සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කළ සත්ජන මහා සත්‍ය ක්‍රියාව | දිනමිණ

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කළ සත්ජන මහා සත්‍ය ක්‍රියාව

නිර්මල සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ අධිෂ්ඨානයෙන් 'සත්ජන සමාජ සංවර්ධන පදනම' සොළොස්මස්ථාන සහ මහනුවර ශ්‍රී දළඳා මන්දිරයේ දී එක් දින එකම හෝරාවක සත්‍ය ක්‍රියාවක් උසස් අයුරින් සිදු කළ අතර මේ මහා පුණ්‍ය කර්මයට ගිහි පැවිදි අති විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.

පසුගිය 22, 23 දෙදින මේ සත්ජන ආධ්‍යාත්මික සත්‍ය ක්‍රියාව සිදු කරන ලද්දේ මහියංගනය, නාගදීපය, කැළණිය, ශ්‍රී පාදස්ථානය, දිවාගුහාව, දීඝවාපිය, මුතියංගණය, තිස්සමහාරාමය, ජය ශ්‍රී මහා බෝධිය, මිරිසවැටිය, රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනාරාමය, මිහින්තලේ, සේල චෛත්‍ය, කතරගම, කිරි වෙහෙර ආදී සොළොස්මස්ථාන සහ මහනුවර ශ්‍රී දළඳා මන්දිරයේය.

මේ අසදෘශ මහා පුණ්‍ය කර්මය එකම දිනක එකම හෝරාවක ඉෂ්ට කිරීමට දෙමසකට පමණ කාලයක් පන්සිල් ආරක්ෂා කරමින් නිර්මාංශව පේවී සිටි සැදැහැවත් දායක පිරිස් ඒ ඒ සිද්ධස්ථානවලට යොදවා තිබීම සත්ජන සමාජ සංවර්ධන පදනම සිදු කළ සුවිශේෂ කාර්යභාරයකි. මේ සත්‍ය ක්‍රියාවට අමතරව 22 වැනි දින රාත්‍රී 8.00 සිට 9.00 දක්වා සොළොස්මස්ථානයට අයත් සිද්ධස්ථාන දහසයේම එකම වේලාවට මහ සඟ රුවන විසින් කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කළ අතර පසුදින (23) උදෑසන 6.00ට ආලෝක පූජාව එකවර ඉතා උසස් අයුරින් සිදු කෙරිණි. පංචසීල ප්‍රතිපදාව මත පිහිටා ආධ්‍යාත්මික සත්‍ය ක්‍රියාව සිදු කරන ලද්දේ ආලෝක පූජාවෙන් පසුවය.

පිළිවෙත් පුරන සම්බුදු සසුනේ චිරස්ථිතියට කැමති සුදු වතින් සැරසුණ සැදැහැවතුන් අති විශාල පිරිසක් මේ දින දෙකේ පැවති මහා පුණ්‍ය කර්මයට සොළොස්මස්ථානයට හා ශ්‍රී දළඳා මාළිගයට එක් රැස් වූ බව සත්ජන උත්තර මණ්ඩලයේ ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා ශ්වෙන්ජින් නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී කුකුල්පනේ සුදස්සී හිමි පැවැසූහ.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසාත්, මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසාත් මේ පදනම වාර්ෂිකව සංවිධාන කර ඇති, සංවිධානය කරනු ලබන පුණ්‍ය කර්ම බොහෝ ය. 'බුද්ධ ශාසනයට බාහිරින් හා අභ්‍යන්තරයෙන් පැමිණෙන උවදුරු දුරු වී සම්බුදු සසුනත්, ලක් දෙරණත් සුරක්ෂිත වේවායි' ප්‍රාර්ථනයෙන් දිවයින පුරා විහාරස්ථාන රැසක වාර්ෂිකව කඨින පින්කම් සිදු කරනු ලැබේ.

2014 වසරේ විහාරස්ථාන 110ක් ද, 2015 වසරේ විහාරස්ථාන 130ක් ද, 2016 වසරේ විහාරස්ථාන 150ක් ද, 2017 වසරේ විහාරස්ථාන 175ක් ද සංවර්ධන කළ අතර මේ වසරේ දී දිවයිනේ නොදියුණු විහාරස්ථාන 120ක සංවර්ධන කටයුතු සිදු කොට කඨින පින්කම් සිදු කිරීමට සත්ජන සමාජ සංවර්ධන පදනමෙන් සද්ධා සම්පන්න දායක පිරිස් යොදවා තිබීම විශේෂත්වයකි.

