කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ පුණ්‍යෝත්සවය | දිනමිණ

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ පුණ්‍යෝත්සවය

අනිද්දා මාකන්දන සුදර්ශනාලංකාර මහා විහාරයේ දී

අභිනව සංඝනායක පදවි ප්‍රාප්ත වල්ගම රතනසිරි නාහිමි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිව බුදු දහම ගෙන ඒමෙන් පසු ලාංකීය කුල පුත්‍රයන්ගේ ශාසන ප්‍රවේශයත් සමඟ ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනය ආරම්භ විය. මහා වංශයේ 180, 181 ගාථාවලින් දැක්වෙන පරිදි ලක්බිම සම්බුද්ධ ශාසනයේ ප්‍රතිෂ්ඨාපනයවීම ලාංකික කුල දරුවන් සසුන් ගතවී ශාසනික ක්‍රියා ආරම්භ කිරීමෙන් පසුව සිදුවන්නක් බව මිහිඳු මාහිමියන්ගේ පූර්ණ විශ්වාසය විය. බුදු සසුන පිළිබඳ සම්පූර්ණ වගකීම ලාංකික භික්ෂූන් වෙත පැවරීමෙන් එහි ආරක්ෂාව පෝෂණය හා සංවර්ධනය තමන්ගේම වගකීමක් ලෙස සලකා කටයුතු කිරීමට ලාංකේය භික්ෂූන් වහන්සේ ක්‍රියා කළ ආකාරය වසර දෙදහස් පන්සියයක ශාසන ඉතිහාසයෙන් මනාව පැහැදිලි වේ.

ශාසනය ස්වීයත්වයෙන් සලකා ක්‍රියා කරන මහා යතිවරයාණන් වහන්සේ ‘විනය කීර්ති ශ්‍රී ප්‍රඥාසාර’ යන ගරු නාම සහිත කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන වල්ගම රතනසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හැඳින්විය හැකිය.

ජන්ම ලාභය

උන්වහන්සේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික රයිගම් කෝරළයේ වල්ගම පදිංචිව සිටි පනාගොඩගේ ඇල්බට් පෙරේරා හා අමරසිංහ ආරච්චිගේ නිමලාවතී යන සැදැහැවත් දම්පතීන්ගේ දරුවන් හයදෙනාගෙන් ලාබාලයා ලෙස 1965.02.17 දින මෙලොව එළිය දුටු මේ පින්වත් කුමරු පියසිරි පෙරේරා යන අර්ථාන්විත නමින් හැඳින්විය. 1970 දී අත්පොත් තැබූ කුල කුමරුවානන් 1971 දී මැදගම කනිෂ්ඨ විද්‍යාලයෙන් ද ඉන් පසුව 1976 – 1978 දක්වා ක/ කිදෙල්පිටිය ශ්‍රී සාරාලංකාර මහා විද්‍යාලයටත් ඇතුළත්ව ගුරු දෙගුරු සැමදෙනාගේම සිත් සතුටු කරමින් සිප් සතර හැදෑරූහ. වල්ගම ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථ සිරි සැදැහැතිස් දහම් පාසලින් දහම් අධ්‍යාපනය ලබමින් තම ජීවිතය දහමින් පෝෂණය කර ගැනීමේ භාග්‍යය ද ලබා ගත්තේය.

ප්‍රවෘජ්‍යා භාවයට පත් වීම

වීදාගම මහා මෛත්‍රෙය රාජමහා විහාරය ඇතුළු චතුර්මහා විහාරාධිපති වීදාගම ශ්‍රී ඝනානන්ද පරිවේණාධ්‍යක්ෂ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අරුක්ගොඩ ශ්‍රී ඉන්දසරාරාම මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරන්ධර උපාධ්‍යාය ඕවාදාචාර්ය ශාස්ත්‍රවේදී ගෞරවාර්හ වල්ගම රතනසාරාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සිත් ගැනීමට පින්වත් කුමරුන් සමත්විය.

මුලික අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය

එකළ ගිහි පැවිදි හැම දෙනාගේම වියත් සම්භාවිත ජංගම පුස්තකාලයක් බඳු, කිදෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාමය වදවල ශ්‍රී විමලාරාමය යන උභය විහාරාධිපති පරිවේණාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්ධර උපාධ්‍යාය ඕවාදාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සීලක්ඛන්ධ ධර්මකීර්ති ශ්‍රී සුමනතිස්ස හඟුරන්කෙත ශ්‍රී විමලාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේගේ පා සෙවණේ කි‍ඳෙල්පිටිය ශ්‍රී සීලක්ඛන්ධ පිරිවෙණේ දී මූලික අධ්‍යාපනය ලැබීම උන්වහන්සේගේ පැවිදි ජීවිතය ආලෝකවත් වීමට හේතු විය.

