රාගම හන්දිය තාම එක තැන | දිනමිණ

රාගම හන්දිය තාම එක තැන

රාගම දුම්රිය මංසන්ධිය කොළඹින් උතුරු ප්‍රදේශයට යන විට හමුවන ප්‍රථම මංසන්ධියයි. ප්‍රධාන මාර්ගයෙන් බෙදී පුත්තලම දක්වා දිවෙන මාර්ගය ආරම්භ වන්නේ රාගම දුම්රිය මංසන්ධි‍ස්ථානයෙනි. මෙම නිතර ජනාකීර්ණ වන දුම්රිය මංසන්ධිස්ථානයේ දුම්රිය මගී පහසුකම් සෑහීමකට පත්විය හැකි මට්ටමක නොපවතී. මෙහි බාහිර අලංකාරය තරමක් දුරට ඇති බව පිළිගනිමු.

එසේ වුවද දුම්රිය මංසන්ධිස්ථානයකට ගැළපෙන පරිදි දියුණුවක් දැකගත නොහැකි බව පෙන්වාදීම යුක්ති යුක්තය. අංක 01 වේදිකාවේ සහ අංක 03 - 04 වේදිකාවල වැසිකිළි කැසිකිළි පහසුකම් ඇතත් පිරිසිදුකම අතින් පහළ මට්ටමක පවතී. අංක 03 හා 04 වේදිකාවේ කාන්තාවන් සඳහා වැසිකිළි කැසිකිළි පහසුකම් ‍නොමැත.

දුම්රිය ප්‍රවේශපත්‍ර කාර්යාල ගොඩනැගිල්ලේ කාලසටහන් විධිමත්ව ඇතත් එම ස්ථානයේ වේලාව බලාගැනීමට ඔරලෝසුවක් නොමැතිකම අඩුපාඩුවකි.

අංක 01, 02 හා 03 - 04 වේදිකාවල ඇති මකුණන් පිරුණු ලී බංකු මගීන්ට පහසුකම වෙනුවට අපහසු තත්ත්වයක් උදාකරන බව පෙනෙන්නට ඇත. දුම්රිය මගීහු අසුන්වල වාඩි වී ටික වේලාවකින් නැඟිට යන්නේ 'මකුණු දෂ්ටය' දරාගත නොහැකි නිසාය.

'රාගම හන්දිය' නමින් නාමපුවරු කීප පළක ඇත. බිත්ති වර්ණ ගන්වා ඇත. නිරතුරු දුම්රිය ස්ථානය පිරිසිදුව තබාගැනීමට සේවක මහත්වරුන්ට විශාල වෑයමක් දැරීමට සිදුව ඇත.

පෞද්ගලික ආයතනයක අනුග්‍රහයෙන් මල්පෝච්චි ස්ථානගත කර ඇති අතර ඒවා හිස් අරක්කු කාල බෝතල හා ප්ලාස්ටික් අසුරණ දමන ස්ථාන බවට පත්ව ඇත.

බාහිර අලංකාරය ගැන සැළකිලිමත් වීම හොඳ දෙයකි. අනෙකුත් පෙර කී පහසුකම් ලබාදීමට බලධාරීන්ගේ අවධානය යොමුවීම වැදගත් වෙයි. රාගම දුම්රිය මංසන්ධිස්ථානය පිරිසිදුව පහසුකම් සහිතව පවත්වාගෙන යාමට ද දුම්රිය මගීන්ගේ සහයෝගය ද දැනට වඩා අවශ්‍යව පවතී.

මෙහිලා දැක්වූ පහසුකම් ලබාදීම කෙරෙහි ප්‍රවාහන ඇමැතිවරයාගේත්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේත් පූර්ණ අවධානය යොමුවේවා!

ඩික්සන් කොංගනීගේ
රාගම

 

නව අදහස දක්වන්න