දැනට භාවිතයේ පවතින පිරුවානා පොත්වල මුද්‍රණ දෝෂ බොහොමයක් දක්නට ඇති බව පැවසේ. මේ නිසා පිරිත් දේශනයට උනන්දු කරවීම හා පිරිතේ ගුණාත්මක බව රැකෙනු පිණිස අක්ෂර දෝෂ විරහිතව මුද්‍රණය කරන ලද පිරුවානා පොත් වහන්සේ දිවයිනේ සියලුම විහාරස්ථානවලට පූජා කිරීමට ද සත්ජන සමාජ සංවර්ධන පදනම කටයුතු කිරීම මහා පුණ්‍ය කර්මයකි. මෙය 2017 වසරේ සිට ක්‍රියාත්මක වන උතුම් ධර්ම දානයකි.

මනුෂ්‍යත්වයේ ගරුත්වය විමසිලිමත්, සමානාත්මතා සත්ජන සමාජයක් බිහි කිරීම සත්ජන සමාජ සංවර්ධන පදනමේ දැක්ම වේ. කායික, මානසික, ආධ්‍යාත්මික, පාරිසරික ස්වස්ථතාව හා සංවර්ධනය උදෙසා සහ සොබාදම් පිළිවෙතක පිහිටා ක්‍රියාකාරී වීම මේ පදනමේ සත්ජන මෙහෙවර වේ.

සත්ජන සමාජ සංවර්ධන පදනම විසින් නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් වලට නිවාස ඉදිකරදෙන ‘හිසට සෙවණක්’ වැඩසටහන 2010 වසරේ සිට ඇරැඹූ සමාජ සත්කාරයකි. පානීය ජල පහසුකම් නැති ගම්මාන සහ විහාරස්ථානවලට ජල පහසුව සැපයීම හා වකුගඩු රෝගයෙන් පෙළෙන ප්‍රදේශවලට ජල පිරිපහදු සවි කිරීමේ වැඩසටන 2014 වසරේ සිට අරඹන ලදී.

දුෂ්කර ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල්වලට කිරිගවයන් බෙදාදීම අරඹන ලද්දේ 2016 වසරේ දීය. පාසල් උපකරණ අලුත්වැඩියා කිරීම්, නිවාස ඉදිකිරීම් ආදිය‍ෙ සත් ජන ශ්‍රම දායකත්ව වැඩසටහනක් ද 1990 වසරේ සිටම ක්‍රියාත්මක වෙමින් පවතී. දුෂ්කර ගම්මානවල වෙසෙන දෙපා වාරු නැති මවුපියවරුන්ට සහ ආබාධිත පුද්ගලයන්ට රෝද පුටු පරිත්‍යාග කිරීම 2015 වසරේ සිට සිදු කෙරෙන්නකි. අඩු ආදායම්ලාභී පවුල්වලට ස්වයං රැකියා අවස්ථා උදා කර දෙමින් මහණ මැෂින් බෙදාදීම 2014 වසරේ සිට ක්‍රියාත්මක කෙරේ.

'දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ' මිනිසත් භව ලැබීම දුර්ලභය. ඒ දුර්ලභ වූ මනුෂ්‍යත්වභාවය තමන්ට මෙන්ම අනුන්ට ද හිත වැඩ පිණිස පවත්වාගෙන යෑම ඊටත් වඩා දුර්ලභ කරුණකි. ඉතා වේගයෙන් මිනිසුන් තුළ මනුෂ්‍ය ධර්ම පිරිහෙමින් පවත්නා මෙබඳු යුගයක, මනුෂ්‍යත්වයේ ගරුත්වය සුරැකීමට පුද්ගලයන් වශයෙන් මෙන්ම කණ්ඩායම් වශයෙන් ද කැපවීම අත්‍යාවශ්‍යය.

