බිම්ස්ටෙක් සමු­ළුව...! | දිනමිණ

බිම්ස්ටෙක් සමු­ළුව...!

බෙංගාල බොක්කේ ඇති­වන වායු චලන හා පීඩන ඉන්දීය කලා­පයේ කාල­ගු­ණ­යට හා දේශ­ගු­ණ­යට බල­පායි. එලෙ­සම බෙංගාල බොක්ක ආශ්‍රිත රාජ්‍ය­යන්හි ආර්ථික හා වෙළෙඳ ගනු­දෙනු කලා­පීය සංව­ර්ධ­න­යට හා තිර­සාර පැවැ­ත්මට බල­පායි. මේ සම්බ­න්ධ­යෙන් රාජ්‍ය­තා­න්ත්‍රික කති­කා­වක් ඇති­වන ප්‍රධාන වේදි­කාව ලෙස බිම්ස්ටෙක් සමු­ළුව හැඳි­න්විය හැකි ය. බිම්ස්ටෙක් යන්න බහු­ආං­ශික තාක්ෂ­ණික හා ආර්ථික සහ­යෝ­ගී­තාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේ­ශය ලෙස හැඳින්වේ. මීට බෙංගාල බොක්ක සමුද්‍ර කලා­ප­යට සම්බන්ධ රාජ්‍යයෝ හතක් ඇතු­ළත් වෙති. බංග­ලි­දේ­ශය, නේපා­ලය, ශ්‍රී ලංකාව, ඉන්දි­යාව, භූතා­නය, මිය­න්මා­රය හා තායි­ල­න්තය එම රාජ්‍ය­යන් ය.

ලෝක ආර්ථි­කය දෙස බල­න­විට ද ලෝක දේශ­පා­ල­නය දෙස බල­න­විට ද පැහැ­දිලි වන්නේ රට­වල් අන්ත­ර්ජා­තික වශ­යෙන් සේම කලා­පීය වශ­යෙන් ද ඒක­රාශී වන බව ය. මෙලෙස ඒක­රාශී වීමේ ප්‍රධාන ඉලක්ක දෙකක් පවතී. පළ­මු­වන්න සහ­යෝ­ගී­තාව ඔස්සේ පොදු ගැටලු විස­ඳා­ගැ­නීම ය. දෙවන්න තාක්ෂ­ණය හා අත්දැ­කීම් හුව­මාරු කර­ග­නි­මින් සංව­ර්ධන අභි­යෝ­ග­ව­ලට මුහු­ණ­දීම ය. කලා­පීය වශ­යෙන් ඒක­රාශී වීම ගත්කල විශේෂ වාසි සල­සා­ගත හැකි ය. ඊට හේතුව එක කලා­ප­යක රට­වල ගැට­ලු­වල පර්යාය බවක් හෙවත් සමා­න­ක­මක් තිබීම ය. බෙංගාල බොක්ක ආශ්‍රිත රට­වල කාල­ගු­ණික විප­ර්යාස මීට කදිම නිද­සු­නකි.

මෙවර බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමු­ළුව පැවැ­ත්වූයේ නේපා­ලයේ කත්මණ්ඩු නුවර ය. එය හත­ර­වන රාජ්‍ය­තා­න්ත්‍රික සමු­ළුව ලෙස හැඳි­න්වෙන අතර ඊයේ එහි අව­සන් දිනය විය. ශ්‍රී ලංකාව වෙනු­වෙන් ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා සමු­ළුව නියෝ­ජ­නය කළේය. ජනා­ධි­ප­ති­ව­රයා විශේෂ කරුණු දෙකක් කෙරෙහි සමු­ළුවේ අව­ධා­නය යොමු කළේ ය. පළ­මු­වන අව­ධා­ර­ණය වූයේ මේ රට­වල් මුහුණ දෙන ස්වාභා­වික විප­ත්ව­ලට මුහු­ණ­දිය යුතු ආකා­රය ගැන ය. දෙවන අව­ධා­ර­ණය වූයේ කලා­පයේ ප්‍රධාන අභි­යෝ­ග­යක් වන මත්ද්‍රව්‍ය උව­දුර වළක්වා ගන්නේ කෙසේ ද යන්න ගැන ය. මේ ගැටලු දෙක අපේ ර‍ටවල් මුහු­ණ­දෙන ප්‍රධාන අභි­යෝග ලෙස පවතී.

