පළමු වෙඩි මුරයේ අලුත් එක!!! | දිනමිණ

පළමු වෙඩි මුරයේ අලුත් එක!!!

මේ තත්ත්වය තුළ සැප්තැම්බර් 05 උද්ඝෝෂණය පැහැදිලිවම කේන්ද්‍රගත වනු ඇත්තේ “මහින්දට තුනක් පුළුවන්” යන අවස්ථාවාදී ව්‍යාජ ප්‍රවාදය සමාජගත කිරීමට පමණක් බව ඉතාම පැහැදිලියි. ඒ අතර බැසිල්, ගෝඨා, චමල් කපා දමමින් ඔටුන්න හිමි කුමාරයා අභිෂේක කිරීමක් සිදුවනු ඇති බව ද පැහැදිලියි. මේ උද්ඝෝෂණයේ න්‍යායාචාර්යවරයා බවට නාමල් රාජපක්ෂ පත්වීම තුළ සැබෑ අරමුණ පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගත හැකියි. මේ අනුව අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ සැප්තැම්බර් 05 වැනිදා උද්ඝෝෂණය කිසිම ආකාරයක ජනතාවාදී අරමුණක් නැති රාජපක්ෂ පවුල් ව්‍යාපෘතියක් බවට ඌණනය වූ එකක් පමණක් බවයි.

“බල්ලෝ බිරුවට තවලම යනවා” කියලා කියමනක් ගමේ ගොඩේ මිනිස්සු අතර බහුලව භාවිත වෙනවා. ගමේ භාෂාවෙන්ම “කටේ මසුරං දාන්න වටින” මේ කියමන පසුගිය 2015 ජනවාරි 09 වැනිදා සිට මේ රටේ ජනතාව ජාතික වශයෙන් ම අත්දකිමින් ඉන්නවා.

පසුගිය දින කිහිපය පුරා ඊනියා ඒකාබද්ධ කල්ලියේ සහ රෙජිම මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තිය වුණේ රාජපක්ෂ කල්ලිය විසින් සැප්තැම්බර් 05 වැනිදා කොළඹ වටලනවා කියන කතාවයි. උදය ගම්මන්පිල මහතාට අනුව මේ විරෝධතා ව්‍යාපාරය 04 වැනිදා රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් එකක් වෙනවා. වාසුදේව නානායක්කාර මහතා කියන්නේ මේ විරෝධතාව නිසා මුළු කොළඹ නගරයේම පරිපාලන හා ආර්ථික කටයුතු බිඳ වැටීම සිදුවිය හැකි බවයි. ඒ අතර එදිනට ගැනීමට නියමිත (ඔවුන්ට පමණක් රහසක් වූ) තවත් දැඩි පියවර රැසක් ගැන මේ කල්ලිය මාධ්‍ය හරහා දැඩි ප්‍රචාරයක් ලබා දෙනවා.

මහින්දගේ චූන් පාන් කතා

මේ විරෝධතා ව්‍යාපාරය ගැන වඩාත්ම විචිත්‍රවත් කතාව කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතායි. පසුගිය ඉරිදා පුවත්පතක් සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කර තිබුණා. “ ඒක තමයි මං කිව්වේ. සැප්තැම්බර් පස් වැනිදා අපි ජනතාව එක්ක පාරට බහින්නේ ආපහු හැරෙන්න නෙමෙයි, කියලා. එදාට ආරම්භ වෙන වැඩපිළිවෙළ නතර වෙන්නේ රනිල් වික්‍රමසිංහව ගෙදර යවලා. එයාට කොයි ගෙදරට යන්න වෙයි ද කියලා මම දන්නේ නැහැ. අගමැතිකමෙන් යන්න වෙනවා කියන එක නම් මට ස්ථිරවම කියන්න පුළුවන්”

රාජපක්ෂ කල්ලියේ මේ වාගාඩම්බර කතා ගැන රාජපක්ෂ කල්ලියේ ඉතිහාසය සහ වත්මන් ක්‍රියාකාරීත්වය ගැන දන්න කියන බොහෝ දෙනෙක් ද විවිධ ප්‍රකාශ නිකුත් කර තිබුණා. ඒ අතර විමල් වීරවංශ මහතාට අයත් වෙබ් අඩවියක පළ වූ සැපැතැම්බර් 05 විරෝධතා ව්‍යපාරය පිළිබඳ පුවතට අදහසක් එක්කරමින් පාඨකයෙක් අපූරු අදහසක් ඉදිරිපත් කර තිබුණා. “මගෙ අම්මෝ බයේ බැහැ. කොළඹ මිනිස්සු බයවෙලා ගමට යයිද දන්නේ නැහැ. මුං කෙලියොත් බුලක් තමයි. හොරු, මිනීමරුවෝ එනකොට බය නැත්තෙ කවුද ?”

