පොදු ජනතාවට වැඩිම ජයග්‍රහණ හිමිකර දුන් පක්ෂය | දිනමිණ

පොදු ජනතාවට වැඩිම ජයග්‍රහණ හිමිකර දුන් පක්ෂය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි

පක්ෂයේ 67 වන සංවත්සරය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියයි

ශ්‍රී ලාංකේයීය දේශපාලන ඉතිහාසයේ පොදු ජනතාවට වැඩිම ප්‍රතිලාභ හා ජයග්‍රහණ හිමිකර දුන් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ දා සිට අද දක්වාත්, ඉදිරියටත් යායුතු වනුයේ රෝස මල් යහනාවක් මත නොව දේශපාලන එදිරිවාදිකම් කරන්නන්ගේ කුමන්ත්‍රණ, කකුලෙන් ඇඳීම් හා බාධා මැද බොහෝ කටුක ගමනක වනු ඇති බවත් ඇමැතිවරයා පැහැදිලි කළේය.

ඒ සියල්ල ඉවසා දරාගෙන රටේත් තැලෙන පොඩිවන පොදු ජනතාවගේත් ජීවිත සුඛිත මුදිත කිරීම හා ආරක්ෂාව සැලසීම උදෙසාත් තම පක්ෂය ගත වූ 67 වසරටත් වඩා සේවාවක් ඉදිරි කාලයේ සිදුකරන බවත් කී නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ දිනමිණ ශ්‍රී.ල.නි.පක්ෂයේ අද ඊයේ හා හෙට දවස ගැන කළ කතිකාවේ හඬයි මේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවන්නේ බමුණු කුලය බිඳ දමා යැයි දේශපාලන විචාරකයෝ පවසනවා. එය ඇත්තක්ද?

සම්පූර්ණයෙන්ම සත්‍ය කතාවක්, සත්‍ය විග්‍රහයක් ලෙස මමත් එය එකහෙළාම අනුමත කරනවා. අපේ පක්ෂය වසර 1956 ආරම්භ වන්නේ ම බමුණුකුල බිඳගෙන තමයි. එදා 56 අපේ පක්ෂය බිහිවීම මහා විප්ලවයක ආරම්භයක්. එදා ජනතාව දේශපාලන, සමාජයීය, ආර්ථික වශයෙන් පමණක් නොවෙයි සංස්කෘතික, අධ්‍යාත්මික ආදී ක්ෂේත්‍ර තුළ මහා බිඳවැටීමකට ලක්වෙලායි සිටියේ.

ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිවලින් හා අන්තවාදී වාමාංශික දේශපාලන පක්ෂවල ප්‍රතිපත්තිවලින් රටේ ජනතාව බැටකෑවා. මේ දෙපැත්තෙන්ම බැට කෑ ජනතාව මධ්‍යම ප්‍රතිපදාව මත ගොඩනැඟූ අපේ පක්ෂය තුළට ඒකරාශී වුණා. ඒ තමයි අ‍ෙප් පක්ෂයේ බිහිවීමෙන් සිදුවූ විශාලම සේවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහිවීමෙන් එදා අපේ රටේ පැවැති සාමාජයික දේශපාලනික ක්ෂේත්‍රවල විශාල වෙනසකට මුලපිරුවා. අපි පළමුව සාමාජික ක්ෂේත්‍රයේ සිදුවූ වෙනස ගැන කතා කළොත්?

ඔව්!

අප අද කියනවා 56 විප්ලවයෙන් රටට ජනතාවට විශාල සේවයක් වුණා කියලා. ඒක ඇත්ත කථාවක්. අපි බලමු එදා රාජ්‍ය භාෂාව සිංහල කළා. එය අද සමහරු විවේචනය කරනවා. නමුත්! මීට අවුරුදු 67 කට ඉස්සර ඒ දේ රටේ ජනතාව ඉල්ලා සිටි දෙයක්. ඒක ඒ දවස්වල කාලීන ඉල්ලීමක්. යුගයේ අවශ්‍යතාවයක් ඉටුකිරීමක්. එතුළින් සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ ගමේ දුප්පත්, අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට රාජ්‍ය සේවයට පරිපාලන සේවයට එන්න රටේ ඉහළ රැකියා සඳහා යෑමට අවස්ථාව උදාවුණා. ඒවාගේම එදා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලැබීමට තරම් වත්පොහොසත්කමක් නොතිබුණු, ඒ සඳහා අවස්ථාව නොතිබුණු පිරිසකට වෙනත් ආකාරයේ අවස්ථාවක් නිර්මාණය වුණා. ඒක හොඳ දෙයක්.

එතකොට ආර්ථික හා දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍රවලට සිදුවූ සේවය කුමනාකාරද?

එදා 56 එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් අපේ පක්ෂය බිහිකරලා ආණ්ඩුවක් පිහිටුවලා රටේ රාජ්‍ය බැංකු ඇති කළා. රක්ෂණ සංස්ථාව ආරම්භ කළා. කුඹුරු පනත ගෙනාවා. වරාය ගුවන්තොටුපොළ ලංගමය බිහිකළා. ඒවායේ රාජ්‍ය සතු ව්‍යවසායන් රාශියක් ආරම්භ කළා. මේ තුලින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට මුලපිරුවා.

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට කළ සේවාවන් මොනවාද?

එදා බණ්ඩාරනායක ශ්‍රීමතාණන් බිහිකළ ආණ්ඩුවෙන් තමයි කම්කරු ජනතාවට කම්කරු දිනය නිවාඩු දිනයක් බවට උරුම කළේ. සේවක අර්ථසාධක අරමුදල ඇති කළා. කම්කරු අයිතීන් ගොඩාක් රැකදුන් පක්ෂයක්. කම්කරු අයිතීන් සුරැකීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලිකම කාර්යයක්.

