පිළිකා ඖෂධ මිල පහළට...! | දිනමිණ

පිළිකා ඖෂධ මිල පහළට...!

ඒඩ්ස් රෝගය හැරුණුකොට අපේ මිනිසුන් වැඩිපුරම බියට පත්වනුයේ පිළිකාවට යැයි කියන්නට පුළුවන. පිළිකාව යනු මරණය පිළිබඳ නිත්‍ය සටහනක් ලෙස සලකන්නට බොහෝදෙනා පුරුදු ව සිටිති. පළමුව පිළිකාව නිට්ටාවට සුවකළ හැකි; ඖෂධ හා ප්‍රතිකාර නො තිබිණි. බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා පිළිකාව මුළුමනින් සුවකළ හැකි; ඖෂධ, සැත්කම් හා තවත් දේවල් සොයා ගැනිණි. එහෙත් මේවා මිලෙන් අධික ය. ඒ අනුව දුප්පතාට පිළිකාවක් හටගැනීම මරණයට අතවැනීමකි. දිළිඳු ජනයා මිථ්‍යා විශ්වාස දෙසට ඇදී යන්නේ ද එම වටපිටාව තුළ ය.

යන්ත්‍ර - මන්ත්‍ර - තොවිල් ආදියෙන් පිළිකාව සුවකළ හැකි යැයි කිසිඳු අවස්ථාවක තහවුරු වී නැත. එහෙත් වෛද්‍ය ප්‍රතිකාරවල අධික වියදම මත අසරණ රෝගීන් එබඳු තැනකට තල්ලු වන්නට පුළුවන. නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින්නේ වුව; ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ‍රෝග සඳහා සියලු දේම නොමිලේ සැපයිය හැකි හැකියාවක් ද රටකට නැත. රෝගීන්ගේ ප්‍රමාණයට අනුව නොමිලේ සැත්කමක් කිරීමට බොහෝ කාලයක් බලා සිටීමට සිදුවනු ඇත. එය රෝගියා අමාරුවේ දැමීමකි. පෞද්ගලික ප්‍රතිකාර සේවා රටේ ව්‍යාප්ත වී ඇත. ඊට කව්රුත් කැමැති වෙති. මේ අනුව සිදුවිය යුත්තේ ප්‍රතිකාර සඳහා යන වියදම් අඩුකිරීම ය.

සෞඛ්‍ය අමාත්‍යවරයා තෙවන වරටත් ඖෂධ මිල පහත දැමීමට පියවර ගෙන ඇත. මෙහිලා විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ පිළිකා රෝගය කෙරෙහි ය. පිළිකා රෝගයට අදාළ එන්නත් හා ඖෂධ ගණනාවක් තිබේ. ඒවා ජීවිතාරක්ෂක ඖෂධ, රෝගය මර්දනය කරන ඖෂධ, වේදනා නාශක ඖෂධ ආදී ලෙසින් වර්ගීකරණයට ලක් වේ. ඇතැම් ඖෂධයක මිල රුපියල් දෙලක්ෂ අසූදහසක් පමණ ය. එම ඖෂධයෙහි මිල රුපියල් අනූපන්දහස දක්වා අඩුකර ඇත. මෙබඳු මිල අධික ඖෂධ වර්ග පහළොවක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි පහත දමා ඇත. තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග දහයක මිල ද ප්‍රතිකාර සඳහා යොදාගනු ලබන උපකරණ දෙකක මිලද පහත දමා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රචලිත රෝග කිහිපයක් තිබේ. එම රෝග වන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, පිළිකා, වකුගඩු රෝග හා ඇදුම ආදිය යි. ඇතැම්විට මේ රෝග සඳහා ජීවිත කාලය පුරාවටම ඖෂධ ලබාගත යුතුය. වරින් වර පරීක්ෂණ ආදියට ද මුහුණදිය යුතු ය. මේ හැරෙන්නට මසකට වරක්වත් වෛද්‍යවරයකු හමුවීමට ද යා යුතු ය. මේවා සඳහා යන වියදම සුළුපටු නැත. රාජ්‍ය සේවයේ සිට විශ්‍රාම ගිය ඇතමකුගේ මුළු විශ්‍රාම වැටුප වැය කෙරෙන්නේ ලෙඩට බෙහෙත් ගැනීම සඳහා ය. තවත් විටෙක ඖෂධවල මිල ගණන් දිගින් - දිගටම ඉහළ යයි. මේ තත්ත්වය යටතේ අසරණ රෝගීන් වැටී සිටියේ බරපතළ අමාරුවක ය.

