“කුපිත වූ ජනතාව!” | දිනමිණ

“කුපිත වූ ජනතාව!”

කුපිත වූ ජනතාව නමින් අලුත් යෙදුමක් සමාජයට එකතු වී ඇත. ජනමාධ්‍ය මේ යෙදුම බහුලව භාවිත කරයි. කුපිත වූ ජනතාව දුම්රිය ස්ථානවලට පහර දෙති. කුපිත වූ ජනතාව පොලිසියට කඩා වදිති. කුපිත වූ ජනතාව රෝහලට පහර දෙති. කුපිත වූ ජනතාව මුලතිව්හි විරෝධතාවක යෙදෙති. කුපිත වූ ජනතාව වනජීවි නිලධාරින්ට පහර දෙති. යනුවෙන් නිතර අසන්නට දකින්නට ලැබේ. ගැටලුව වන්නේ මෙලෙස කුපිත වී පහර දෙන්නේ ජනතාව ද නැතහොත් ජනතාවගෙන් කෑල්ලක් ද යන්න ය. එසේ නැතහොත් මෙලෙස පහර දෙන්නෝ විශේෂිත කණ්ඩායම්ද යන්න ය. කෙසේ වුවද කුපිත වූ පමණින් පහරදීමට අයිතියක් කිසිවකුට නැත.

ගලහ සිද්ධියේදී කිසියම් කණ්ඩායමක් රෝහල් සේවක මණ්ඩලයට පහර දෙන්නට ගියේ ය. රෝහලට අලාභ හානි කළේ ය. මෙය යුක්තිසහගත යැයි කිව නො හැකි ය. රෝගියාට ප්‍රතිකාර කිරීමේදී යම් ප්‍රමාද දෝෂයක් සිදුවූයේ නම්; ඊට ලබාදිය යුතු පිළිතුර පහරදීම නො වේ. මේ පහරදීම නිසා විශාල අවුලක් සිදුවී ඇත. වෛද්‍ය සංගමය කියන ලෙස එම රෝහලේ සේවය සඳහා වෛද්‍යවරුන් මැදිහත් වන්නේ ආරක්ෂාව තහවුරු කළාට පසුව ය. මේ තත්ත්වය වෛද්‍ය වැඩ වර්ජනයක් කරා ව්‍යාප්ත වන්නටත් පුළුවන. එවැන්නක් සිදුවුවහොත් එහි පාඩුව ද ජනතාවට ය.

මීට දින කිහිපයකට ඉහතදී වනජීවි නිලධාරින් කිහිපදෙනෙකුට පහර දී ඇත්තේ කුපිත වූ ජනතාවක් නො වේ. මැර ප්‍රහාරය සිදුකර ඇත්තේ වනෝද්‍යානවල හොර ජාවාරම්වල යෙදෙන කණ්ඩායමකි. මේ කණ්ඩායම වන විනාශයට සම්බන්ධ බව හෙළිදරව් වී තිබේ. වනෝද්‍යාන කිහිපයක් තාවකාලික ලෙස වසා දමන්නට සිදුවිණි. වනජීවි නිලධාරිහු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාව පළ කරති. මෙය තවත් සිදුවීම් මාලාවක ආරම්භයක් විය හැකි ය. ඒ හැරත් වනෝද්‍යාන තාවකාලික ලෙස වසා දැමීම නිසා පාර්ශ්ව කිහිපයකට පාඩුවී ඇත. දැන් එම උද්‍යාන විවෘත කර ඇතත්; සිදුවු පාඩුව පියවන කෙනකු නැත.

දුම්රිය වැඩ වර්ජනයක් සිදුවන බොහෝ අවස්ථාවලදී මගීහු කෝපයට පත් වෙති. එම කෝපය මුදා හැරෙන්නේ දුම්රිය ස්ථානයක දේපොළ හරහා ය. නැතහොත් දුම්රියක පෙට්ටි හෝ එන්ජින් හරහා ය. මෙලෙස සිදුවූ අලාභ හානි ගැන සටහනක් නැත. මේවා නැවත ස්ථාපනය සඳහා වැය වන්නේ රජයේ මුදල් ය. රජයේ මුදල් යනු ජනතාවගේ බදුවලින් උපයාගන්නා දේවල් ය. පොදු දේපොළවලට පහර දෙන කිසිවකු මේවා තමන්ගේ දේපොළ බව සිතන්නේ නැත. පෙරළා මේවාට ගෙවිය යුත්තේ ජනතාව බව ද ඔවුන්ගේ කල්පනාවට එන්නේ නැත. ජනතාව හෝ කිසියම් කණ්ඩායමක් හෝ නීති-විරෝධී ලෙස හැසිරෙන්නේ නම්; ඊට දඬුවමක් ද තිබිය යුතු ය.

