වෙදගමේ රෝගයට වෙදකමක් නැද්ද? | දිනමිණ

වෙදගමේ රෝගයට වෙදකමක් නැද්ද?

උදිත ගුණවර්ධන

* ඔසු උයන දැන් වන රොදක්
* බස් නැති නිසා රෝගීන් නැහැ
* අවුරුදු තිහයි ඔප්පු නැහැ
* ඉඩම් බොහොමයක පදිංචියක් නැහැ
* රෝහලට තැබු මුල් ගල මුල් අදී

උදාගම් සංකල්පය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේය.ඔහු නිවාස ඉදිකිරීම් ඇමැතිවරයා ලෙස ආරම්භ කළ උදාගම් සංකල්පය ලෙස ඔහුගේ අභාවය තෙක්ම අඛණ්ඩව ක්‍රියාත්මක කළේය. එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ මෙම සංකල්පය අන්තර් ජාතික ලෙසද විශාල අගැයුමකට ලක්විය. ඔහුගේ මෙම සංකල්පය දුප්පත් ජනතාව නගා සිටුවන සංකල්පයක් පමණක්ම නොවී සමාජයේ විවිධ වෘත්තිකයන් නගා සිටුවන සහ ඔවුනගේ සුබසාධනය මුල්කර ගත් වැඩසටහනක් බවටද පත්විය. ගුරුවරු රාජ්‍ය සේවකයන් මෙන්ම වෙනත් වෘත්තිකයන්ටද මෙයින් සෙත සැලසණි. මේ සියල්ල අතර රටට ම එකක් පමණක් වන උදාගමක් ද ඉදිවුණි. එම උදාගම වෙන් වුයේ මෙරට දේශීය වෙදකමේ මුදුන් මුල් බඳු වෙදමහත්වරුන් උදෙසාය. එම උදාගම සඳහා තෝරා ගත්තේ දේශීය වෙදකමේ නිජබිමක් ලෙස සැලකෙන ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල සහ පූගොඩ ආශ්‍රිත ප්‍රදේශයේ තරාල ප්‍රදේශයේ බිමකි. නව ගම්මානය ඉදිකිරිමේදී සාමාන්‍ය උදාගම් සංකල්පයෙන් බැහැර වී සාම්ප්‍රදායික වෙද ගෙදරකට අවශ්‍ය අංගෝපාංගද මෙම නිවාසවලට ඇතුළත් කෙරුණි. එහෙදී සෑම නිවෙසකටම අක්කරයක ඉඩමක් ලැබුණ අතර පොදු වශයෙන් අවශ්‍ය පහසුකම් මෙන්ම අක්කර හතරක ඔසු උයනක්ද මෙයට ඇතුළත් විය.

මේ ආකාරයේ පුර්ණ පහසුකම් සහිත උදාගමක් ලෙස බිහි වු මෙය “ වෙදගම“ ලෙස නම් කෙරුණි. 1984 වර්ෂයේ වෙදදැරුන් සතුවු මෙය එතැන් සිට කීර්තිමත් ලෙස ඉදිරියටම ගමන් කළේය. මෙම උදාගම සඳහා වෙදමහත්වරු තෝරා ගත්තේ රෝග විසිපහක් මුල් කරගෙනය. ඒ ඒ රෝගවලට විශේෂඥ තාවයක් දක්වන වෙදමහත්වරුන්ට මෙම ගම්මානයේ ගම්වැසි භාවය ලබා දෙනු ලැබීය.

හොරිවිල වෙද පරපුරේ හොරිවිල වෙදමහතා මුල් කර කර ගත් මෙම ගම්මානයේ නිවාස විසිපහටම වෙදමහත්වරු පදිංචියට පැමිණ අතර මෙම සෑම නිවෙසකට නිතිපතා වෙදහෙදකම් ඉතාමත් සාර්ථක ලෙස සිදු විණ.

කාලයත් සමග සියල්ල වෙනස් වු අතර එහි තිබු සාර්ථකත්වයද ජනතා ආකර්ශනයද පහළ යන්නට විය. මෙයට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අභාවයදය මුලික කරුණක් වු අතර අද වන විට එම ගම්මානයේ තත්ත්වය ඉතාමත් දුක්ඛිතය.

එදා කීර්තිය සහ අභිමානය උතුරා ගිය වෙදගම අද වන විට වනගතව තිබේ යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. මේ ගම්මානය මෙසේ වුයේ ඇයිද යන්න වෙසෙසින් සලකා බැලිය යුතු අතර රුපියල් කෝටි ගණනක් වටිනා පොදු දේපළ විනාශ වෙමින් තිබෙන අයුරු සියැසින් දුටු වෙමු. වෙදගම ට පිවිසෙන පිවිසුම් දොරේ සිටම අද ඇත්තේ විනාශයක ලකුණුය. එදා ආරක්ෂිත මුර කපොල්ලක් ලෙස පවත්වා ගෙන ගිය ගේට්ටුව අද වනවිට දිරාපත්ව ගොසිනි මුර කුටිය කැලේට වැසී ගොස්ය. එහි අද ලැගුම් ගෙන සිටින්නේ අයාලේ යන සුනඛයන්ය. එතැන් සිට ඉදිරියට අප දුටුවේ විනාශයක ලකුණු පමණි. මෙම ගම්මානයේ තවමත් අබලන්ව නැත්තේ මාර්ගය පමණි. එයට හේතුවී තිබෙන්නේ මෙම මාර්ගයේ වාහනයක් දිනකට හතරපස් වතාවක්වත් නොයෑමය.