මේ පාඨකයාගේ අදහස එක හුදකලා අදහසක් හෝ විවේචනයක් වශයෙන් අපට පහසුවෙන් බැහැර කළ නොහැකියි. මන්ද අද ලක්ෂ සංඛ්‍යාත පොදු ජනතාව සේම දේශපාලනඥයන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් අති බහුතරයක් ද ඉහත සඳහන් අදහසම දරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, ඇමැති දුමින්ද දිසානායක මහතා කියන්නේ සැපැතැම්බර් 05 උද්ඝෝෂණය හුදු උද්ඝෝෂණයක් පමණක් බවයි. “විමල් වීරවංශ මහතා ඇතුළු තවත් බොහෝ දෙනෙකු 05 වැනිදා කොළඹ වටලනවා කියලා කතා කරනවා. මට නම් වටලන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. විමල්ට කොළඹ වටලන්න බෑ. මේ වටලන්න එන්න හදන අයටත් මතක් කරන්නේ කොළඹ බලලා ගියාට කමක් නෑ. හැබැයි මේ රටේ දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ ව්‍යවස්ථාවක් එක්ක. ජනාධිපතිවරයෙකුට ඉන්න පුළුවන් අවුරුදු ගානක් තියෙනවා. ඒක වෙනස් කරන්න උද්ඝෝෂණයකට බෑ. ඒක වෙනස් කරන්න පා ගමනින් කොළඹට ඇවිත් බෑ”

“වෙසක් පෝයට ආණ්ඩුව පෙරළනවා” (පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 29 වැනිදා ද වෙසක් පෝයට පෙර ආණ්ඩුව පෙරළන බව යළිත් අවධාරණය කළා) යැයි කියමින් 2015 ජනවාරි 09 වැනිදා සිට අන්තවාදීන් සහ අවස්ථාවාදීන්ට චූන් පාන් කතා කියමින් ඔවුන් කුල්මත් කළ රාජපක්ෂ කල්ලිය මෙවර ද ඇල්ලීමට සූදානම් වන අඩව්ව ගැන අප පැහැදිලි අදහසක් ලබා ගත යුතුයි.

යහපාලන නිදහස අපයෝජනය වීම

සැප්තැම්බර් 05 ලොව කළඹන බව කියන උද්ඝෝෂණය සමඟ අපගේ අවධානය විශේෂ කරුණක් ගැන යොමු විය යුතුයි. ඒ අද ආණ්ඩුව පෙරළන්න, රාජපක්ෂ වසන්තයක් නිර්මාණය කිරීමට රාජපක්ෂ කල්ලියට නිදහසක් හා අවකාශයක් නිර්මාණය වුණේ කෙසේද යන්න ගැනයි. අද රාජපක්ෂ කල්ලිය විසින් දැඩිව අපයෝජනය කරමින් සිටින්නේ මෙරට 62 ලක්ෂයක් ජනතාව විසින් පසුගිය 2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කරමින් දිනාගත් නිදහසයි. යළිත් අගෝස්තු 17 වැනිදා රාජපක්ෂ රෙජිමයම පරාජයට පත් කරමින් දිනාගත් නිදහසයි.

ජනතාව මේ නිදහස දිනා ගැනීමට කළ කැප කිරීම් සහ විඳි වේදනා ගැන රාජපක්ෂ කල්ලියට කිසිදු ආකාරයක තැකීමක් හෝ වැටහීමක් නොවීම පුදුමයට හෝ කනගාටුවට කරුණක් නොවෙයි. ඒ රාජපක්ෂ යුගයේ දී ජනතාවට ආණ්ඩු පෙරළීමක්, මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැවීමක්, කොළඹ වැටලීමක් ගැන සිහිනෙන් පවා සිතීමට නොහැකි බිහිසුණු, මර්දනකාරී වාතාවරණයක් රාජපක්ෂ කල්ලිය විසින් නිර්මාණය කර තිබුණු නිසයි.

