඇඟේ තියෙන එකක්. වෙනස් විය යුතු දේවල් තියෙනවා. ඒ වෙනස කළ යුතුයි.

* ඔබට ඒ වෙනස කළ හැකි යැයි විශ්වාසද?

අනිවාර්යෙන්ම. මම ලබපු දැනුම, මා වටා ඉන්න පිරිස, ඔවුන්ගේ දැනුම සහ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ලැබුණු අවබෝධය සමඟ මට හොඳ දර්ශනයක් තියෙනවා. එය මම දෙවියන්ට භාර දීලා තියෙන්නේ.

* මෙවර ඔබ ලංකාවට එන්නේ ස්ථීර පදිංචියටමයි?

ඔව්. එය අපේ දිගු කාලීන සැලැස්මක්. අපි එන්න හිටියේ දෙසැම්බර්. නමුත් චන්ද්‍රෙල්කාගේ මව අසනීප වුණු නිසා ඒ ගමන ඉක්මන් වුණා. වින්ඩි උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළා. ඉතින් ඇයත් කරදර කළා ඉක්මණට යමු කියලා.

* ඔබට ජීවිතයේ ලැබුණු වටිනාම දායාදය?

චන්ද්‍රලේකා සහ දරුවෝ දෙන්නා. ඇයට දුර පේනවා හොඳට. ඇය මට කළින් මේ ක්ෂේත‍්‍රයේ දරුණු තැන්වලට ගිය කෙනෙක්. මම වැරදි තීරණයක හිටියොත් හොඳින් හරි බැනලා හරි ඒ වැරැද්ද පැහැදිලි කරනවා. මම ඉස්සර මත්පැන් භාවිත කළා. හැබැයි ඒ පුරුද්දෙන් මගේ අනාගතයට වෙන හානිය පෙන්නලා දීලා අදටත් සිමාවේ රැඳෙන්නේ මම පුරුදු වුණේ ඈට ස්තුති වන්ත වෙන්න.

* ඒ ප්‍රේම කතාවේ අභියෝග තියෙන්න ඇති?

අනිවාර්යෙන්ම. අපි බැන ගන්නවා. හිත් රිදීම් වෙනවා. තරහ වෙලා කතා නොකර ඉන්නවා. හැබැයි ඒවා දුර දිග යන්නේ නැහැ. ටික වෙලාවකින් කිසිම දෙයක් නෑ වගේ දෙන්නම කතා කරනවා.

* ඔබ සංවේදි වූ අවස්ථා?

අපිට කරදර වුණු අවස්ථාවලදී මම එක දෙයක් ඉගෙන ගත්තා. අපි අසරණ වුණොත් මිනිස්සු ඒ අසරණ කමෙන් තව තවත් තලන්න වට්ටන්න උත්සාහ කරනවා. නමුත් ඊට මුහුණ දෙන්න සහ දරාගන්න මං ළඟ තියෙන්නේ දේව විශ්වාසය. මේ මුලු විශ්වයටම පණ තියෙනවා. අයිති කාරයෙක් ඉන්නවා. ඒ අයිතිකාරයා කෙරෙහි මම විශ්වාස කරනවා. ඒ අයිතිකරුටයි මම දෙවියන් වහන්සේ කියන මැවුම්කරු කියන්නේ.

* මතු පරපුරට ඔබේ දැනුම ලබා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

ඔව්. ඒ මගේ ඉදිරි එක් සැලැස්මක්. වැඩි කල් නොයවා සංගීත ඇකඩමියක් පටන් ගන්න සූදානමක් තියෙනවා.

* හෙට දවසේ ඔබේ දැක්ම?

ජීවිතේට ආපූ කරදර බාධක ඕනෑ තරම්. ඒ අතීතය මතක් කළහම මට අද සුන්දරයි. අද දවසේ සුනදරත්වය අපිට තේරෙන්නේ හෙට දවසෙයි.

ටානියා මෝසස්
ඡායාරූප-ගයාන් කරුණාරත්න

නව අදහස දක්වන්න