ලෝකය පුරා සිදුවන ඖෂධ ජාවාරම් ගැන නිතර අසන්නට ලැබේ. මත්කුඩු ජාවාරම, අවි - ආයුධ ජාවාරම මෙන් ම ඖෂධ ජාවාරම ද බලවත් බව කියති. ඇතැම් විට උගත් වෛද්‍යවරු පවා ඊට සම්බන්ධ වෙති. අපේ රටේ ද ඖෂධ ජාවාරමක් නැතැ’යි කියන්නට බැරි ය. එක එක ඖෂධ හල්වල එකම බෙහෙත එක - එක ගණන්වලට අලෙවි වෙයි. වෙළෙඳ නාමය හා ඖෂධ නාමය ද මේ අවුල වැඩි දියුණු කර තිබේ. ඖෂධ නාමය පමණක් බෙහෙත් වට්ටෝරුවලට ඇතුළත් කළ යුතු යැයි සම්මතයක් පැවැතිය ද සියලු වෛද්‍යවරුන් එය අනුගමනය කරන බවක් පෙනේනනට නැත. ඖෂධ මිල අඩුකිරීම කෙරෙහි ඖෂධ හල් හිමියන්ගේ ප්‍රතිචාරය ද ඒ තරම් සතුටුදායක නැත.

මහාචාර්ය සේනක බිබිලේ මහතා යෝජනා කළ ‍ඖෂධ ප්‍රතිපත්තිය බොහෝදෙනකුගේ ප්‍රසාදයට ලක්විය. එය ක්‍රියාත්මක කළ යුතු යැයි ආණ්ඩු ගණනාවක් සාකච්ඡා කර තිබිණි. එහෙත් එය ක්‍රියාත්මක වූයේ නැත. සේනක බිබිලේ ප්‍රතිපත්තිය කිසිඳු ශබ්දයකින් තොරව පියවරෙන් - පියවර ක්‍රියාත්මක කරමින් සිටින්නේ වත්මන් ආණ්ඩුව යැයි නිබය ව කියන්නට පුළුවන. එහි ගෞරවය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යා යුතු ය. රටේ පවත්නා සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් වී ඇත. ආර්ථික වශයෙන් සංවර්ධිත යැයි කිව නොහැකි රාජ්‍යයක් මෙබඳු උසස් සෞඛ්‍ය සේවාවක් පවත්වාගැනීම තරමක් විස්මිත කාරණයකි.

මහජනයාගේ පැත්තෙන් බලන විට සෞඛ්‍ය අංශය යනු සංවේදී ක්ෂේත්‍රයකි. වෛද්‍යවරුන්ගේ වැඩවර්ජන, රෝහල් සේවකයන්ගේ ආරවුල්, රෝගීන්ගේ අරගල ආදිය මීට සාක්ෂි ලෙස පවතී. මේ සෑම අවස්ථාවකම විශාල ජනකායක් පීඩාවට පත් වෙති. එයම පෙරළා රාජ්‍ය පාලනයට බලපෑම් කරයි. මේවා පාලනය කිරීම, ආරවුල් විසැඳීම හා මහජනයාට යහපත් සෞඛ්‍ය සේවයක් ලබාදීම බලවත් අභියෝගයක් ලෙස පවතී. ගෙවී ගිය වසර තුනක කාලය තුළදී ආණ්ඩුව සිය කාර්යය මනාව ඉටුකර ඇති බව පෙන්වන ප්‍රධාන සාධකයක් වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවූ කෙටිකාලීන වර්ධනය යි. රෝගී ජනතාවට පසුගිය කාලය තුළ ලැබුණු සහන දෙස බලන විට තත්ත්වය තවත් පැහැදිලි වෙයි.

ඕනෑම රාජ්‍යයක සංවර්ධනයේ මිනුම් දණ්ඩක් ලෙස එරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පවතී. ළදරු මරණ සංඛ්‍යාව අඩුවීම, මිනිසාගේ ආයු කාලය වර්ධනය වීම, මන්දපෝෂණයේ ව්‍යාප්තිය අඩුවීම යනාදී සාධක හොඳ මට්ටමක පවතී නම්; එරට සෞඛ්‍ය හොඳ මට්ටමක පවතින්නේ යැයි කිව හැකි ය. මේ හැරෙන්නට වංසගත රෝග වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග හා එහි ප්‍රගතිය ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට ලක්වෙයි. මැලේරියාව, බරවා රෝගය වැනි වසංගත රෝග මුළුමනින් ම පාහේ මර්දනය කිරීමට අපට හැකියාව ලැබී ඇත. මෑතකාලයේ අප රට මුහුණදුන් බරපතළ සෞඛ්‍ය අර්බුදයක් වූයේ ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය යි. ඩෙංගු රෝගයට ද සාර්ථක ව මුහුණදීමට අපට හැකියාව ලැබී ඇතැ’යි කියන්නට පුළුවන. අද ඩෙංගු මරණයක් වාර්තාවන්නේ කලාතුරෙකින් ය.

රටේ යහපත් සෞඛ්‍ය සේවයක් පවතින්නේ යැයි නිසැක ලෙස පෙන්වා දිය හැකි ය. එය නිදහස් සෞඛ්‍ය සේවයක් වීම තවදුරටත් යහපතකි. හෘද රෝග වැළැක්වීම සඳහා රජය ගෙන ඇති පියවරද බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී ඇත. හෘද රෝග සඳහා යොදාගනු ලබන “ස්ටෙන්ට්” යෙදීම නම් ප්‍රතිකාර ක්‍රමය භාවිත කිරීමේදී පළමු වාරය මුළුමනින් ම නොමිලේ සිදු කිරීමට තීරණය ගත්තේ වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ය. මිනිස්සු ඊට පින් දෙති.

 

නව අදහස දක්වන්න