රාජපක්ෂ යුගයේ දී ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණට හෝ වෙනත් ඕනෑම කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට ආණ්ඩු විරෝධය ප්‍රකාශ කිරීමට කිසිදු අවස්ථාවක් රාජපක්ෂ පාලනය විසින් ලබා දුන්නේ නැහැ. ඒ බව එක්සත් ජාතික පක්ෂය විසින් 2005-2015 දශකය තුළ ක්‍රියාත්මක කළ සෑම උද්ඝෝෂණයකදීම, විරෝධතා ව්‍යාපාරයකදීම දැකිය හැකි වුණා. අධිකරණයෙන් වාරණ නියෝග ගනිමින්, උද්ඝෝෂණ හෝ රැලි පැවැත්වීම සඳහා ස්ථාන ලබා නොදෙමින්, මාධ්‍ය මගින් දැවැන්ත ලෙස මඩ ප්‍රහාර ක්‍රියාත්මක කරමින් නොනැවතුණු රාජපක්ෂ රෙජිමය එදා හැකි සෑම අවස්ථාවකදීම ආණ්ඩු විරෝධී සෑම උද්ඝෝෂණයක්ම හමුදාව, පොලිසිය හෝ මැර කල්ලි යොදා දැඩිව මර්දනය කළා. අගවිනිසුරුවරිය ධූරයෙන් පළවා හැරීමට ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව විරෝධය දැක්වීම සඳහා කොළඹ අලුත්කඩේ උසාවිය අසලට රැස් වූ නීතිඥයන් පිරිසකට කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් විසින් නායකත්වය දුන් මැර කල්ලියක් විසින් පහරදීම මේ සඳහා එක් උදාහරණයක් පමණයි. මර්වින් සිල්වා, කහඳගමගේ, දුමින්ද සිල්වා වැනි ප්‍රකට මැරයන් එදා ආණ්ඩු විරෝධී ඕනෑම උද්ඝෝෂණයක් උණ්ඩයෙන් හා පොලුවලින් මර්දනය කිරීම සුලභ තත්ත්වයක් වුණා. මෙය කොළඹ කොටුව, ලිප්ටන් වටරවුමට පමණක් නොව මුළු රටපුරාම ක්‍රියාත්මක වූ සුලභ තත්ත්වයක්.

රාජපක්ෂ යුගයේ ආණ්ඩුව පෙරැළීමට හැකි විපක්ෂය පමණක් නොව එවැනි කිසිදු බලයක් නැති සිවිල් සමාජ සංවිධාන සහ වෘත්තීය සමිති ද තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් වන උද්ඝෝෂණ හා රැලි පැවැත්වීමේදී දැවැන්ත මර්දනයකට මුහුණ දුන්නා. ඒ අතර සරසවි සිසුන් සහ ජනමාධ්‍ය ප්‍රජාව ප්‍රමුඛ මර්දනයකට ලක් වූ බව අපට අමතක කළ නොහැකියි. ඇතැම් සිවිල් සංවිධානවලට තමන්ගේ වැඩමුළුවක්වත් පැවැත්විය නොහැකි මර්දනකාරී වාතාවරණයක් රාජපක්ෂ රෙජිමය විසින් අති සූක්ෂම ආකාරයෙන්, ඒත් එළිපිට ම ක්‍රියාත්මක කළා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධාන කළ ජනමාධ්‍ය වැඩමුළුවලට එදා රාජපක්ෂ හෙන්චයියන්ගෙන් අසීමිත බාධා කිරීම් එල්ල වූ බව අපට මතකයි.

