ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා 10%ක් මවුපිය පදනමට | දිනමිණ

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා 10%ක් මවුපිය පදනමට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා පුරප්පාඩුවලින් සියයට දහයක කොටසක් මවුපිය පදනම යටතේ සංස්ථාවේ දරුවන්ට ලබා දීමට තීරණය කර ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව අනාවරණය කළේ පසුගිය දා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති 2018 විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

ශිෂ්‍යත්ව ප්‍රදාන කිරීමේ උත්සවයට එක් වෙමින් ඇමැති අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් පැවැසුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමේ වගකීම සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන්ට මෙන්ම ඔවුන්ගේ දරුවන්ට ද පැවැරෙන බවයි.

ජාතික විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම් ලැබූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන මුල්වරට ආරම්භ වූයේ 1982 වර්ෂයේදීයි. එතැන් සිට අද දක්වා එම ශිෂ්‍යත්ව ප්‍රදානය අඛණ්ඩව වාර්ෂිකව සිදු කරන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අරමුද‍ලෙනි. මෙවර එම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව හිමිකරගත් සංඛ්‍යාව 25ක් වේ. ඒ එක් අධ්‍යයන වර්ෂයකට රුපියල් 60,000ක් වශයෙනි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා පත්කිරීමේ බලය ඇත්තේ විෂය භාර ඇමැතිවරයාට නමුත් ඉදිරියේ දී ආයතනයේම සේවකයකුට එම තනතුරට පැමිණීමේ අවස්ථාව ලැබෙන අයුරින් සංස්ථා පනත වෙනස් කිරීමට කටයුතු කරන බව ද ඇමැති අර්ජුන රණතුංග මහතා මෙහි දී කියා සිටියේය.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමැති අර්ජුන රණතුංග මහතා,

‘අපි සියලු දෙනාම මේ රටේ බදු මුදල්වලින් ඉගෙන ගත්ත අය. අද වුණත් ඇමැතිවරයෙක් හැටියටත් වැටුපක් ගන්නේ මේ රටේ මහජනතාවගේ බදු මුදලින්. ඒ නිසා අපි හැම දෙනාටම වගකීමක් තියෙනවා මේ ණය රටට ගෙවන්න. එය කොහොමද කරන්නේ කියන එකයි අපි අපේ ඔළුවට දාගන්න ඕන. ඒ වගකීම ඉටු කිරීමේ කැක්කුම මේ රටේ මහජනතාවගෙන් 50%කට තිබුණ නම් මීට වඩා වෙනස් රටක් අපිට නිර්මාණය වෙන්න තිබුණා. හැබැයි අපි හැම දෙනාම බලන්නේ තමන්ගේ පෞද්ගලික දේවල් විතරයි. අද අම්මා තාත්තා හරි විකුණලා හම්බ කරන්න පුළුවන් නම් එය සිදුකරන රටක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ආයතනවල තත්ත්වයත්. අද මේ ආයතනය යම් තැනක තියෙනවා නම් එය තියෙන්නේ මේ දරුවන්ගේ අම්මලා තාත්තලා හින්දා. ඒ ගොල්ලන්ගේ මහන්සිය කැපවීම හින්දා. අද ලෝකයේ ආර්ථික රටාවත් සමඟ මේ ආයතන සම්බන්ධයෙන් විවිධ යෝජනා එනවා.

විශේෂයෙන්ම මේ වගේ රාජ්‍ය ආයතවලන වියදම අඩු කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි පෞද්ගලීකරණය කිරීම. එය ලෝකෙම ක්‍රියාත්මක වනවිට අපේ රටේ සමහර අයත් මෙවැනි ආයතන පෞද්ගලීකරණය කළොත් වියදම අඩු වෙයි, ලාභ ලබාගන්න පුළුවන් වෙයි කියන අදහස් ඔළුවට ගෙන තියෙනවා. ඒ නිසා අපි මේ ආයතන ආරක්ෂා කර නොගත්තොත් අපි කරන්නේ එවැනි පුද්ගලයන්ට මේ ආයතන පෞද්ගලීකරණය කිරීම සඳහා පාර කපා දීමක්. අවුරුදු ගාණක් තිස්සේ ආරක්ෂා කළ මේ ඛනිජ තෙල් සංස්ථාව දවසකින් දෙකකින් පුළුවන් පෞද්ගලීකරණය කරන්න. නමුත් අපි මේ ආයතනය හරියට දිවුවොත් ඒක කරන්න බැරි වෙනවා’ යැයි ද පැවැසීය.

මේ උත්සවයට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ, ඛනිජ තෙල් සංස්ථා සභාපති දම්මික රණතුංග, ඛනිජ තෙල් සංස්ථා කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර, මානව සම්පත් කළමනාකාර සමන්ත පුෂ්පලාල් විතාන යන මහත්ම මහත්මීහු රැසක් ද සහභාගි වූහ.

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න