එම අවශ්‍යතාව මීට දශක තුනකට ඉහත දී හඳුනා ගත් පී. කේ. යූ. අදිකාරම් මහතා 'මනුෂ්‍යත්වයේ ගරුත්වයට විමසිලිමත් සමානාත්මතා සත්ජන සමාජයක්' ගොඩනැඟීමේ උදාර පරමාර්ථය ඇතිව සත්ජන සමාජ සංවර්ධන පදනම ආරම්භ කිරීම අති ප්‍රශංසනීයයි. යැයි මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා නායක මාහිමි එම පදනම වෙනුවෙන් නිකුත් කර ඇති ආශිර්වාද පණිවුඩයේ සඳහන් වේ.

'විවිධ අරමුණු හා පරමාර්ථ ඇතිව ආරම්භ කෙරෙන සමාජ සේවා සංවිධාන අතර සත්ජන සමාජ සංවර්ධන පදනම තරමක් වෙනස්ය. එයට හේතුව තමන් තුළ මනුෂ්‍යත්වය අවදි කරමින්, අන්‍යයන් තුළ මනුෂ්‍යත්වය අවදි කරවීමට කැපවෙන සංවිධානයක් වීමය. ඒ සඳහා භාවිතයට ගන්නා ප්‍රධාන උපාය මාර්ගය වනුයේ සහභාගීත්ව සංවර්ධන න්‍යායයි. එනම් බෝසත් උපාය මාර්ගයයි. බෝසත්වරු සසර පුරාවට අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් කැප වෙති. එයම උන් වහන්සේලාට දුර්ගුණ දුරු කරන, යහ ගුණ වඩන උපාය මාර්ගය ද වෙයි.

සැවොම සම්බුදු බව නොපැතුවද සැමදෙනාම ඒ මඟ යන්නෝ වෙති. සොබාදහම් මඟ බොහෝ දෙනා සිතන ක්‍රමයට වඩා තරමක් වෙනස්ය. අනුන්ගේ යහපතට කැමති වන විට තමන්ට යහපත වෙයි. අනුන් රකින්නට අවංකව කැප වන විට තමන් රැකෙයි. එය සොබා දහමේ රීතියයි. එම සොබා දම් රීතිය සමඟ සහ සොබා වෙමින් තමන් වැඩෙන අතර අන්‍යයන්ට ඒ මඟ පෙන්වා දෙන වැඩපිළිවෙළ සත්ජන ප්‍රතිපදාවයි.

කලින් කල මනුලොව ගුණදම් අවදිකරනු පිණිස යුග පුරුෂයෝ පහළ වෙති. තිස් වසරකට ඉහතදී සමාජය ගිනි ගත් මොහොතක ආත්මාර්ථ පරාර්ථ සාධනයෙහිලා මේ උපාය මාර්ගය ක්‍රියාවට නංවමින් සත්ජන සමාජ සංවර්ධන පදනම නිර්මාණය කළ පී. කේ. යූ. අදිකාරම් නැමැති සත්පුරුෂයා එබඳු යුග පුරුෂයෙක්. යැයි සත්ජන උත්තර මණ්ඩලයේ ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා ශ්වෙජින් නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරීකුකුල්පනේ සුදස්සී හිමි පැවැසූහ. මේ පදනමේ දායකත්වය ලබා ගත් දායක පිරිස්වලින් දායක මුදල් අය නොකිරීමද තවත් විශේෂත්වයක් බව උන් වහන්සේ සඳහන් කළහ.

සත්ජන සමාජ සංවර්ධන පදනමේ සාමාජිකත්වය ලබාගැනීමට, සත්ජන සමාජ සත්කාරක සේවාවන්ට දාය වීම සඳහා සත්ජන සමාජ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වීමට, ශතාධික කඨින පින්කම් මාලාවට සම්බන්ධ වීමට හෝ දායකත්වය ලබා ගැනීමට, පිරුවානා පොත් වහන්සේලා මුද්‍රණයට දායක වීමට, ඔබ සතු විශේෂ කුසලතා හෝ දැනුම බෙදාහදා ගැනීම 'සත්ජන සමාජ සංවර්ධන පදනම' අංක 28, සත්සෙවන, පෝරුවදණ්ඩ ලිපිනයෙන් වැඩි විස්තර විමසා දැන ගත හැකිය.

 

සටහන හා ඡායාරූප
සේනපුර ඩී. නිශ්ශංක- අනුරාධපුර නැඟෙනහිර සමූහ 

PDF File: 

නව අදහස දක්වන්න