රාජපක්ෂ රෙජිමය සාමකාමීව රැස්වීෙම්, ආණ්ඩුවට විරෝධය පෑෙම් අයිතිවාසිකම අහිමි කළේ විපක්ෂයට හෝ බලපෑම් කණ්ඩායම්වලට පමණක් නොවෙයි. එය සාමාන්‍ය පොදු ජනතාව, සිරකරුවන් දක්වා ව්‍යාප්තව ගියා. අවම වශයෙන් ආණ්ඩු පෙරැළිය කෙසේ වෙතත් තම මූලික අයිතිවාසිකම් දිනා ගැනීමට උද්ඝෝෂණය කළ හලාවත ධීවරයන්ට, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ට, රතුපස්වල සාමාන්‍ය ජනතාවට රාජපක්ෂ කල්ලිය දුන් පිළිතුරු මගින් එදා රාජපක්ෂ රෙජිමය ප්‍රජාතන්ත්‍රවාදය ගැන තමන්ට ඇති තක්සේරුව ලෝකයට ප්‍රදර්ශනනය කළා.

අරමුණක් නැති උද්ඝෝෂණයක්

අද මුළු ලෝකයේම අවධානය දිනා ගන්නා මහා රැලියක් ගැන වහසිබස් කියන්නේ තම පාලන යුගයේදී අමු අමුවේ ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය කළ හිටපු පාලක කල්ලියක් විසින්ම වීම දෛවෝපගත සිදුවීමක් වශයෙන් සැලකිය හැකියි.

රාජපක්ෂ කල්ලිය කොළඹට ජනතාව රැස් කරමින් ඊනියා “රාජපක්ෂ වසන්තයක්” (ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ ජනතාව විසින් අරාබිකරයේ ඒකාධිපති පාලකයන් පළවා හැරී අරාබි වසන්තය මෙන්) බිහි කිරීමට කැසකවන්නේ මෙරට ජනතාවට කුමක් හිමිකර දීමට දැයි පැහැදිලි අදහසක් මේ දක්වා ප්‍රකාශ කර නැහැ. ඒ බව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කල්ලිය පසුගිය දිනවල ජනමාධ්‍යවලට කළ ප්‍රකාශ අනුව ද මනාව පැහැදිලි වෙනවා. පසුගිය තෙවසරට අධික කාලය පුරාම ජනතාව හමුවේ වැපිරූ ආකර්ෂණීය කතා (විදුලි පුටුව, කොටි නැගිටීම, රට බෙදීම, ෆෙඩරල් ව්‍යවස්ථාව, ආර්ථික අර්බුදය, බුද්ධාගමට ඇති තැන අහිමි කිරීම, රණවිරුවන් පාවාදීම වැනි ) කාලයාගේ ඇවෑමෙන් හුදු කතා බවට පත්වීම තුළ රාජපක්ෂ කල්ලියට තවදුරටත් ආකර්ෂණීය සටන් පාඨ සොයා ගැනීමේ දැඩි අභියෝගයක් තිබෙනවා. කොටින්ම අද රාජපක්ෂ කල්ලියට අවම වශයෙන් සිංහල බෞද්ධ අන්තවාදීන් පවා ආකර්ෂණය කරගත හැකි සටන් පාඨ හෝ ලබාදිය හැකි පොරොන්දු කිසිවක් නැහැ. ඔවුන්ට තවදුරටත් විකිණිය හැකි එකම භාණ්ඩය වන්නේ කල් ඉකුත්ව ඇති බවට ලේබල් වැදී ඇති මහින්ද රාජපක්ෂ මහතා පමණයි.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කල්ලිය පසුගිය 2015 ජනවාරි 09 වැනිදා සිට පා ගමන්, උද්ඝෝෂණ ඇතුළු නිමක් නැති ආණ්ඩු පෙරැළීමේ සූදානම ගැන පොරොන්දු දුන්නා. ඒත් පසුගිය කාලය තුළ ඒ කිසිවක් සිදු වුණේ නැහැ. ඒ වෙනුවට සිදු වුණේ දවසින් දවස ආණ්ඩුව ශක්තිමත් වීම සහ ආණ්ඩුවේ බලය තහවුරු වීම පමණයි. මෙැනි තත්ත්වයක් හමුවේ තම විශ්වාසනීයත්වය මුළුමනින්ම බිඳ ගෙන සිටින රාජපක්ෂ කල්ලියට තවදුරටත් ආණ්ඩු පෙරැළීමේ කතා කීෙම් හැකියාවක් තිබෙනවාද ? යන්න විමතියට කරුණක්.

