පුහුණුකරුවෝ 75කට ක්‍රිකට් පුහුණු කඳවුරක් | දිනමිණ

පුහුණුකරුවෝ 75කට ක්‍රිකට් පුහුණු කඳවුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යාපන ඒකකය මෙහෙය වු දෙදින පුහුණු කඳවුර පසුගියදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය. එම පුහුණු සැසිය මෙහෙයවන ලද්දේ ක්‍රිකට් අධ්‍යාපන ඒකකයේ ප්‍රධානී හේෂාන්ද මෙල් මහතා විසිනි. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන මෙහෙයුම් භාර නිලධාරි වන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා සහභාගී විය. මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පළමු ශ්‍රේණියේ පුහුණුකරුවෝ 75 දෙනෙකු ඒ සඳහා සහභාගී වූහ. පුහුණු සැසිය ආරම්භ වීමට ප්‍රථම මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සහ මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ සභාපති සරත් ඒකනායක මහතා පුහුණු කරුවන් අමතන ලද අතර ඒ අවස්ථාවට සංගමයේ ලේකම් ජානක පතිරණ දිස්ත්‍රික් පුහුණුකරු අමිල් පින්නදූව යන මහත්වරුන්ද සහභාගී වූහ.

මෙහිදී ජාතික දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග, වේගපන්දු උපදේශක රවින්ද්‍ර පුෂ්ප කුමාර, පිතිකරණය පිළිබඳ ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම භාර අවිශ්ක ගුණවර්ධන, වේග පන්දු උපදේශක චමිල ගමගේ, පිතිකරණය සඳහා සුමිත්‍ර වර්ණකුලසූරිය සහ එම්. මුබාරක් කඩුලු රැකීම පිළිබඳ ලංකාද සිල්වා, පන්දු රැකීම පිළිබඳ නුවන් සෙනෙවිරත්න , ක්‍රිකට් පුහුණු ප්‍රතිපත්ති සම්බන්ධව හේෂාන්ද මෙල්, මත්ද්‍රව්‍ය වල ආදීනව පිළිබඳ අසංක ගුරුසිංහ මහත්වරුන් ද පුහුණුකරුවන් වෙනුවෙන් විශේෂ දේශන පැවැත්වූහ.

පෝෂණය සහ ශාරීරික සුවතාව පිළිබඳ දර්ශන වීරසිංහ හා දිල්ෂාන් ෆොන්සේකා මහත්වරුන් දේශන පැවැත්වූහ. අනතුරුවලින් වැළකීම පිළිබඳ රංජිත් නානායක්කාර මහතා පුහුණුකරුවන් දැනුවත් කළහ. මේ පුහුණු කඳවුර මෙතෙක් පැවැත්වූ පුහුණු කඳවුරු අතරින් ප්‍රමුඛත්වයේලා සැලකිය හැකි සැසියක් බව එයට සහභාගී වු පුහුණුකරුවෝ පැවසූහ.

උපනන්ද ජයසුන්දර මහනුවර ක්‍රීඩා විශේෂ

 

නව අදහස දක්වන්න