සීමා නිර්ණය පරාද වුණේ නැහැ | දිනමිණ


 

සීමා නිර්ණය පරාද වුණේ නැහැ

දුමින්ද සම්පත්
පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ‍ෆයිසර් මුස්තාපා

ආණ්ඩුව ගෙනා පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු අභියාචනා කමිටුව, සීමා නිර්ණ වාර්තාවේ අනාගතය, පළාත් සභා මැතිවරණය සහ හිටපු ජනාධිපතිවරුන්ට තෙවැනිවරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකිද යන්න සම්බන්ධව අදහස් දක්වමින් පළාත් සභා පළාත්පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා අද මැති හමුවට එක්වේ.

* වාර්තාවේ අඩුපාඩු මමත් දැක්කා
* පරාජයට පත්වුණේ පනතක් නෙවෙයි කමිටු වාර්තාවක්
* කුමන්ත්‍රණ ගැන මම දන්නේ නෑ
* පාර්ලිමේන්තුවට එන්නේ කේක් කන්න නෙවෙයි

සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වෙනවා. සමහරුන් මෙය පනතක් හැටියටත් හඳුන්වනවා. මේ පරාජයට පත්වුණේ පනතක් ද?

මේ ගැන සමහර මාධ්‍යයන් වැරදි ආකාරයට වාර්තාකර තිබුණා. ඒ වගේම සමහරුන් මෙය පනතක් හැටියටත් හඳුන්වමින් කතා කළා. මේ පරාජයට පත්වුණේ පනතක් නොවෙයි. පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාවයි. පස්දෙනෙක්ගෙන් යුක්ත කමිටුවක් තමයි මේ වාර්තාව හැදුවෙ.

ආණ්ඩුව ගෙනාපු මේ වාර්තාව ආණ්ඩුව විසින්ම පරාජය කිරීමෙන් ආණ්ඩුවෙ අර්බුදය පෙන්නුම් කරන බවයි කියන්නෙ.

ජනාධිපතිතුමා පත්කරපු කමිටුවට, ස්වාධීනව ඒ අයගෙ වාර්තාව ඉදිරිපත් කරන්න ඉඩ දුන්නා. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සෙ අඩුපාඩු තියෙන නිසා පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු ඇමතිවරු තීරණය කළා අභියාචනා ක්‍රියාදාමයකට යායුතුයි කියල. ඒ හින්ද මේ වාර්තාව තුනෙන් දෙකෙන් සම්මත වුණේ නැහැ. දැන් අගමැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් අභියාචනා ක්‍රියාදාමයට යන්න කමිටුවක් පත්කරල තියෙන්නෙ. මේක මගේ පනතක් ආණ්ඩුවෙ පනතක් කියල කියන්නෙ ගැලරියෙ කතා.

පාර්ලිමේන්තුවෙදි මේ වාර්තාව පරාජයට පත්වෙන්න හේතුවෙච්ච කාරණා මොනවා ද?

මේක පැරදවීමක් නෙවෙයි. අඩුපාඩු තියෙන වාර්තාවක අඩුපාඩු හදන්න අභියාචනා කමිටුවකට භාරදීමක් කළේ.

ඔබත් මේ වාර්තාවට විරුද්ධවයි ඡන්දය දෙන්නෙ.

මමත් දැක්ක මේ වාර්තාවෙ අඩුපාඩු. ඒ හින්දයි මමත් සීමානිර්ණ අභියාචනා කමිටුවට මේ වාර්තාව යායුතුයි කියල කි‍ව්වෙ.

කොමිසම බහු මන්ත්‍රී කොට්ඨාස ගැන සලකල නැති බව ඔබ කිව්වා...

ඔව්, ඔව්.

පළාත් සභා සීමා නිර්ණ කමිටුවෙ සභාපති කනගරත්නම් නවලිංගම් මහත්තය කියන්නෙ මේ වාර්තාව සියයට සියයක් නිවැරදි බවයි.

මේ වාර්තාව හරිනම් මන්ත්‍රීවරු සියයකට වැඩි පිරිසක් මේකට විරුද්ධවෙන්නෙ නැහැනෙ. ඒක හරිද වැරදිද කියන්න එතුමට අයිතියක් නැහැ. ඒ අයිතිය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ මැති ඇමතිවරුන්ට. එක මන්ත්‍රීවරයෙක්වත් මේ වාර්තාව හරි කියල අත ඉස්සුවෙ නැහැ. එතුම ඒ ගැන හිතන්න ඕන.

මේ වාර්තාවෙ වැරදි තියෙනව නම් වාර්තාව සංශෝධනය නොකරම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඇයි?

එහෙම නෛතික ප්‍රතිපාදන නැහැ. මට මේකට ඇඟිලිගහන්න හොයාබලන්න කිසිම අයිතියක් නැහැ. ස්වාධීන කොමිටියක් හදපු වාර්තාවක් මේක. ඒ අය ඒක ඉදිරිපත් කළා. අපිට තිබුණෙ තීන්දු තීරණ ගන්න විතරයි.

