බංග්ලාදේශයේ මාධ්‍යවේදිනියක් නිවසේම කපා කොටා මරලා | දිනමිණ

බංග්ලාදේශයේ මාධ්‍යවේදිනියක් නිවසේම කපා කොටා මරලා

ඇය 9 හැවිරිදි දියණියකගේ මවක්

බංග්ලාදේශයේ මාධ්‍යවේදිනියක් සිය නිවස තුළ දී කපා කොටා මරා දමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 32 හැවිරිදි සුබර්ණා නොඩී නමැති ඇය ආනන්ද ටීවී නම් පෞද්ගලික පුවත් රූපවාහිනියක සහ ඩේලි ජග්‍රොටෝ බංග්ලා නම් පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකාරිනියක ලෙස සේවය කරන්නියකි.

පබ්නා දිස්ත්‍රික්කයේ රාධානගර්හි වාසය කරන සුබර්ණා නව හැවිරිදි දියණියකගේ මවක වන අතර ඇය තම සැමියාගෙන් දික්කසාද වීමට කටයුතු කර තිබූ අයකු බව ද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දරුණු කැපුම් පහරවලට ලක්ව ඇය මිය ගොස් ඇත්තේ ඇයගේ නිවස තුළ දී වන අතර ඒ සඳහා පුද්ගලයන් 10-12 ත් අතර සංඛ්‍යාවක් එක්ව ඇති බව විශ්වාස කෙරේ. රාත්‍රී 10.45ට පමණ යතුරු පැදියකින් පැමිණි අයකු නිවසේ සීනුව නාද කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

මේ ප්‍රහාරයට මුවහත් ආයුධයක් භාවිතා කර ඇති අතර දරුණු තුවාල ලැබූ ඇය අසල්වැසියන් විසින් රෝහල් ගත කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඇය මිය යාමට පෙර සිය පෙර සැමියාගේ නම පැවසූ බව මාධ්‍යවේදිනියගේ මව පොලීසියට පවසා ඇත.


නව අදහස දක්වන්න

Or log in with...