රාමු­ගත වෙන්න කැමති නෑ | දිනමිණ

රාමු­ගත වෙන්න කැමති නෑ

l බිමල් ජය­කොඩි

 

සරසවි සම්මාන උළලේ, 2016 වසරේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගත් බිමල් ජයකොඩි, මේ දිනවල ප්‍රේක්ෂක ඔබට මුණ ගැසෙන්නේ හිරු නාළිකාව ඔස්සේ විකාශය වන “කිරුළි” ටෙලි නාට්‍ය හරහාය. නුදුරේදීම තවත් නිර්මාණ රැසකින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන ඔහු සමඟ කළ සොඳුරු පිළිසඳරකි මේ.

 

 

l මේ දවස්වල ඔබ සම්බන්ධ වෙලා ඉන්න කලා කටයුතු මොනව ද ?

මේ දවස්වල ආචාර්ය සෝමරත්න දිසානායකගේ “සුනාමි” කියන චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේ ම, හිරු නාලිකාවේ විකාශනය වන “කිරුළි” ටෙලි නාට්‍යයේ චරිත නිරූපණයෙන් දායක වෙනවා. ඒක මව අහිමි වුණු කුඩා දියණියක් වටා ගෙතුණු කතාවක්. මම තමයි ඒ දියණියගේ තාත්තගේ චරිතය රඟපාන්නෙ.

l ඔබ නිතරම ප්‍රේක්ෂකයා හමුවට එන්නේ ඒකාකාරී බවින් මිදුණු, වෙනස් චරිත රගන නළුවෙක් විදිහටයි. ඒ පිළිබඳ කතා කළොත්?

මම හැම චරිතයක් ම බාර ගන්නෙ නෑ. මට ගැළපෙන සහ මට කරන්න පුළුවන් විවිධ චරිත තෝරා බේරා ගන්නවා. කොහොමටවත් රාමුගත වෙන්න කැමති නෑ.

l ළඟදි සම්මානෙකුත් ගත්තා නේද?

ඔව්. සරසවිය සම්මාන උළෙලේදී හොඳ ම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. 2016 වසරේ තිරගත වුණු, ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරපු, චමින්ද ගමගේ නිෂ්පාදනය කරපු, “ආදරණීය කතාවක්” චිත්‍රපටියේ රංගනය වෙනුවෙන් තමයි මට ඒ සම්මානය ලැබුණෙ. “ආදරණීය කතාවක්” කියන්නෙ සිනමාවේ වාර්තා පොත් අතරට එකතු වුණ තවත් එක් චිත්‍රපටියක් වගේ ම, ප්‍රේක්ෂකයෝ තදින් වැළඳගත්ත ආකර්ෂණීය සිනමා කෘතියක්. එහි ප්‍රධාන භූමිකාව නිරූපණය කළේ හේමාල් රණසිංහ. මට ලැබුණ උප ප්‍රධාන චරිතය තමයි “විදූ”. මම ඒ චරිතය ඉතාමත් සාර්ථකව ඉදිරිපත් කළා කියන එකට සාක්ෂියක් තමයි මේ සම්මානය ලැබීම. ඒ චිත්‍රපටියත් එක්ක, මට ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා . එවැනි චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න ලැබීම ගැන සතුටක් තිබෙනවා .

l ඉදිරියේදී ප්‍රේක්ෂකයන් හමුවට එන්නෙ කොයි ව‍ගේ නිර්මාණ හරහාද?

මේ වෙද්දි වැඩ අවසන් කරපු චිත්‍රපට කිහිපයක් ම තියෙනවා. ඒ අතරින් මලිත් හෑගොඩ කියන නවක අධ්‍යක්ෂවරයාගේ “දැකලා පුරුදු කෙනෙක්” කියන චිත්‍රපටයත්, ප්‍රදීප් ධර්මදාසගේ කුළුඳුල් චිත්‍රපටය “අයිස්ක්‍රීම්” විශේෂයි. වෛද්‍ය කපිල සූරියආරච්චි අධ්‍යක්ෂණය කරපු “සිනේමා” චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වෙනවා. ඒ වගේ ම “ටවුමෙ ඉස්කෝලෙ” සහ තවත් මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට ගණනාවක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙනවා. සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍යයක් සහ මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේ දී විකාශය වීමට නියමිතව තියෙනවා. චාමර ජනරාජ් අධ්‍යක්ෂණය කරපු “රාහු” ඒ අතර සුවිශේෂයි.

l ඔබේ බිරියත් මේ ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක්?

අපි දෙන්නම ක්ෂේත්‍රය ගැන සහ සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙන දෙන්නෙක්. අපට ලැබෙන පොඩි වෙලාවත් අපි බොහොම හොඳින් කළමනාකරණය කර ගන්නවා. නිශ්චිත වශයෙන් මේ කොටස මම කරන්න ඕනෙ, මේ කොටස ඔයා කරන්න ඕනෙ කියලා අපි දෙන්නගේ ජීවිතේ දේවල් අපි දෙන්නා බෙදාගෙන නෑ. අපි දෙන්නට ඉඩක් ලැබෙන හැම වෙලාවක ම අපි දෙන්නගෙම දේවල් අපි විසින් ම සැලැසුම් කර ගන්නවා. සුජානි ඉතාමත් හොඳ ගෘහණියක්. හොඳ බිරියක් වගේ ම, ඇය දක්ෂ නිළියක්. ඇය මා හුඟක් තේරුම් ගන්න නිසා ම, සමහර දේ අපි ඉතා ම හොඳින් කළමනාකරණය කර ගන්නවා. පවුලෙ කටයුතු සුපුරුදු පරිදි කරගෙන යනවා.

