වේරපොළ නිවසක හොර උකස් මධ්‍යස්ථානයක් | දිනමිණ


 

වේරපොළ නිවසක හොර උකස් මධ්‍යස්ථානයක්

වාරියපොළ වේරපොළ ප්‍රදේශයේ නිවසක බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය උකස් මධ්‍යස්ථානයක හිමිකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ. වාරියපොල පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු 29 දින වාරියපොළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම කර තිබේ. සැකකරු සතුව ඔහුගේ නිවසේ තිබී යතුරුපැදි 24ක්, ත්‍රිරෝද රථ හතරක් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉන් පසු ලද තොරතුරුවලට අනුව විවිධ ප්‍රදේශවල සඟවා තිබූ යතුරුපැදි හතරක් ත්‍රිරෝද රථ දෙකක් සහ ලොරි රථයක්ද වාරියපොළ පොලිසියේ රථවාහන අංශය මඟින් පසුව සොයාගෙන ඇත. සැකකරු විසින් මෙලෙස තැන තැන සැඟවූ රථවාහන පිළිබඳ තොරතුරු තවදුරටත් ලැබෙමින් පවතින බව පොලිසිය සඳහන් කරයි. යතුරුපැදි රඳවා තබාගෙන මුදල් අවශ්‍යතා ඇති අයට මුදල් ලබා දෙන බව සැකකරු ප්‍රකාශ කළත් මොහු වෙනත් ජාවාරමකට සම්බන්ධ අයකු ද යන්න පිළිබඳ මේ වනවිට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඉදිරියේ දී මොටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා වාහනවල හිමිකරුවන් සොයා බැලීමට පොලිසිය කටයුතු යොදා ඇත. මේ වාහන සොරාගත් ඒවා හෝ විවිධ අපරාධ සඳහා යොදාගත් ඒවා ද යන්න පිළිබඳවත් පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ ස්ථානය පිළිබඳ පොලිසියට අවස්ථා කිහිපයකදී පැමිණිලි ලැබී තිබීම හේතුවෙන් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත කුරුණෑගල කොට්ඨාසය 1 භාර පොලිස් අධිකාරී සමන් දිසානායක මහතාගේ අධීක්ෂණයෙන් වාරියපොළ පොලිසියේ ස්ථානාධිපති නිලන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකර තිබේ. ඒ සඳහා උපොප නිමල් කුමාරසිංහ, උපොප ජයවීර, උපොප සරංගුහේවා, පොලිස් සැරයන් වරුන් වන 55038 විජේරත්න, 24597 සමරවීර, 29568 සංජීව, පොලිස් කොස්තාපල් වරුන් වන 35390 ධර්මපාල, 54751 සමරකෝන්, 34202 වන්නිතිලක, 31330 රණතුංග, 86152 බණ්ඩාර, 35390 සමන්සිරි, 44662 අශෝක, 60643 ප්‍රසන්න, 78961 අනුරුද්ධ, 66386 රාජපක්ෂ, 72566 හේරත්, පො කො රි 28379 රූපසිංහ යන නිලධාරීහු එක්වූහ.

වාරියපොළ සමූහ

නව අදහස දක්වන්න