ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ ස්ථානාධිපති අත්අඩංගු වට | දිනමිණ

ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ ස්ථානාධිපති අත්අඩංගු වට

විජයානි එදිරිසිංහ

*අත්අඩංගු වට ගන්නැයි උද්ඝෝෂණ කරන්න හදලා
*පැය 72ක් ගතවීමට පෙර සැකකරු දැලේ

කිළිනොච්චි ප්‍රදේශයේ පස් මස් ගැබිනි තරුණියක් ගෙළ සිරකර අමානුෂික ලෙස ඝාතනය කළේ යැයි කිළිනොච්චියේ මහා පරිමාණ ඇඟලුම් කම්හලකට ආරක්ෂාව සපයන ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ ස්ථානාධිපතිවරයා වන හිටපු එල්.ටී.ටී.ඊ. පොලිස් නිලධාරියකු වන සැකකරු කිළිනොච්චිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතකයා අත්අඩංගුවට නොගන්නේ යැයි ප්‍රදේශවාසීන් පොලිසියට එරෙහිව උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කර තිබියදී පැය 72 ක කාලයක් ඉකුත්වීමට පෙර එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

විනයාගපුරම් කිරුස් ක්‍රිෂ්ණ පිල්ලේ නොහොත් ක්‍රිෂ්ණ කීඩන් (42) නමැති මෙම සැකකරු කාලයක් තිස්සේ ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කර ඇත්තේ ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටියදීම බව පැවසේ. පසුව රජයේ හමුදා යටතේ පුනරුත්ථාපනය වී කිළිනොච්චියේ පිහිටි තරුණියන් දෙදහසක් පමණ සේවය කරන එම ඇඟලුම්හලේ ආරක්ෂක කටයුතු භාරව සිටී.

දෙදරු පියකු වන මොහුගේ බිරිඳද හිටපු කොටි සාමාජිකාවක් වන අතර ඇයද මොහු සමඟ කොටි පොලිසියේ සේවය කර පසුව පුනරුත්ථාපනය වූ කාන්තාවකි.

මේ අතර මීට වසරකට දෙකකට පමණ පෙර එම ඇඟලුම් කම්හලේ ඇවන්ගාඩ් ආරක්ෂක සේවයට 24 හැවිරිදි තරුණියක් වූ කරුපයියා නිත්‍යකලා නමැති තරුණිය සේවයට පැමිණ ඇත.

මෙම ඇවන්ගාඩ් ස්ථානාධිපතිවරයා මෙම තරුණිය සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි කියයි. ඇයද හිටපු කොටි සාමාජිකාවකි. දෙදෙනා නිතර නිතර විවිධ තැන්වලදී හමුවී ඇති අතර පසුව ඇය ගැබිනියක් වී ඇති බවද පැවසේ.

පසුගිය 29 වෙනිදා 7.15 ට පමණ මෙම තරුණිය සේවය අවසන් කර නිවසට යන අතරතුරදී මෙම ස්ථානාධිපතිවරයාද ඇය පසුපස පැමිණ තිබේ.

පසුව දෙදෙනාම මුලතිව් පරන්තන් පාරේ සොරොව්වක් අසල කැලෑ රොදක් තුළට ගොස් හමුවී ඇතැයි කියයි. ඒ අවස්ථාවේ දෙදෙනා අතර ගැටුමක් ඇතිවූ බව සැකකරු විසින් පොලිසියට කරන ලද පාපොච්චාර‍ණයේ සඳහන් වේ.

පසුව මෙම සැකකරු තරුණිය විසින් ඇඳ සිටි ඇවන්ගාඩ් ආරක්ෂක සේවා නිල ඇඳුම් හැඳුනුම්පත එල්ලා ඇති පටිය රැගෙන ඇයට පහරදෙමින්ම එම නූලෙන් ඇගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබේ.

අනතුරුව සැකකරු ඇගේ එම නිල ඇඳුම් ඉවත්කර යට ඇඳුම් සමඟින් මළසිරුර ඔසවාගෙන ගොස් සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි වෙල්යාය කොනේ ඇති බෝක්කුව අසල දමා ගොස් ඇති බව කියයි.

නාඳුනන කාන්තා මළසිරුරක් එම ස්ථානයේ ඇති බවට පොලිසියට ලැබුණු තොරතුර මත උතුරු ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සමඟ කිළිනොච්චි පොලිසියේ පිරිසක් එම ස්ථානයට ගොස් පරික්ෂා කර බලන අවස්ථාවේ අවට ප්‍රදේශවාසීන් එම තරුණිය කවුද යන්න හඳුනාගෙන ඇත.

එහෙත් මේ ඝාතනය සිදුකළ ඝාතකයා කවුද යන්න එකවරම හෙළිකර ගැනීමට නොහැකිව තිබියදී ඇවන්ගාඩ් සමාගමේ සෙසු ආරක්ෂක පිරිස සහ අවට ප්‍රදේශවාසීන්ද එකතුව පොලිසිය විසින් ඝාතකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන බව පවසා පොලිසියට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකිරීමටද සැලසුම් කර තිබී ඇත.

ඒ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ඔවුන්ට පරීක්ෂණ සිදුකරන ආකාරය සම්බන්ධව කරුණු පැහැදිලි කරදීම නිසා සාමාන්‍ය තත්ත්වයෙන් උද්ඝෝෂණය පවත්වා පිරිස විසිරී ගොස් ඇත. ඝාතනය සම්බන්ධයෙන් සැකකරන ඇවන්ගාඩ් ස්ථානාධිපතිවරයාද මේ කිසිවක් සිදුනොවූ පරිදි යළි රාජකාරියට ගොස් තිබී ඇත.

පොලිසිය ඝාතනය සිදුවූ ස්ථානය පරීක්ෂා කරන අවස්ථාවේ ඇවන්ගාඩ් නිල ඇඳුමක් තරුණියගේ ජංගම දුරකථනයක් තවත් භාණ්ඩ කිහිපයකුත් සොයාගෙන ඇත. තරුණිය විසින් අවසාන දුරකථන ඇමතුම ලබාගෙන තිබී ඇත්තේ එම ස්ථානාධිපතිවරයාටය. අනතුරුව ඔහු පිළිබඳ විමසිල්ලෙන් සිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එල්ල කරන ලද ඝාතන චෝදනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පසුව පොලිසිය විසින් සිය උපක්‍රම යොදා ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් ඇය ඝාතනය කළ බවට පාපොච්චාරණය කර ඇත. එම තරුණිය ගැබිනියකුවීමට සම්බන්ධව දෙදෙනා අතර ගැටුම ඇතිවී ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි යූ. මයුරධරන් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී. එහිදී ඇය ගෙල සිරකර මරා ඇති බවත් පස් මස් ගැබිනියකු බවත් අනාවරණය වී තිබේ.

සැකකරු ඊයේ (02) කිළිනොච්චි මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

උතුරු ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන, පොලිස් අධිකාරි සමරජීව මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, කිළිනොච්චි පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

නව අදහස දක්වන්න