අප රථයෙන් බැස ඉදිරියට යද්දි සිහිපත් වුයේ කලකට ඉහත අප යාපනය දිස්ත්‍රික්යේ යුද්ධයෙන් විනාශ වු ප්‍රදේශවල කළ සංචාරයකි. එදා දුටු දේත් අද අප දකින දේත් අතර පුදුමාකාර සමානකමක් තිබේ.එදා උතුරේ බිඳ වැටුණ නිවාස සහ අද වෙදගම ගරා වැටුණ නිවාසවල ඇත්තේ සමාන තාවයකි. අද නිවාස විසිපහෙන් දහයක්ම සම්පුර්ණයෙන් බිඳි ගොස්ය. අනෙක් නිවාස බොහොමයක් අර්ධ වශයෙන් හානියට පත් ඒවාය. මෙම අර්ධ වශයෙන් හානියට පත් නිවාසවල පදිංචිකරුවන්ද සිටිති. ඔවුන් කීර්තිමත් වෙදපරපුරවලින් පැවැත එන්නන්ය.එහෙත් අද වන විට ඔවුනට තම වෘත්තිය නිසි ලෙස කර ගෙන යාමට හැකියාවක් ලැබී නැත.එයට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ රෝගින්ගේ අඩුකමයි. මෙයට හේතු ලෙස ඔවුන් සඳහන් කරන්නේ පොදු පහසුකම්වල අඩුකමය. එදා කොළඹ සිට වෙදගම දක්වා බස් සේවයක් තිබුණි. එනිසා එදා දුරබැහැර සිට පැමිණෙන අයට වෙදගමට පැමිණිමට ලාභදායක ප්‍රවාහන ක්‍රමයක් නැත. අඩුම වශයෙන් කිරිඳිවැල හෝ පුගොඩ සිට හෝ පැමිණීමට පොදු පහසුකමක් නැත.මේ තත්ත්වය තුළ හුදෙකලාව ඇති දුරබැහැර තිබෙන වෙදගමට රෝගින්ට ප්‍රවිශ්ඨ වීමට ඇත්තේ වෙහෙසකර උත්සාහක් සිදු කිරීමටය.

පසුගිය කාලයේදී මෙම ගම්මානය නැවත නගා සිටුවීමට උත්සාහක් ගත්තද එම උත්සාහයද නාස්තිකාර වියදමක් බවට පත්ව තිබේ. ගම් වැසියන් සඳහන් කරන ආකාරයට ඔසු උයන නැවත ප්‍රතිස්ථාපනය කිරීමට විශාල වියදමක් දැරුවද එම වියදම මේ වන විට අපතේ ගිය දෙයක් බවට පත්ව තිබෙන්නේ ඔසු උයන වන උයනක් බවට පත්ව තිබීම නිසාය. එමෙන්ම පසුගිය අවුරුද්දේ මෙම ගම්මානය ඇසුරේ නව ආයුර්වේද රෝහලක් ඉදිකිරීමට යෝජනාව වී මුල්ගල් පවා තබා තිබුණද මෙතෙක් එම රෝහල ඉදිකිරීම තබා එක් ගඩොල් කැටයක් හෝ බදාමයක් තැබු ආකාරයක් හෝ දක්නට නැත. එදා කීර්තිය පැතිරු වෙදගම කෙමෙන් ස්භාවික මරණයක් වෙත ගමන් කරමින් තිබෙන්නේ මේ ආකාරයටය.

තත්ත්වය එසේ වුවද නිවාස කිහිපයක පමණක් නිසි නඩත්තු සහ වෙදකම් නිසි ආකාරයෙන් කරන ආකාරයක් දක්නට ලැබේ. එයට එම නිවාසවල සිටින පුද්ගලයන්ගේ මැදහත් වීම සහ ක්‍රියාකාරිත්වය බලවත් ලෙස බලපා තිබේ.

අපට මුලින්ම මුණ ගැසුනේ ජයසේන මහතාය.

“ අද වෙනකොට ගොඩක් අය වෙදකම් අතහැරලා තියෙන්නේ .එයට හේතුව මේ වෙදකම් මගින් නිසි ආදායමක් ලබා ගන්න බැරි වීම. අනෙක අද ගොඩක් අය මේ නිවාස අතහැරලා ගිහින් . ඉදිහිටලා එනවා. මම කරන්නේ බෙහෙත් වර්ග නිෂ්පාදනය කිරීම සහ ඒ වැඩවලට උදව් කරන එක.