මේ තත්ත්වය තුළ සැප්තැම්බර් 05 උද්ඝෝෂණය පැහැදිලිවම කේන්ද්‍රගත වනු ඇත්තේ “මහින්දට තුනක් පුළුවන්” යන අවස්ථාවාදී ව්‍යාජ ප්‍රවාදය සමාජගත කිරීමට පමණක් බව ඉතාම පැහැදිලියි. ඒ අතර බැසිල්, ගෝඨා, චමල් කපා දමමින් ඔටුන්න හිමි කුමාරයා අභිෂේක කිරීමක් සිදුවනු ඇති බව ද පැහැදිලියි. මේ උද්ඝෝෂණයේ න්‍යායාචාර්යවරයා බවට නාමල් රාජපක්ෂ පත්වීම තුළ සැබෑ අරමුණ පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගත හැකියි. මේ අනුව අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ සැප්තැම්බර් 05 වැනිදා උද්ඝෝෂණය කිසිම ආකාරයක ජනතාවාදී අරමුණක් නැති රාජපක්ෂ පවුල් ව්‍යාපෘතියක් බවට ඌණනය වූ එකක් පමණක් බවයි.

බල්ලෝ බිරුවට තවලම යනවා

රාජපක්ෂ කල්ලිය මේ විරෝධතාව සංවිධාන කරන්නේ වත්මන් ආණ්ඩුව තම තෙවසර ගෙවී ගිය පසු දැවැන්ත ආර්ථික හා සමාජ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම සමඟයි. රාජපක්ෂ යුගයේ හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ක්‍රියාත්මක වීම සමඟයි. ගෝඨාභය රාජපක්ෂ, ගාමිණි සෙනරත් ඇතුළු රාජපක්ෂ ප්‍රබලයන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට කැඳවීම ආරම්භ කිරීම සමඟයි.

රාජපක්ෂ යුගයේ පව් ගෙවීමට (ණය කන්ද) ගෙවී ගිය තෙවසර තුළ මහත් කැප කිරීමක් කළ ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ දිනාගත් ජයග්‍රහණවල ප්‍රතිඵල ජනතාව වෙත ගලා යන තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි. එමගින් රාජපක්ෂ කල්ලිය පසුගිය කාලය පුරාම මතුරන “වෙනස සැපද ?” “සංවර්ධනය කෝ ? ” වැනි කතාවලට නිසි පිළිතුරක් ලබාදීමටයි. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නායකත්වය දෙන මොරගහකන්ද - කළුගඟ මහා වාරි ව්‍යාපාරය, වයඹ ඇළ, ගමට සංවර්ධනය ගෙන යන “ග්‍රාම ශක්ති” සහ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන, වැව් දහසක් ගම් දහසක් වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙනවා. මේ ව්‍යාපෘති මගින් ග්‍රාමීය ජනතාවට, විශේෂයෙන් ගොවි ජනතාවට දැවැන්ත ප්‍රතිලාභ ලබාදීමක් සිදු වෙනවා. මේ වැඩපිළිවෙළ සමඟ රාජපක්ෂ කල්ලියට ගම, ගොවි ජනතාව තවදුරටත් රැවටීමේ අවස්ථාව අහිමි වන බව පැහැදිලියි.

ඒ සමඟ ආර්ථික හා සමාජ සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය විසින් නායකත්වය දෙන, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා, ගම්පෙරළිය, උදාගම් සංකල්පය, මෙගා නගර ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ හරහා ජනතාවගේ ආදයම් තත්ත්වය ඉහළ යාම, සේම රැකියා බිහිවීම ද වේගවත් වන බව පැහැදිලිව දැකිය හැකියි. මේ වැඩසටහන්වල ක්‍රියාකාරීත්වය සමඟ තරුණ තරුණියන් ඇතුළු සමාජයේ අති විශාල පිරිසක් රාජපක්ෂ ග්‍රහණයෙන් මිදී ආණ්ඩුවේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩපිළිවෙළ සමඟ ඒකාත්මික වනු ඇතැයි විශ්වාස කළ හැකියි.