මෙබඳු සමු­ළු­ව­කදී රට­කට ලැබිය හැකි තවත් අම­තර වාසි­යක් පවතී. එනම්; රාජ්‍ය නාය­ක­යන් හමුවී ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වී­මට අව­ස්ථාව උදා­වීම ය. ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා ඉන්දීය අග­මැති මෝදි මහතා හමුවී සාකච්ඡා පැවැ­ත්වීය. නේපා­ලයේ නාය­ක­යන් කිහි­ප­දෙ­නකු සමඟ ද සාකච්ඡා පැවැ­ත්වීය. නේපාල රජය සමඟ ගිවි­සුම් කිහි­ප­යක් අස්සන් කිරී­මට ද නිය­මි­තව තිබිණි. ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාට අනුව ශ්‍රී ලංකාව දැන් වඩාත් යහ­පත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රාජ්‍ය­යක් ලෙස පවතී. මෙහි නිය­මුවා ලෙස සැලැ­කිය හැක්කේ මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා බව මෝදි මහතා පෙන්වා දෙයි.

ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා සිය බිම්ස්ටෙක් දේශ­නයේ දී අව­ධා­ර­ණය කරන කරුණු අතර; ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ස්ථාපිත කිරීම හා වංචා - දූෂ­ණ­ව­ලට වැට බැඳී­මත් පවතී. මේ සාධක දෙක සඳහා ම වත්මන් රජය හා ජනා­ධි­ප­ති­ව­රයා විශේෂ පරි­ශ්‍ර­ම­යක් දරා ඇත. ඇතැම් වෙන­ස්කම් කිරීම සඳහා ආය­ත­න­වල පරි­පා­ලන ව්‍යූහය පවා වෙනස් කිරී­මට සිදුවී ඇත. විශේ­ෂ­යෙන් වංචා­වට, දූෂ­ණ­යට, අල්ල­සට එරෙ­හිව ගනු ලබන ක්‍රියා­මාර්ග ජන­ප්‍රිය වන්නේ නැත. ඒවාට එරෙ­හිව නැ‍ඟෙන බල­වේග මහ­ජ­නයා කුපිත කර­වන සුලු ක්‍රියා­මාර්ග ගන්නා බව ද පෙනී යයි. එහෙත් ඒවා දරා­ග­නි­මින් ද, ඊට මුහු­ණ­දෙ­මින් ද අභි­යෝ­ගා­ත්මක පාල­න­යක යෙදෙ­න්නට ජනා­ධි­ප­ති­ව­රයා සමත්වී ඇත. එය සෙසු රට­ව­ලට ද සාධ­නීය අත්දැ­කී­මක් වනු ඇත.

දූෂණ - වංචා හා අක්‍ර­මි­කතා ගත­හොත් රට­වල් හතම මුහු­ණ­දෙන පොදු සාධ­ක­යක් ලෙස එය ගත හැකි ය. මෙහිදී ඉන්දි­යාව හා ශ්‍රී ලංකාව ඒ සම්බ­න්ධ­යෙන් ඉදි­රි­ගාමී පිය­වර රැසක් ගෙන තිබේ. රට­වල් දෙකෙ­හිම දූෂ­ණ­යට එරෙ­හිව ක්‍රියා­ත්මක වන ජනතා ව්‍යාපාර තිබේ. මේ ව්‍යාපාර විශාල වැඩ­කො­ට­සක් ඉටු­ක­රන අතර ඔවුන්ගේ ක්‍රියා­කා­රි­ත්ව­යට බල­පාන ප්‍රධාන සාධ­කය ලෙස පව­තින්නේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී නිද­හස ය. මේ ක්‍රියා­දාම දෙක එකි­නෙ­කට සම්බන්ධ ය. ඒකා­ධි­පති පාල­න­යක් සහිත රාජ්‍ය­යක දූෂ­ණ­යට එරෙ­හිව ක්‍රියා­ත්මක වීම අප­හසු ය. ඉන්දි­යාව මෙන්ම ශ්‍රී ලංකාව ද මේ අංශ­යෙ­හිලා පූර්වා­දර්ශ ලෙස ගත හැකි ය.