(පසු කලෙක අනුනායක හිමියෝ කථානායකයන් වහන්සේට පවසා ඇත්තේ ඔය නමගෙ දක්ෂතා අධ්‍යාපනයට පමණක් යෙදවූයේ නම් විශ්වවිද්‍යාලයේම නතර වෙන්න තිබුණා) යනුවෙනි.

අනතුරුව අප හිමිපාණන් ද්විතීය අධ්‍යාපනය සඳහා කීර්තිමත් පරිවේණස්ථානයක් වූ ගංගොඩවිල සුබද්‍රාරාම විද්‍යායතනයට ඇතුළත් විය. එහි දී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්ධර උපාධ්‍යාය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති විද්‍යා විශාරද යටදොලවත්තේ විමලඥාන මාහිමිපාණන් වහන්සේ, පණ්ඩිත සිරි තිලකසිරි මහතා ඇතුළු වියත් ඇදුරන්ගේ සිත් දිනා ගනිමින් හොඳින් අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය ලදහ. අ. පො. ස. උසස් පෙළ විභාගය උසස් ලෙස සමත්ව සරසවි වරම් හිමිකර ගන්නට ලැබීම වාසනාවකි.

උපසම්පත්ති ප්‍රතිලාභය

උගතමනා බණ දහමින් හා විසිවස් සපිරි අපේ රතනසිරි හිමිපාණන් 1985 ජුනි මස 29 වැනි දින ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උතුම් උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබූහ. එහි දී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති විද්‍යා විශාරද උපාධ්‍යාය වේඬරුවේ අනෝමදස්සී අනුනායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත හින්දි භාෂා විශාරද ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය මාදිවෙල චන්දවිමලාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ හා මහාචාර්ය බෙල්ලන්විල විමලරතනාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේ කර්මවාගාචාර්යත්වයෙන් ක්‍රියා කළහ.

අධ්‍යාපනික සේවා

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමේ කාර්ය භාරයට විශේෂයෙන්ම ඇතුළත් වන්නේ පර්යාප්තිය (ත්‍රිපිටකය) ආරක්ෂා කර ගනිමින් අටුවා ටීකා විවරණ ග්‍රන්ථ ආදිය පිළිබඳ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට පැවරීමයි. පර්යාප්තිය මත සම්බුද්ධ ශාසනය පවතී යන දැඩි විශ්වාසයෙන් භික්ෂුහු ක්‍රියා කළහ. තමන්ගේ ශාසනික වගකීමක් ලෙස දිවි දෙවැනි කොට පර්යාප්තිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ ආකාරය ශාසන වංශ කථාවේ සඳහන් වළගම්බා රාජ්‍ය සමයේ දොළොස් වසරක් පුරා පැවැති නියං කාලයේ භික්ෂූන් ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලි වේ.

ඒ ගමන් මඟ යමින් අප කථානායක යතිවරයාණන් තම උගත් ශිල්ප ඥානය සිසුන් වෙත දීමේ අරමුණින් කැස්බෑව ශ්‍රී විජය සුන්දරාරාම විහාරස්ථ නන්දන පිරිවෙණට ආචාර්යවරයකු ලෙස 1990. 01. 15 වන දින බැඳී වසර 03ක පමණ කාලයක් සේවය කොට ඉන් අනතුරුව තමන් අධ්‍යාපනය ලත් ගුරු භූමියක් වන ගංගොඩවිල සුබද්‍රාරාම පිරිවෙණට 1993. 02. 01 දින ස්ථාන මාරුවක් ලබා ගෙන සේවයට ඇතුළත්ව දැනට වසර විසිහයක් (26) පුරාවට අද වන තෙක් සිසුන් ප්‍රිය කරන ආචාර්යවරයකු වශයෙන් හා පරිවේණාධිපතින් වහන්සේ නමක් වශයෙන් සිය දහස් ගණන් සිසුනට අමිල වූ අධ්‍යාපනය ලබා දෙමින් පිරිවෙන් අධ්‍යාපනය ක්ෂේත්‍රයට මහඟු සේවාවක් සිදු කරමින් සිටිති. තම විහාරස්ථ දායක දායිකාවන්ගේ දූ දරුවන් ගුණ දහමින් පෝෂණය කිරීමට දහම් පාසල් අධ්‍යාපනය මැනවින් ලබා දෙති.