රටක ජනතාවගේ විනයගරුකභාවය හෙවත් ශික්ෂණය එම රටේ ඉදිරි ගමන තීන්දු කරන ප්‍රධාන සාධකයක් ලෙස පවතී. විනය හෙවත් ශික්ෂණය යන්නෙන් අදහස් කරන්නේ නීතියට ගරුකරන සදාචාරවත් මිනිසෙකි. නැතහොත් එබඳු සමාජයකි. ලෝකය පිළිගත් ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය ඊ. එෆ්. ෂුමාකාර් කියා සිටින්නේ ජාතියක් සතු විනය, දැනුම හා කුසලතාව සංවර්ධනයට අදාළ ප්‍රධාන සාධක බව ය. කොයි අතින් බැලූව ද හෘද සාක්ෂියට එකඟ ව ජීවත්වන සමාජයක් අපේ රට තුළ දකින්නට නැත. ප්‍රභූ සමාජයේ සිට පාතාල සමාජය දක්වා ප්‍රෝඩාව, මැරකම, හොරකම පැතිර පවතී. පුදුමයකට මෙන් ඇතැම් සමාජ කණ්ඩායම් තම ප්‍රෝඩාව සාධාරණීකරණය කිරීමටද ඉදිරිපත් වෙති.

දේශපාලනවාද, කල්ලිවාද, පන්තිවාද, ජාතිවාද, ආගම්වාද මේ තත්ත්වය වර්ධනය කරන බවක් ද පෙනෙන්නට තිබේ. සමහර දේශපාලන පක්ෂ ජනතාව කුපිත වන තරමට කැමැති ය. ඔව්හු ඒ සඳහා විවිධ උප්පරවැට්ටි ද යොදති. ජාතිවාදයට ගිනිලන තැනැත්තෝ තම ජාතියට සලකති. අන් ජාතිවලට කෙනෙහිලිකම් කරති. මෙයින් පාර්ශ්ව දෙක ම කුපිත වෙති. ආගම්වාදය ක්‍රියාත්මක වන්නේ ද එසේම ය. සමහරු තම පන්තිය හා වෘත්තිය ආරක්ෂා කර ගැනීමට වර්ජන කරති. තර්ජන කරති. මේවා මත තවත් කණ්ඩායම් කුලප්පු වෙති. මේ අයුරින් සෑම තැනෙක ම පාහේ දකින්නට ලැබෙන්නේ එකිනෙක කණ්ඩායම් කුලප්පු කරන සාධක ය.

සමස්තය දෙස බලනවිට පෙනී යන්නේ ජනතාව නීතිය අතට ගන්නා තැනකට යමින් සිටින බව ය. මෙය එක අතෙකින් භයානක ය. තව අතෙකින් එය විග්‍රහ කළ හැක්කේ මිනිස් ශිෂ්ටාචාරයේ මුලට හෙවත් ගෝත්‍රික අවධියකට යෑමක් ලෙස ය. නැතහොත් පල්ලම් බැසීමක් ලෙස ය. මේ තත්ත්වය ඉබේ පහළ වූවක් නො ව; දේශපාලනය විසින් කෘත්‍රීම ලෙස ඇතිකරනු ලබන්නක් බව පෙනී යයි. මේ විනාශය වහා ම වැළැක්විය යුතු ය. වැළැක්වීමට ඇති හොඳ ම උපාය මාර්ගය වන්නේ නීතිය තදින් ක්‍රියාත්මක කිරීම ය. නීතියට මේ කියන විශේෂ සාධක අදාළ නැත. දේශපාලනය, ජාතිවාදය, ආගම්වාදය, කුලභේදය, පන්ති භේදය යන කිසිවක් නීතියට අදාළ නැත. නීතිය හමුවේ සියල්ලෝ ම සමාන වෙති.

ගලහ සිද්ධියේදී ජනතාව සාධාරණ යැයි කෙනකු තර්ක කරන්නට පුළුවන. එහෙත් නීතිය ඉදිරිපිට එම තර්කය පිළිගත නො හැකි ය. රෝහල් කාර්ය මණ්ඩලය වැරැදි නම්; එය පරීක්ෂණයක් මඟින් තහවුරු කළ යුතු ය. දැන් එබඳු පරීක්ෂණයක් පැවැත්වෙයි. සියල්ලට පළමුව ජනතාව රෝහල් කාර්ය මණ්ඩලයට පහරදීමට යෑම, තර්ජනය කිරීම, රෝහලට අලාභ හානි සිදුකිරීම යන සියල්ලම වැරැදි ක්‍රියාවන් ය. ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු ය. නීතිය ක්‍රියාත්මක නො කර සමාජය සදාචාරාත්මක කළ නො හැකි ය. එලෙස ම මේ මොහොතේ පාලකයන් හැඟුම්බර වන්නේ නම්; එයත් වැරැදිය.

එකිනෙක පුද්ගලයා නීතිගරුක ලෙස ජීවත්වන්නේ නම්; සදාචාරවත් සමාජයක් බිහිවෙයි. එවිට කුපිත වී විවිධ විනාශ සිදුකිරීමට අවශ්‍ය නොවනු ඇත. පාලක පක්ෂය නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා උපරිම වෑයමක් දරා ඇති බැවින් කුපිතවීමට හේතුවක් ද නැත. සිදුවිය යුත්තේ බලපෑම්කාරී බලවේගවලට යටත් නො වී සිටීම ය. අප මුලින් ද සඳහන් කළ පරිදි ජනතාව කුපිත කිරීමේ විවිධ බලවේග ක්‍රියාත්මක වෙයි. සමාජය ඊට ගොදුරු වුවහොත් පෙරළා වන්දි ගෙවීමට සිදුවන්නේ ද ඔවුන්ටමය. මෙහි අර්ථය වන්නේ ජනතාව බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව ක්‍රියා කළ යුතු අවධියක් උදාවී ඇති බව ය.

 

 

 


නව අදහස දක්වන්න

Or log in with...