වෙද මහත්මියක වන ආර් කේ ජී පි මාලිනී මහත්මිය.

“ අපිට එදා ගොඩක් පහසුකම් තිබුණා සෙනග ආව විතරක් නොවෙයි හොඳ ආදායමකුත් ලැබුණා..අද වෙද්දි ඒ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වෙලා.අද අපිට වෙදකම වෘත්තියක් විදිහට කරලා ජිවත් වෙන්න බැහැ. ඒ නිසා තමයි සමහරු මේවා අතැර යන්නේ.

අනෙක අවුරුදු තිහක් වෙලත් තාම අපිට ඔප්පුවක් නැහැ ඒ නිසා නිසි වටිනාකමක් පිළිගැනීමක් නැහැ. මේ හැම දෙයක්ම බලපා තිබෙනවා වෙදගම බිඳ වැටීමට .අපේ තාත්තල තමයි මේ ගමට ආවේ අද තාත්තලා නැහැ ඒත් අපි තාත්තලා ආරම්භ කළ ව්‍යායාමය ඉස්සරහට අරන් යනවා. අපි පැවැත එන්නේ මහනුවර වෙද පරපුරෙන් ඒ විදිහෙ ප්‍රසිද්ධ වෙද පරපුරු රැසක වෙදමහත්වරු එදා මෙහි සිටියා. ඒත් අද තත්ත්වය කණගාටුදායකයි. මේ වෙද්දි අපිට ගමක් විදිහට ලැබෙන්න ඔන ගොඩක් දේවල් අහිමි වෙලා තියෙන්නේ.

මාලිනි වෙදමහත්මියගෙන් සමුගත් අප වෙදගම පුරා ඇවිද යද්දි අපට හමු වුයේ ගමේ අන්තිම නිවෙසයි මෙය ගම කොනට වෙන්නට තිබුණද එහි වාසය කළේ ජාතික සහ ජාත්‍යන්තර කීර්තියට පත් වෙද මහතෙකු වන ඒකනායක වෙද මහතාය. අප වෙදගමේ දුටු සුන්දර සහ අංග සම්පුර්ණ වෙද නිවසේ අයිතිකාරු ඒකනායක වෙද මහතාය.ඔහු වෙදගම පදිංචියට පැමිණ ඇත්තේ 2002 වසරේදීය රත්මලානේ වෙද පරපුරකින් පැවත එන ඔහු ට වෙදගම ගැන මනා අවබෝධයක් තිබේ.

“අපිට ඕනැ වෙදගම ආයේ ඉහළට ගන්න තනි තනි අය ගොඩ යාම නොවෙයි වෙන්න ඕනැ. ප්‍රේමදාස මහත්තයා මේ ගම පිහිටෙව්වේ උතුම් අරමුණක් ඇතිව ඒ අරමුණ එක්ක අපි ඉන්න ඕනැ. අද සමහරු නමට වෙදගම වුණාට පදිංචියක්වත් නැහැ.ඒ වගේ අයගෙන් මේ ගමට වැඩක් නැහැ හෙළ වෙදකමට වැඩක් නැහැ. ඒ නිසා කරන්න තියෙන්නේ වැඩක් කරන්න පුළුවන් වෙද මහත්වරු ඉන්නව නම් මේ අයට ගමේ ඉඩකඩ වෙන්කර දෙන එක. අනෙක ඉඩම් ඔප්පු ගැනත් බලධාරීන් බැලිය යුතුයි.

වෙදගමෙන් රටට ලොකු වැඩක් කරන්න පුළුවන් මේ සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව අවධානය යොමු වෙන්න ඕනෑ.ඒත් එහෙම දෙයක් අද වෙනකම් දැකලා නැහැ..කාලයෙන් කාලයට මහත්වරු නෝනලා එනවා බලනවා යනවා එහෙම වුණා කියලා මේ දේවල් දියුණු කරන්න වත් නැගිටුවන්නවත් බැහැ . පහුගිය අවුරුද්දේ රෝහලක් හදන්න කියලා ලොකු සද්දයක් දාල මුල් ගලක් තිබ්බා මම තමයි ඒකේ පුජා විදි කළෙත් එහෙත් තාම ඒ මුල් ගල පැළ වෙනවා විතරයි ඉදිකිරීමක් නැහැ. මේ රෝහල ඉක්මනින් ඉදිකරන්න කියලා මම බලධාරීන්ට යෝජනා කරනවා.

කලක් ජනතාව දහස් ගණනින් පැමිණි වෙදගම බිඳ වැටීම කනගාටුදායකය. දිරා යමින් තිබෙන්නේ මහජන දේපළය මේ මහජන දේපළ සුරැකීමට ඉක්මන් වැඩපිළිවෙලක් යෙදීම හොඳය.

ඡායාරූප චමින්ද නිරෝෂණ


නව අදහස දක්වන්න