ශ්‍රී ලංකා-මියන්මාර් වෙළෙඳ ගිවිසුම ශක්තිමත් වෙයි | දිනමිණ

ශ්‍රී ලංකා-මියන්මාර් වෙළෙඳ ගිවිසුම ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා - මියන්මාර් ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම නැවත සක්‍රීය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟ වෙති.

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මියන්මාර් ජනාධිපති වින් මයින්ට් මහතා අතර හමුවක් ඊයේ (30) පෙරවරුවේ කත්මණ්ඩු නුවර දී පැවැත්වුණු අතර, එහිදී නායකයන් මේ පිළිබඳ සාකච්ඡා කළහ.

ශ්‍රි ලංකාව සහ මියන්මාරය අතර වෙළෙඳ කටයුතු පහසු කර ගනු වස් 1999 වසරේ දී මෙම වෙළෙඳ ගිවිසුමට එළැඹිනි. ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති මියන්මාර් - ශ්‍රී ලංකා ද්වි පාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයන්ගේ විශේෂ අවධානය යොමු වූහ.

දෙරටම ථෙරවාදී බෞද්ධ දර්ශනය සහිත රටවල් වීමත්, කෘෂිකර්මය මුල් කරගත් ආර්ථික රටාවකට හිමිකම් කීමත් යන කරුණු මත දෙරට අතර සමානකම් රැසක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අනුව දෙරටේ සබඳතා ඉතා පහසුවෙන් ශක්තිමත් කර ගැනීමේ හැකියාව පවතින බව ද කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා මියන්මාර් ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ මෙහීදී අගය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව මියන්මාරයේ අවංක මිතුරෙකු ලෙස ජාත්‍යන්තර වේදිකාවේ දී අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවක් වූ අවුන් සා සුකී මහත්මියගේ වැඩපිළිවෙළ පිළිබඳ ද සිහිපත් කළ ජනාධිපතිතුමා 2016 වසරේ දී එතුමිය හමු වු අවස්ථාව ද සිහිපත් කර සිටියේය. අද ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබද ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා නැවත රටේ යුද්ධයක් ඇති නොවන අයුරින් සංහිඳීයාව ශක්තිමත් කිරීම තම ප්‍රමුඛ වගකීමක් සේ ඉටුකරන බව ද කියා සිටියේය. එමෙන්ම 19වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, ජනාධිපති ධූරයේ අසීමිත විධායක බලතල පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ ආකාරය ජනාධිපතිතුමා සිහිපත් කළේය.

2015 වසරේ දී තමා කළ ඉල්ලීම පරිදි මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට ඇත් පැටවකු ලබදීමට ගත් පියවර පිළිබඳ ද මෙහිදී මියන්මාර් ජනාධිපතිවරයා වෙත සිය කෘතවේදීත්වය පළ කළ ජනාධිපතිතුමා ශ්‍රී ලාංකීය ජනතාවගේ මුදුන් මල්කඩ වන ඓතිහාසික දළදා සමිඳුන් වැඩ වෙසෙන දළදා මාලිගාව වෙත එම ඇත් පැටවා පුජා කරමින් , පුලතිසි රාජා, නමින් එම ඇත් පැටවාට නම තැබීමට කටයුතු කළ බව ද සිහිපත් කළ අතර, ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක එම ඇත් පැටවා දැක බලා ගැනීමට පැමිණෙන්නැයි ද මියන්මාර් ජනාධිපතිවරයාට ආරාධනා කළේය.

නව අදහස දක්වන්න