නොහැකියාව වසා ගැනීමට ජාතිවාදය අවුස්සනවා | දිනමිණ

නොහැකියාව වසා ගැනීමට ජාතිවාදය අවුස්සනවා

බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි

මේ රටේ ඇතැම් දුර්වල පාලකයන් තම නොහැකියාව වසාගැනීමට ජාතිවාදය අවුස්සමින් ජනතාව නොමඟ යවන බවත්, උතුරු පළාත් මහ ඇමැතිවරයා ද මේ අන්දමින් උතුරේ ජනතාව නොමඟ යවන බවත් සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

උතුරේ යුද ස්මාරක ඉවත් කළ යුතු යැයි විග්නේෂ්වරන් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධව පෙරේදා (29) පැවැති කැබ්නට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

උතුරේ ජනතාවට විග්නේෂ්වරන් සිතන දේවල්වලට වඩා ප්‍රශ්න තිබෙනවා. උතුරේ ජනතාව තිස් වසරක යුද්ධයෙන් බැට කෑවා. මේ අයට තිබූ විශාලම ගැටලුව වන්නේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවයි. මේ ප්‍රශ්නයෙන් දැන් රජය 80%ක ප්‍රමාණයක් විසඳා තිබෙනවා.

උතුරේ ධීවරයන්ට තිබූ විශාලම ගැටලුව මයිලිඩ්ඩි ධීවර වරාය නාවික හමුදා භාරයේ පැවතීමයි. පසුගිය සතියේ ඒ ප්‍රශ්නය ද නිරාකරණය කරමින් එම ධීවරයන්ට මයිලිඩ්ඩි ධීවර වරාය පවරා දුන්නා.

ත්‍රස්තවාදයට සම්බන්ධ වී යැයි සැක කරමින් දමිළ සිරකරුවන් රැසක් අද මෙරට බන්ධනාගාරවල සිටිනවා. ඔවුන්ගේ නඩු කටයුතු ඉක්මන් කරමින් ඒ අයට ද විසඳුම් ලබා දිය යුතුයි. ඒ හැරුණු විට මේ ජනතාවට තුන්වේල කන්නට බාධා පැමිණෙන විරැකියාව ඇතුළු ප්‍රශ්න රැසක් තවමත් උතුරේ තිබෙනවා. රජයක් වශයෙන් අප ඒ ගැන වගකීමෙන් කටයුතු කරන විට තුන්වේල කාලා හොඳට සිටින විග්නේශ්වරන් උතුරේ යුද ස්මාරක ප්‍රශ්නයක් කරගෙන ජාතිවාදය අවුස්සනවා. මධ්‍යම රජය උතුරේ ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති මුදලවත් උතුරු පළාත් සභාව නිසි ලෙස සංවර්ධනයට වැය කර නෑ.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා

උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමට ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කර තිබෙනවා. එය දෙවන වරට ද රැස් වී උතුරු නැඟෙනහිර දේශපාලකයන් මුණගැසී එම ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළා. එම බළකාය තව සති තුනකින් තෙවන වරට ද රැස් වෙනවා. මේ කරුණු කිසිවක් නොවිමසා ජාතිවාදී හැඟීම් අවුස්සන ප්‍රකාශ සිදු කිරීම කනගාටුවට කරුණක්.

ඡායාරූපය- වාසිත පටබැඳිගේ

 

නව අදහස දක්වන්න