අපි දෙන්නම පහුගිය කාලෙ ඉතා කාර්යබහුල වුණා. ඉදිරියේදී අපි දෙන්නම රඟපෑ සිනමා නිර්මාණයක් සහ ටෙලි නාට්‍ය දෙකක් විකාශය වීමට නියමිතයි.

ඒ අතරින් සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍යයත්, චාමර ජනරාජ් අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍යයත් අපට සුවිශේෂී ටෙලි නාට්‍ය දෙකක්. ඒ වගේ ම, අපි මේ අවුරුද්දෙ තවත් අලුත් වැඩ කිහිපයකටම දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අනෙක් හැමෝම වගේ, අපි බොහොම සතුටින්, සමාදානයෙන්, නිදහසේ වගේ ම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

l ඔබ දකින විදිහට කලාකරුවා කියන තැනැත්තා කොයි වගේ වෙන්න ඕනැද?

කලාකරුවෙක් කියන්නෙ මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න ඕනැ කියලා කියන්න බැහැ. ඒත්, කලාකරුවා කලාවට අවංක වීම තමයි ප්‍රධානම දේ. ඊට අමතරව ඔහු මේ සමාජයට අවංක විය යුතුයි. මේ රටේ අනෙකුත් හැම කෙනකු හා සමානවම අයිතිවාසිකම් ඔහුට තිබිය යුතුයි. ඒ වගේම ඔහුට, මේ සමාජය වෙනුවෙන් යම්කිසි විදිහක නිවැරැදි තීන්දු තීරණ ගැනීම සඳහා වගකීමක් තිබිය යුතුයි .

l ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් බොහෝ රංගන ශිල්පීන්, ඊ ළඟට හැරෙන්නෙ අධ්‍යක්ෂණය දෙසට. ඔබට ඒ පිළිබඳ අදහසක් නැද්ද?

අපට මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීමට අවශ්‍ය දැනුම සහ අත්දැකීම් ලබාගන්න වෙන්නෙ මේ ක්ෂේත්‍රය තුළින්මයි. අපි විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයකට අනුව මේ විෂය හදාරපු අය නෙමෙයි. මම හිතන්නෙ මම තාමත් මේ ක්ෂේත්‍රයට අලුත්. මට තව ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා. මම නළුවෙක් විදිහට හදාරන්න ඕන තව බොහෝ දේ තියෙනවා. පුද්ගලයෙක් විදිහට මම මේ සමාජයේ තව ඉගෙන ගන්න ඕන දේ තියෙනවා. ඒ වගේම, සිනමාකරුවෙක් වෙන්න, එහෙම නැත්නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්න මම සපුරාගත යුතු තව ඉලක්ක රැසක් තියෙනවා. කවදාහරි දවසක මම ඒ ස්ථානයට ළඟා වෙයි . ඒත්, දැන්ම අධ්‍යක්ෂණ කටයුත්තකට යොමු වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. මම දවසින් දවස මේ විෂය තුළ සිටිමින්, එය ප්‍රගුණ කරමින්, අධ්‍යයනය කරමින්, හොඳ නිර්මාණකරුවෙක් වෙන්න උත්සාහයක් දරනවා. අනාගතයේ දවසක මගේ අතින් නිර්මාණයක් බිහි වෙන්න ඉඩ තියෙනවා.

l මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඔබ නිරූපණය කළ “රවී ප්‍රනාන්දු” චරිතය දෙස ප්‍රේක්ෂකයා ඉතා ඕනෑකමින් බලාගෙන හිටිය මොහොතක, අනපේක්ෂිත විදිහට ඒ චරිතය නාට්‍යයෙන් සමුගන්නවා. ඇයි ඒ?

ඒ කතාවෙන් අයින් වුණේ මගේ පුද්ගලික තීරණයකට අනුවයි.

l ඔබ මෙතෙක් රඟපෑ චරිත අතරින්, ප්‍රේක්ෂක ජනාදරය වැඩියෙන්ම දිනාගත් චරිතය පිළිබඳ සිහිපත් කළොත්?

මං හිතන්නෙ ප්‍රේක්ෂකයෝ මා බොහෝ ආදරයෙන් වැළඳ ගත්ත චරිතයක් තමයි “ජීවිතයට ඉඩ දෙන්න” කියන ටෙලි නාට්‍යයේ මම රඟපෑ චරිතය. මමත් ඒකට බොහොම කැමතියි. ඒ වගේ ම, මගේ ප්‍රථම ප්‍රාසාංගික ටෙලි නාට්‍යය වුණු “හදවිල සක්මන” ටෙලි නාට්‍යයෙහි “සුමේධ”ගෙ චරිතයට මම අදටත් බොහොම කැමැතියි.

l කලාකරුවෙක් විදිහට ඔබට යම් යම් ඉලක්ක හා අරමුණු ඇති?

කලාකරුවෙක් විදිහටත්, මනුෂ්‍යයෙක් විදිහටත් මගේ ජීවිතේ එක අරමුණයි තියෙන්නෙ. ඒ තමයි මේ සමාජයේ අවංකව, කොන්ද කෙළින් තියන්, මගේ වෘත්තිය නිවැරැදිව සහ මිනිස්සුන්ට වග කියන ආකාරයෙන් පවත්වාගෙන යෑම. ඒ වගේ ම මේ රටට, සමාජයට සහ මා වටා සිටින අයට බොහොම අවංකව, තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන මිනිහෙක් වෙන්නයි මට ඕනෙ.

කාංචනා සිරි­ව­ර්ධන
 

 

නව අදහස දක්වන්න