බිම්ස්ටෙක් රාජ්‍ය­යන් මුහු­ණ­දෙන තවත් ප්‍රධාන අභි­යෝ­ග­යක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවා­රම වැළැ­ක්වීම ය. මත්ද්‍රව්‍ය රටක සෙසු අප­රා­ධ­ව­ලට ද සම්බන්ධ ප්‍රධාන සාධ­ක­යක් ලෙස පවතී. මිනිස් ඝාතන, අවි - ආයුධ ජාවා­රම් සේම තවත් අප­රාධ මත්ද්‍රව්‍ය වෙළෙ­ඳාම සමඟ එකට ගැට ගැසී ඇත. මේ ජාවා­ර­ම්ක­රු­වන් කෙත­රම් බල­වත් ද යත්; ආණ්ඩු පත්කි­රී­මට, නාය­ක­යන් පත් කිරී­මට කුඩු ජාවා­ර­ම්කා­රයෝ සම්බන්ධ වෙති. ඇතැම් දේශ­පා­ල­ක­යන් උදෙසා සල්ලි වීසි­ක­රන තැනැත්තා වී ඇත්තේ කුඩු වෙළෙන්දා ය. මේ තත්ත්වය පාල­නය කිරීම හෝ මැඩ­පැ­වැ­ත්වීම හෝ කෙත­රම් දුෂ්කර ද යන්න පැහැ­දිලි වන්නේ හිර­ගෙ­දර පෝර­ක­යට නියම වූ අප­රා­ධ­ක­රු­වන් එහි සිට රටේ කුඩු ව්‍යාපා­රය මෙහෙ­ය­වී­මෙන්ය.

ඉන්දීය සාගර කලා­පය මත්ද්‍රව්‍ය ජාවා­රම සම්බ­න්ධ­යෙන් ප්‍රකට ය. මත්ද්‍රව්‍ය ප්‍රවා­හ­නය බහුල වශ­යෙන් සිදු­වන්නේ මුහුදු මාර්ග­ව­ලින් ය. බංග­ලි­දේ­ශය, ශ්‍රී ලංකාව, ඉන්දි­යාව මේ අනුව කෙළින් ම මේ තත්ත්ව­යට ගොදුරු වෙති. තායි­ල­න්තයේ ජාවා­ර­ම්ක­රුවෝ ද ඊට එකතු වී සිටින බව කියති. පාකි­ස්ථා­නයේ ජාවා­ර­ම්ක­රු­වන් ශ්‍රී ලංකාවේ දී අත්අ­ඩං­ගු­වට පත් වී ඇත. කුමක් වුව මේ ජාවා­රම මැඩ­පැ­වැ­ත්වීම සඳහා ද මත් උව­දු­රෙන් තරුණ පර­පුර බේරා­ගැ­නීම සඳහා ද කලා­පීය වශ­යෙන් ක්‍රියා කිරීම ඉතා වැද­ගත් ය. ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා බිම්ස්ටෙක් සමු­ළු­වට යෝජනා කරන්නේ මත්ද්‍රව්‍ය උව­දුර වැළැ­ක්වීම සඳහා කලා­පීය වශ­යෙන් ක්‍රියා­ත්මක වන වැඩ­ස­ට­හ­නක් තිබිය යුතු බව ය. එය හොඳ යෝජ­නා­වකි.

ශ්‍රී ලංකාව ඉන්දි­යන් සාගර කලා­පයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍ර­යක් බවට පත් කිරීම අපේ දිගු­කා­ලීන ආර්ථික සැලැස්මේ ප්‍රධාන ඉල­ක්ක­යකි. එම ඉල­ක්කය ජය­ගැ­නීම සඳහා පූර්ව කොන්දේසි දෙකක් සපුරා ගත යුතුය. පළමු කොන්දේ­සිය වන්නේ අන්ත­ර්ජා­තික සහ­යෝ­ගය ලබා ගැනීම ය. එය දැනට ම සතු­ටු­දා­යක තත්ත්ව­යක පවතී. දෙවන කොන්දේ­සිය වන්නේ කලා­පීය සහ­යෝ­ගය ලබා­ගැ­නීම ය. බිම්ස්ටෙක් සමු­ළුව මෙන් ම සාර්ක් සංවි­ධා­නය ද මෙහිලා අම­තක කළ නොහැකි සාධක දෙකකි. ඉති­හා­සය නිරී­ක්ෂ­ණය කර­න­විට වුව පෙනී­යන්නේ ශ්‍රී ලංකාව අන්ත­ර්ජා­තික හා කලා­පීය රට­වල සහ­යෝ­ගය නොඅ­ඩුව ලබා­ගෙන ඇති බව ය. එම තත්ත්ව­යෙන් ද ඉදි­රි­යට අපට දැන් යා හැකි ය.

 

නව අදහස දක්වන්න