මහත් වු ජනතා බලාපොරොත්තු සඵල කිරීමට බිහිකළ පක්ෂයේ නායකයා ඝාතනය කළා. ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය වූ සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. ඇයි මේ තරම් ශ්‍රී.ල.නි.පක්ෂයට බාධා කිරීම් කරන්නේ?

හොඳ ප්‍රශ්නයක් ඇහැව්වේ.

අපේ පක්ෂය තමයි මේ රටේ තැලෙන පෑගෙන පොඩි මිනිහා වූ පොදු ජනතාවට විශාලම ආර්ථික, සාමාජික, දේශපාලනික, සංස්කෘතික, ආගමික පමණක් නොවෙයි නන්වැදෑරුම් නිදහස්වීම් ලබාදීමට කටයුතු ක‍ෙළ්. මේ පොදු ජනතාවගේ සැබෑ විමුක්තිදායකයා ලෙස අපේ පක්ෂය බිහිවීම ධනේෂ්වර අන්තවාදී විරුද්ධ පක්ෂවලට දරාගන්න බැරිව ගියා. ඒ නිසායි අපේ පක්ෂයට, පක්ෂ නායකයින්ට මේ වාගේ බාධාකිරීම් සිදුකරන්නේ. නමුත් මට එක් දෙයක් පැහැදිලිව කියන්න ඕනෑ.

ඒ මොකක්ද?

ඒ තමයි අපේ පක්ෂයේ ආරම්භ කළ නායකයා ඝාතන කළත් එතුමාගේ ඝාතනයෙන් පස්සේ බිම වැටුණු පක්ෂයේ ධජය රැගෙන පෙරට ගිය දිවංගත අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළත් අපේ පක්ෂයේ ජනතා මෙහෙවර කාටවත් කවදාවත් නතර කර දමන්නට බැරි වුණායි කියන කරුණ.

ඔ‍ෙබ් පක්ෂය ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ කිසිදිනෙක අතරමග නතර කරන්නට සූදානම් නැතිද?

අනිවාර්යෙන්ම ඔව්!

අපේ පක්ෂය බිහි කළ නායකයා ඝාතනය කලා. පක්ෂය හැදූ වැඩූ ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ මැතිනි‍යගේ ප්‍රජා අයිතිය නැති කළා. එදා ප්‍රජා අයිතිය තිබූ මැතිනියට වඩා ප්‍රජා අයිතිය නොතිබූ මැතිනිය වඩාත් ශක්තිමත්ව ‍රටේ ජනතාවට සේවය කළා. එතුමිය පරාජයට පත්කරන්න විරුද්ධවාදීන් පුවත්පත් පහකට සල්ලි, වරදාන වරප්‍රසාද දීලා අපේම අය බා ගත්තා. හමුදා කුමන්ත්‍රණයක් කළා. ජනතා විමුක්ති පෙරමුණ 1971 කැරැල්ල ගැහැව්වා. අනුර බණ්ඩාරනායක එතුමියගේ පුතා පක්ෂයෙන් කඩාගෙන ගියා. එතුමියගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පක්ෂය කඩාගෙන ගියා. නමුත් අපේ උදාර පක්ෂය වැටුණේ නැහැ. සේවාව නතර කළේ නැහැ. ඔය කාටත් අන්තිමට පක්ෂයට එන්න වුණා.

වර්තමාන නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යටතේත් පක්ෂයට විශාල අභියෝගයන්ට මුහුණදීමට සිදුවී තිබෙනවා.

ඔව්!

ඒක ඇත්ත. එතුමාට එහෙම අභියෝගවලට මුහුණදීමට සිදුවුණා කියා කීම ප්‍රශ්නයක් නොවෙයි. පුදුමයක් නොවෙයි. එසේ නොවුණා නම් තමයි පුදුමය. මම ඒක කියන්නේ වගකීමෙන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග ඇතිවීම පුදුමයක් නොවන්නේ ඇයි?

එතුමා වලව්වකින් බිහිවූ කෙනෙක් නොවෙයි. එතුමා රදල අයෙක් නොවෙයි. එතුමා තමයි අපේ පක්ෂය අපේක්ෂා කළ ගොවි පවුලකින් සැබෑම ගොවි පවුලකින් බිහිවූ නායකයා වන්නේ. ඒ නිසා එතුමාට වෙන අයටත් වඩා බාධා එල්ලවීම එල්ලකිරීම ස්වභාවිකයි. අපි ඒවාට බිය විය යුතු නැහැ. එතුමාත් මේ බව හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නේ. අපේ පක්ෂයේ ආරම්භයේ සිට අද දක්වාම ඇවිත් තිබෙන ගමන රෝස මල්යහනාවක ආ එකක් නොවෙයි. ඉදිරියටත් එසේමයි. නමුත්! කොයි තරම් බාධා, කම්කටොළු ආවත් අපි පක්ෂය රටේත් පොදු ජනතාවගේත් බලාපොරොත්තු ඉෂ්ට කරන්න කැපවෙනවා.

අද දවසේ මේ අභියෝග ජයගන්නට පක්ෂය සූදානම්ද?

ඔව්! ඒ ගැන කිසිම සැකයක් සංකාවක් ඇති කරගන්න එපා. අපි මුළු රටේම ආරක්ෂාවත් රටේම සංවර්ධනයත් ජනතාවගේ සෞභාග්‍යයත් උදාකිරීමට කැපවෙනවා. අපි ධෛර්යමත්ව කැපවී වඩාත් ජනතාවාදී සුබසාධනය සංවර්ධනය සපිරි රටක් බිහිකිරීම පක්ෂයේ එකම දැක්මයි.

 

සාකච්ඡා කළේ -
ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න