ආගමික හා ශාසනික සේවා

ශ්‍රද්ධාවෙන් හා උට්ඨාන වීර්යයෙන් කටයුතු කිරීම අපේ කථානායකයාණන්ගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයකි. ගිහි පැවිදි බොහෝ දෙනාට උන්වහන්සේගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝය.

කාලය කළමනාකරණය කර ගනිමින් විහාරස්ථාන සතරේම දායක දායිකාවන්ගේ අවශ්‍ය ආගමික කටයුතුවලට මැලිබවෙන් තොරව සහභාගි වී ආශිර්වාද කිරීම අගය කළ යුත්තකි.

විහාරස්ථානයන්හි අභිනව චෛත්‍යය බුද්ධප්‍රතිමා ආදියෙහි තැන්පත් කිරීම සඳහා තඹ පත්ඉරුවල ධර්මය හා පිරිත් ලිවීමේ හැකියාවෙන් යුතු උන්වහන්සේ අවශ්‍ය ස්වාමීන් වහන්සේලාට ලියාදීමට තම කාලය යෙදවීය.

සිවුරු කැපීම, මැසීම ආදී කටයුතු මැනවින් සිදු කරන උන්වහන්සේ කඨින පින්කම් කාලවල දී තම හැකියාවෙන් උපරිම ප්‍රයෝජන අන්‍යයන්ට සලස්වති.

‘විනයො නාම සාසනස්ස ආයු’ යන්නෙන් ප්‍රකාශ වන පරිදි විනය ශාසනයේ ආයුෂයයි. විනය යම්තාක් පැවැත්මට භික්ෂූන් ආරක්ෂා කෙරේ නම් ශාසනයේ පැවැත්ම ද එතෙක් කල්පවතී. භික්ෂූන් වහන්සේට අදාළ විනය කටයුතු කෙරෙහි වැඩි ලැඳියාවක් හා උනන්දුවක් දක්වන උන්වහන්සේ අවශ්‍ය කොටස් වාචෝද්ගතව දේශනා කිරීමේ හැකියාවෙන් යුක්තය. පොහෝ පැවරුණු විනය කර්ම කිරීමේ දී දේශක භික්ෂුවක් වශයෙන් දිගු කලක සිට විනය දේශනාව ඉතා හොඳින් සිදු කරති.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ 2007 වර්ෂයේ පටන් කර්මවාගාචාර්ය වරයාණන් වහන්සේ නමක් ලෙස උතුම් උපසම්පදා විනය කර්මයට සහභාගි වෙමින් අවශ්‍ය සහයෝගය පූර්ණ වශයෙන් ලබාදීම ද ඇගයීමට භාජන කළ යුත්තකි.

තම සඟ පරපුරේ අතීත ඉතිහාස තොරතුරු ගවේෂණය කිරීම හා එම තොරතුරු ස්මරණ ගත කරගෙන සිටීම ද අගය කළ යුත්තකි. තමන්ට පැවරී ඇති හා පවරාගත් යුතුකම් උපරිම ආකාරයෙන් නිර්ලෝභීව ඉටු කිරීමට ඉදිරිපත් වීම උන්වහන්සේගේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. ගැටලු පැන නැඟි අවස්ථාවල ඒ හා සම්බන්ධ ස්වීයමතය සෘජුව ප්‍රකාශ කිරීමේ භික්ෂුවක් සතු ‘උජුපටිපන්න’ ගුණය ද උන්වහන්සේගේ චරිතය තුළින් ප්‍රදර්ශනය වේ.

චතුර්මහා විහාරාධිපති පදවියට පත්වීම

සිල්වත් ගුණෙන් යුතු මහ තෙරුන් වහන්සේ නමක් වූ තම ගුරු දේවෝත්තම සද්ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය මාකන්දන පඤ්ඤාසාර මාහිමියන් වහන්සේ 2012. 01. 08 දින අපවත් වීමෙන් පසුව චතුර්විහාරයන්හි ආධිපත්‍යයට වල්ගම රතනසිරි හිමියන් වහන්සේ පත් වූහ.

මාකන්දන සුදර්ශනාලංකාර විහාරය, මකුළුදූව ශ්‍රී සුධර්මාලංකාර විහාරය, කිරිගම්පමුනුව සුදර්මරත්න රාජ මහා විහාරය, ඔසු උයන විවේක ආරණ්‍ය සේනාසනය යන චතුර් විහාරයන්හි අභිවෘද්ධිය උදෙසා කටයුතු කළහ.

ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා

විහාරස්ථ හතරෙහි දියුණුව සඳහා භෞතික සංවර්ධනය කළ අප නාහිමියෝ තමන් වහන්සේගෙන් පසුව විහාරස්ථානයන්හි අඛණ්ඩ පැවැත්ම සඳහා දැන උගත්කම් ඇති ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ශාසනයට දායාද කිරීමට ද කටයුතු කර ඇත.

ශාසනික තනතුරු

01. 1998-2003 දක්වා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අරුක්ගොඩ විහාරපාර්ශ්වය නියෝජනය කරමින් කල්‍යාණි කාරක සභිකයකු වශයෙන් කටයුතු කිරීම

02. 2007. 06. 02 අරුක්ගොඩ විහාර පාර්ශ්වයේ පුරප්පාඩු වූ කර්මවාගාචාර්ය ධුරය සඳහා පැවැත් වූ ලිඛිත හා වාචික පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබා සංඝ සභාවේ කර්මවාගාචාර්ය ධුරයට පත්වීම

උන්වහන්සේගේ ආගමික ශාසනික අධ්‍යාපනික සේවාවන් පිළිබඳ සතුටට පත් වූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව ‘විනය කීර්ති ශ්‍රී ප්‍රඥාසාර’ ගෞරව නාම සහිතව කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම ගැන අප අමන්දානන්දයට පත්වන අතර, මහා සංඝ සභාවට ඒ පිළිබඳ ප්‍රසාදය පිරිනමමු.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා ලේඛකාධිකාරී හා අරුක්ගොඩ ශ්‍රී ඉන්දසරාරාම

මහාවිහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී
ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය මකුරුප්පේ
සෝමාලංකාර ස්ථවිර


මහානායක මාහිමිපාණන් වහන්සේගේ ශුභාශිංසනය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මඟින් ‘කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක’ පදවිය වල්ගම රතනසිරි ස්ථවිරයන් වහන්සේට පිරිනමන්නට අවස්ථාව උදාවීම පිළිබඳ බෙහෙවින් සතුටට පත්වෙමි.

අරුක්ගොඩ ශ්‍රී ඉන්ද්‍රසරාරාම මහා විහාර පාර්ශ්වයට අයත් පෞරාණික විහාරස්ථානයක් වන මාකන්දන ශ්‍රී සුදර්ශනාරාලංකාරය ඇතුළු විහාර ගණයේ අධිපතිත්වය ඉසිළුෑ සද්ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය මාකන්දන පඤ්ඤාසාරාභිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ශාසනයට ඇතුළත් වූහ. රතනසිරි ස්ථවිරයෝ ශාසනික වත පිළිවෙත පමණක් නොව සමය ශාස්ත්‍රයන් පිළිබඳ ද මනා පරිචයක් ලබාගත්හ. කිඳෙල්පිටිය ශ්‍රී සීලක්ඛන්ධ පිරිවෙන, ගංගොඩවිල සුබද්‍රාරාම පිරිවෙන, කැලණිය විශ්වවිද්‍යාලය ආදී සුප්‍රකට විද්‍යායතනයන්ගෙන් සිය බුද්ධියේ නිම් වළලු පුළුල් කරගත් රතනසිරි ස්ථවිරයෝ අද වනවිට නුගේගොඩ සුබද්‍රාරාම මූලික පිරිවෙනේ පරිවේණාධිපතීන් වහන්සේ ලෙස ක්‍රියාකරනු ලබති.

විහාරස්ථාන හතරක අධිපතිත්වය දරන උන්වහන්සේ එම විහාරස්ථානයන්හි භෞතික සම්පත් සංවර්ධනය කරමින්, ශිෂ්‍ය පුත්‍රයන් තනමින්, දායක කාරකාදීන්ගේ අවශ්‍යතා ඉටුකරමින් ශාසනික නවෝදයක් වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකරති. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මාචාර්ය ධුරයක් දරමින් සංඝ සභාව මුල්වී කරන ධර්ම විනය කර්මයන්ට ශ්‍රද්ධාවෙන් යුක්තව සම්බන්ධ වෙති. ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරන උක්ත උදාර මෙහෙවර අගයමින් මේ උතුම් පදවිය පිරිනමන්නට හැකිවීම සතුටට කරුණකි. අභිනව නායක ස්ථවිරයන් වහන්සේට ලෝසසුන් වැඩ වැඩීමට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ
මහානායක ශ්‍රී මහා විහාරවංශාලංකාර
විමලකීර්ති ශ්‍රී ධම්මාලෝක ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්ථවිර


අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ශුභාශිංසනය

පිළියන්දල මඩපාත, මාකන්දන ශ්‍රී සුදර්ශනාලංකාර විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති ශාස්ත්‍රවේදී වල්ගම රතනසිරි ස්ථවිරපාදයන් වහන්සේ වෙත අප කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මඟින් කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන්නට ලැබීම පිළිබඳ මම බෙහෙවින් සතුටට පත්වෙමි.

අරුග්ගොඩ ශ්‍රී ඉන්ද්‍රසරාරාම මහා විහාර සඟ පරප‍ුරෙන් පැවත එන මුන්වහන්සේ දැනට පැවිද්දෙන් දශක හතරක් පසුකර ඇති මහ යතිවරයෙකි. සාම්ප්‍රදායික පැවිදි අධ්‍යාපනයෙන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා වඩා සුදුසුකම් ඇති තෙරනමක් බවට පත්වූහ.

අප කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට අයත් කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පිරිනමන්නට ලැබීම දැනට උන්වහන්සේ කරගෙන යනු ලබන සේවාවන් වඩාත් හොඳින් කරගෙන යෑම සඳහා ශක්තියක් වේවායි ද ඒ සඳහා තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවායි ද ප්‍රාර්ථනා කරමි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ
අනුනායක ප්‍රධාන ලේඛකාධිකාරි
මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්ථවිර


උපසම්පදා ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේගේ ශුභාශිංසන පණිවිඩය

කිරිගම්පමුණුව සුධර්මරත්න රාජමහා විහාරය, මාකන්දන ශ්‍රී සුදර්ශනාලංකාර විහාරය, මකුළුදූව සුධර්මාලංකාර විහාරය, ශ්‍රී බෙරවාවල ඔසු විවේක සේනාසනය යන චතුර් විහාරාධිපති ගංගොඩවිල සුබද්‍රාරාම මූලික පිරිවෙන් පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී කර්මවාගාචාර්ය වල්ගම රතනසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත අපේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මඟින් ‘විනය කීර්ති ශ්‍රී ප්‍රඥාසාර යන ගෞරව නාමය සහිතව කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් සම්මානිත වීම නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරනුයේ අතිශය සතුටිනි.

භික්ෂුවක් විවිධ කුසලතාවලින් පරිපූර්ණවීම ශාසනයේ පැවැත්මට මහෝපකාරී වේ. අපේ වල්ගම රතනසිරි අභිනව නායක ස්වාමීන් වහන්සේ තුළ මේ ලක්ෂණ උපරිම ආකාරයෙන් පවතී.

අලස බවෙන් තොරව දිවා රාත්‍රී නොබලා කය වෙහෙසා ආගමික වතාවත් කිරීමෙහි ද ආරාමය පවිත්‍ර කිරීමෙහි ද ආරාමයේ සංවර්ධන කාර්යන්හි නිරතවීමේ හැකියාව ද ඉහළ මට්ටමකින් උන්වහන්සේ තුළ පවතී. ගුරු ගෞරවය, ගුරු භක්තිය, ගුරු ස්මරණය කිරීමේ උදාර ලක්ෂණයන් ද උන්වහන්සේ තුළ පවතී. එය වත්මන් තරුණ භික්ෂුවට ආදර්ශයකි. දක්ෂ ආචාර්යවරයෙකි. දක්ෂ විහාරාධිපති නමකි. දක්ෂ පරිවේණාධිපති නමකි.

විවිධ විචිත්‍ර දක්ෂතාවන්ගෙන් සපිරි ශාසනයට ප්‍ර‍යෝජනවත් අපේ ගරු වල්ගම රතනසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට මේ පදවිය ආගමික ශාසනික අධ්‍යාපනික සේවාවන් වඩාත් පුළුල්ව පවත්වාගෙන යාමට මහා ශක්තියක්ම වේවා! උන්වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත්භාවය හා චිරජීවනය ලැබේවා’යි මෙත් සිතින් පතමි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ
උපසම්පදා ලේඛකාධිකාරි ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත මකුරුප්පේ සෝමාලංකාර ස්ථවිර

නව අදහස දක්වන්න