ලංකා ඉතිහාසය තුළ සමාජ හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මෙතරම් පුළුල් හා ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන් රැසක් එකවර, ඉතාම කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවයි ආර්ථික හා දේශපාලන විශේෂඥයෝ කියන්නේ. ඔවුන්ට අනුව ආණ්ඩුවේ වත්මන් ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන් රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක වූ හම්බන්තොට කේන්ද්‍රීය ඌන ආර්ථික උපයෝගී (ආර්ථික හෝ සමාජ සංවර්ධන ප්‍රතිලාභ ලබාදීමට අසමත් ) වැඩසටහන් කිහිපයට වඩා සම්පූර්ණයෙන් වෙනස් තිරසාර සංවර්ධන වැඩසටහන් වශයෙන් සැලකිය හැකි ඒවායි. මේ සියලුම වැඩසටහන් සහ ව්‍යාපෘති ඍජුව ජනතාවට ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ ලබා දෙනවා. එය කෙටිකාලීන, මැදි කාලීන හා විශේෂයෙන් දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධන සැලසුම් අනුවයි ක්‍රියාත්මක වන්නේ. මේ අනුව අපට පෙනී යන්නේ “බල්ලෝ බිරුවට තවලම යනවා” යන කියමන සනාථ කරමින් කොතරම් කඩාකප්පල් කිරීම් හා බාධා කිරීම් මධ්‍යයේ පවා ආණ්ඩුව ජනවාරි 08 වැනිදා පොරොන්දු වූ ආකාරයට රටේ සමාජ හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

ජනතාව යළි රැවටිය හැකිද ?

වත්මන් තත්ත්වය තුළ යහපාලන ආණ්ඩුව යළිත් ක්‍රමිකව එහෙත් වේගයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අහිමි කරගත් හෝ ඈත් කරගත් ජනතාව යළිත් තමන් වෙත දිනා ගනිමින් සිටින බවක් පැහැදිලිව දැකිය හැකියි. කඩිනමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්, රජයේ රැකියා ලබාදීම, විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීම, ජාතික විගණන පනත සම්මත කිරීම ආදි ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සේම, පාසල් සිසු සිසුවියන් සඳහා වන “සුරක්ෂා රක්ෂණය” සෞඛ්‍ය අංශය තුළ සිදුවන දැවැන්ත සුබසාධන කටයුතු, උදාගම් වැඩසටහන, ගම්පෙරළිය, ග්‍රාම ශක්ති වැනි වැඩසටහන් ඒ සඳහා පුළුල් ජවයක්, ආලෝකයක් ලබා දෙන බවක් දැකිය හැකියි. ඒ ආකාරයෙන්ම ආණ්ඩුක්‍රම හා දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව, ජාත්‍යන්තර බලපෑම් පිළිබඳව රාජපක්ෂ කල්ලිය විසින් පත්තු කළ බෝම්බ අද ඔවුන් අතේම පත්තු වන ආකාරයක් දැකිය හැකියි. ඔවුන් විසින් නිර්මාණය කළ යක්ෂයා අද ඔවුන්ම බිල්ලට ගන්නා තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා.

මේ තත්ත්වය තුළ රාජපක්ෂ කල්ලිය තවත් පහසු ගොදුරු බිමක් සොයා ගැනීමට ඉව අල්ලනු ඇති බවට සැකයක් නැහැ. ඒ නිසා “තලියේ කිඹුලන් දැකීම” අනුවණ කමක් වුවත් රාජපක්ෂ කල්ලිය තලියේ නොව අල්ලේ පවා කිඹුලන් මැවිය හැකි අවස්ථාවාදීන් නිසා සැප්තැම්බර් 05 වැනිදා ගැන ආණ්ඩුව සේම ජනතාවත් දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ තම පැවැත්ම වෙනුවෙන් මේ කල්ලිය ඕනෑම අවදානමක් ගැනීමට සූදානමින් සිටින බව පැහැදිලිව දැකිය හැකි නිසයි. රාජපක්ෂ කල්ලිය ගන්නා මේ අනුවණ අවදානම ආණ්ඩුවට අවදානමක් නොවිය යුතු බව අපගේ අදහසයි.

සටහන භාතිය බරුකන්ද


නව අදහස දක්වන්න