අගමැතිවරයගෙ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බව ඔබ කිව්ව. පාර්ලිමේන්තුව පරද්දපු වාර්තාව වෙනස් කිරීමේ බලයක් මේ කමිටුවට තියෙනවද?

නැතුව, ඒක තමයි නීතියෙ තියෙන්නෙ.

මොනවගේ බලයක් ද ඔබ කියන නීතියට අනුව කමිටුවට තියෙන්නෙ?

මිනිස්සුන්ගෙ ඉල්ලීම අනුව මේක වෙනස් කළ හැකියි. නැවත ජනතාවගෙ අදහස් විමසිය යුතුයි. මාස දෙකක් ඇතුළත මේ වාර්තාව වෙනස් කරන්න ඕන.

ඒ ක්‍රියාවලිය කොයි වගේ ද?

ඒක මගේ කර්තව්‍යයක් නොවෙයි. ඒක ඒ කමිටුවෙන් අහන්න.

සීමා නිර්ණ කමිටු වාර්තාව පරාජය කිරීම එක්සත් ජාතික පක්ෂයෙ දේශපාලන කුමන්ත්‍රණයක් බවටත් මත පළවෙනවා?

කුමන්ත්‍රණ ගැන මම දන්නෙ නැහැ. පළාත්සභා සීමානිර්ණ වාර්තාව වැරදි හින්ද තමයි ඔක්කොම මන්ත්‍රීවරු මේකට විරුද්ධ වුණේ.

මේ සිදුවීම් හරහා පේන්නෙ ආණ්ඩුව පළාත් සභා ඡන්දය කල් දැමීමේ උත්සාහයක නිරතවන බව කියලත් කියනවා?

දේශපාලනයෙදි ඕන කෙනෙකුට ඕන - ඕන - විදියට අර්ථ නිරූපණ දෙන්න පුළුවන්. අපි නෛතික රාමුව අනුවයි කටයුතු කළේ. පළාත් සභා ඡන්දයෙ කිසිම ප්‍රමාදයක් නැහැ. සීමානීර්ණ කටයුතු කළා. දැන් අභියාචනා ක්‍රියාදාමය යන්නෙ. දේශපාලන වේදිකාවල ඕනකෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.

ඔබ කියන්නෙ පළාත් සභා මැතිවරණය නියමිත කාලයට තියෙනව කියන එකද?

කථානායකතුමා තමයි අභියාචනා කමිටුව පත්කළේ ඔය ගැන කමිටුවෙන් අහන එක තමයි වඩාත් හොඳ. මම පළාත් සභා හා පළාත් පාලන ඇමති වුණත් පළාත් සභා ඡන්ද පනතෙන් නොයෙක් අයට වගකීම් දීල තියෙනවා. මගේ වගකීම වුණේ සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කිරීම. මම ඒක කරල ඉවරයි. දැන් වගකීම තියෙන්නෙ කමිටුවට. ඒ ගැන මම කතාකරන්නෙ කොහොමද? වාර්තාව ඉක්මනින් දෙන එක ඒ අයගෙ වගකීම.

පළාත් සභා සීමානිර්ණ වාර්තාව හදන්න රුපියල් ලක්ෂ 212ක්...

ඔව්... ඔව්...

දැන් මේක පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වෙලා මේ වියදම් වෙච්ච මහජන මුදල්වලට වගකියන්නෙ කවුද?

පළාත් පාලන ඡන්දෙදිත් වාර්තාවක් තිබුණ. ඒ වාර්තාවෙ අභියාචනා ක්‍රියාදාමයක් තිබුණා. මූලික වාර්තාවක් නැතුව අභියාචනා ක්‍රියාදාමයකට යන්න බැහැ. අභියාචනා ක්‍රියාදාමයට පදනම් කරගන්නෙත් මේ මුල් වාර්තාව. දැන් මේ අවස්ථාවෙ අභියාචනා කමිටුව සලකා බලන්නෙත් මේ හදපු වාර්තාව. ඉතිං කොහොමද මේ වියදම් කරපු මුදල අපතෙයාමක් කියන්නෙ. මුදල් අපතෙ යාම කියන එක මම පිළිගන්නෙ නැහැ. ගෙදරක අත්තිවාරමක් නැත්තං ගෙයක් හදන්න බැහැ. මේ වාර්තාව ඒ අත්තිවාරම තමයි.

සුළු ජාතීන් නියෝජනය කරන දේශපාලන පක්ෂ මේ වාර්තාවට සම්පූර්ණ විරුද්ධයි. එවැනි තත්ත්වයක් තුළ මේ අභි‍යාචනා ක්‍රියාවලියෙන් සාධාරණයක් ඉටුවෙයි ද?

පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක අනුමැතියක් ලැබුණෙ මේ සංශෝධනවලට තමයි. එතකොට රවුෆ් හකීම්, රිෂාඩ් බදියුද්දීන්, මනෝ ගනේෂන්, දිගම්බරම් ඇමතිවරු එදා අත ඉස්සුව. අත ඉස්සුවට පස්සෙ රිවස් එක ගහන්න බැහැනෙ. පළාත් පාලන ඡන්දෙදි සමහර අයට තමන්ගෙ පංගුව හම්බ වුණෙ නැහැ. දැන් ඒ අයට එදා අත උස්සපුව අමතක වෙලා. පාර්ලිමේන්තුවට එන්නෙ කේක් කන්න නෙවෙයි. වගකීමකින් පාර්ලමේන්තුවෙ පනත්වලට අත උස්සන්න ඕන. අත ඉස්සුවට පස්සෙ විවිධ හේතු කියන එක සදාචාරාත්මකත් නැහැ. නෛතිකව හරයාත්මකත් නැහැ.

පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සෙ අලුත් ඡන්ද ක්‍රමය ගැන දිනපු අයයි, පැරදිච්ච අයයි දෙගොල්ලොම දොස් කිව්වා. එවැනි තත්ත්වයක් තුළ අලුත් ඡන්ද ක්‍රමය නැවත ඉල්ලීම ප්‍රායෝගික ද?

දිනපු අය බලන්නෙ ඒ අයගෙ ගොඩ තව වැඩිකරගන්න. පැරදිච්ච අය බලන්නෙ ඒ අයට ඊට වඩා ගන්න තිබ්බ කියලා. අලුත් ඡන්ද ක්‍රමයෙදි ජනතාව දිනුවනෙ. සාමකාමී, ජනතා හිතකාමී, ඒකාධිපති නැති, බලය එක් අයෙකුටවත් කේන්ද්‍රගත නොවූ පළාත් පාලන ක්‍රමයක් අපි රටට හඳුන්වා දුන්න. කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී ද? එක් දේශපාලන පක්ෂයක් සියයට පනහකට වැඩිය ගත්තනම් තනි බලය තියෙනවා. නැත්නම් සභාවෙන් තමයි තෝරගන්න ඕන. අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරනකොට මේ මූලධර්මය ගැනත් කතා කරන්න ඕන.

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙ ප්‍රධාන පාර්ශ්වයක්. ඔවුන් කියන්නෙත් පැරණි ක්‍රමයට ඡන්දය තියන්න කියල?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට 2015 ජනවාරි 08ට කලින් අපි උදව් කළානෙ. එදා අපි වේදිකාවල කිව්වෙ මොනවද? දූෂිත මනාප ක්‍රමය නැති කරනවා. ගමට වගකියන මන්ත්‍රීවරයෙක් බිහි කරනවා. ඊට වඩා අපි ප්‍රගතිශීලීව කිව්වනෙ කාන්තා නියෝජනය පළාත් පාලන ආයතනවල 25%කින් වැඩි කරනවා කියල. ඉතින් මේ ප්‍රගතිශීලී ගමන ආපස්සට ගෙනියන්න හදනවනම්, ඒ පාපකර්මයෙ සාක්ෂිකරුවෙක් වෙන්න මට බැහැ.

ඒකාබද්ධ විපක්ෂය කියන්නෙ මොන ක්‍රමයට ඡන්දෙ තිබ්බත් ඉදිරි පළාත් සභා මැතිවරණයෙන් ඔවුන් ජයගන්න බවයි?

දේශපාලනයෙ හැටි එහෙමනෙ. දේශපාලනේ පරදින්න වැඩක් කරනවද? අපි හැමෝම දිනන්න තමයි දේශපාලනේ කරන්නෙ.

හිටපු ජනාධිපතිවරුන්ට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්න පුළුවන් බවට මේ දිනවල මත පළවෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නෙ?

එක එක්කෙනා නීතිය නොයෙක් විදියට අර්ථනිරූපණය කරනවා. මම දන්න නීති දැනුම හැටියට 19 වැනි සංශෝධනයට අනුකූලව දෙපාරක් ජනාධිපති වෙච්ච කෙනෙක්ට තුන්වෙනි පාර ඉල්ලන්න බැහැ.

19 වැනි සංශෝධනය හරහා අලුත් ජනාධිපති ධුරයක් හඳුන්වාදී ඇති බවට ගෙනයන නීති තර්කය ගැන ‍මොකද කියන්නෙ?

නීතිඥයො තර්ක ගේනවා. ඒකනෙ රැකියාව. එහාට තර්ක ගේනව මෙහාට තර්ක ගේනව. අන්තිමට විනිශ්චයකරුවෙක් ගන්න තීන්දුවට අපි ඔක්කොම හිස නමනවා. ඒක තමයි නීතිය කියන්නෙ.

ජනතාව මත වැඩිම ජීවන බර පටවපු ආණ්ඩුව, මේ ආණ්ඩුව බවයි කියන්නෙ?

හැම ආණ්ඩුවටම ඔය චෝදනාව ආවනෙ. අද මේ ආණ්ඩුවට ඔය කතාව කියනවා. හෙට තව ආණ්ඩුවක් ආවොත් ඒ අයටත් ඔය චෝදනාවම කරනවා. ඒක මේ රටේ දේශපාලන සංස්කෘතිය. ඉතිහාසෙ ඉඳලම ජීවන බර කියන එක දේශපාලන භූමිකාවෙ හොඳ වේදිකාවක්.

නව අදහස දක්වන්න