මොරො­න්තු­ඩුවේ දිල්හා­නිගේ උත්සව සැර­සිලි | දිනමිණ

මොරො­න්තු­ඩුවේ දිල්හා­නිගේ උත්සව සැර­සිලි

බොහෝ දුක් ගැහැට විඳ, දැඩි අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන්, ආර්ථික හා මානසික පීඩනය ජයගත් සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් ලෙස, මංගල උත්සව ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කළ, වාද්දුව, මොරොන්තුඩුවේ දිල්හානි අමුගොඩ හැඳින්විය හැකි ය. ඇය ලැබූ ජයග්‍රහණය , ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීමට නියමිත කාටත් කදිම ආදර්ශයකි.

"සමාජයේ මධ්‍යම පාන්තික අනෙකුත් කාන්තාවන්ට වගේම, මටත් ආර්ථික වශයෙන් ඉහළට යන්න කැමැත්තක් තිබුණා. ඒ නිසා ම, ස්ථිර ආදායමක් තිබෙන්න ඕන නිසා, පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න තීරණය කළා. ඒ අනුව සියලු ම උත්සව අවස්ථාවලට අවශ්‍ය කේක් නිෂ්පාදනය මම ආරම්භ කළා. කාලයක් ගතවෙද්දී ඒක ආර්ථික වශයෙන් එතරම් සාර්ථක නොවන බව තේරුම් ගත් නිසා, ජනතාවට අවශ්‍ය දෙයක් කරන්න අපට ඕන වුණා. ඊට පස්සේ ටිකක් වෙළෙඳ පොළේ ඇවිදලා විමර්ශනය කරලා, උත්සව අවස්ථාවලට අවශ්‍ය සැරසිලි ව්‍යාපාරයක් වශයෙන් කළොත් හොඳයි කියලා හිතුණා. මගේ දුවගේ නමින් ව්‍යාපාරය පටන් ගත්තෙ ඒ අනුවයි.

ඇගේ දියුණුවට සෙවනැල්ලක් මෙන් නිබඳව සහය දෙන ඇගේ සැමියා, සෑම විටම ඇයට දිරියක් හා ශක්තියක් විය. උත්සව සැරසිලි නිර්මාණ අතර මගුල් ‍පෝරු, සෙටි බැක් ඇතුළු තවත් බොහෝ දේ තිබිය යුතු ය. ඒ සඳහා මුදලක් අවශ්‍ය ය. එහෙත්, ඔවුන් සතුව එතරම් මුදලක් නොවුණු බැවින්, අවසානයේ දිල්හානි තීරණයකට එළැඹියා ය.

"අපි මුලින්ම කළේ, පෝරුවක් හා සෙටිබැක් එකක් හදාගන්න එක. ඒකට මල් ගන්නවත් අපි ළඟ සල්ලි තිබුණෙ නැහැ. ඒ නිසා අපි දෙන්නම කතාවෙලා , අපි ළඟ තිබුණු සියලු ම රන් බඩු උකස් කරලා අවශ්‍ය සල්ලි හොයා ගත්තා. ඒත්, අවශ්‍ය මල් ටික ගන්න ඒ සල්ලි ප්‍රමාණවත් වුණේ නැහැ. අපි උත්සාහය අත්හැරියෙත් නැහැ. කොහොම හරි මල් අරගෙන එක් කට්ටලයක් සකසා ගත්තා."

තමන් සන්තකයේ තිබූ සියලු වටිනා දේ උකස් කර මුදල් ලබාගෙන, අවශ්‍ය ආකාරයට සියල්ල සූදානම් කළත්, මාස හයක් පමණ යනතුරු ඔවුන්ට කිසිම ඇනවුමක් නොලැබුණි. ඒත්, ඔවුන් තම ව්‍යාපාරය නවතා නොදැමූහ.

"දවසක් කාර් එකක් අපේ ප්‍රදර්ශන කුටිය අසල නතර කළා. ඒකෙ ආව මහත්වරු දෙදෙනෙක් අපේ සැරසිලි නැරැඹුවා. ඔවුන් පිය පුතු දෙපළක්. පුතා වෛද්‍යවරයෙක්. ඔහුගේ විවාහ මංගල්‍යයට අවශ්‍ය සැරසිලි තෝරා ගැනීමේ අපේක්ෂාවෙන් තමයි අපි ළඟට ආවේ. අන්තිමට අපේ නිර්මාණ ගැන පැහැදිලා, ඒ වෛද්‍යවරයාගේ මංගල උත්සව සැරසිලි නිර්මාණය කිරීමේ කාර්යය අපට ලබා දුන්නා. ඒක තමයි අපි කළ ප්‍රථම කටයුත්ත."

එම මංගල උත්සවය දිල්හානිගේ ව්‍යාපාරයේ වාසනාව උදා කරනු ඇතැයි ඇය මොහොතකට හෝ නොසිතන්නට ඇත. එදින සිට ඇගේ කුඩා ආයතනයට ටිකෙන් ටික මංගල සැරසිලි නිර්මාණ ලැබිණි. ඔවුන්ට මුල් කාලයේ විශාල ගැටලුවක් ඇති විය. ඒ, ඇතැම් ඉල්ලුම්කරුවෝ එක ම දින වෙන් කරන බැවිනි. එහෙත්, කාලයත් සමඟ අඩුපාඩු මඟහරවා ගැනීමට ඔවුන් සමත් වූහ.

උත්සාහවන්තයා ජය ගන්නවා යැයි අපේ පැරැන්නන් කියූ කතාව සත්‍යයකි. එයට කදිම උදාහරණය, දිල්හානිගේ උත්සාහය හා අධිෂ්ඨානය ය. ඔවුහු තමන් අපේක්ෂා කළ ඉලක්කය කුමන බාධක පැමිණිය ද, අත්නොහැරියහ. එහි ප්‍රතිඵලය අද ඔවුහු භුක්ති විඳිති.

"අපේ ව්‍යාපාරයට අවශ්‍ය වූ තවත් දෙයක් තිබුණා. ඒ භාණ්ඩ ප්‍රවාහනයට වාහනයක්. අපි මුල් කාලයේ කුලී පදනමට තමයි ප්‍රවාහන කටයුතු කළේ. එතකොට විශාල අවහිරතා සිදුවෙලා, වෙලාවට බඩු ගෙනියන්න අපහසු වෙනවා. ඒ නිසා, පැය ගණන් රස්තියාදු වෙන අවස්ථා තිබුණා. එහෙම වුණහම, ශාලාව සරසන්න අපට කාලය මදි වෙනවා. එවිට අපි දෙන්නම එළිවෙනතුරු සැරසිලි කරනවා. මේ සියලු සැරසිලි නිර්මාණ කරන්නෙ අපි දෙන්නම මැදිහත් වෙලා. අපි දෙන්නගෙ ශ්‍රම ශක්තියෙන් පටන් ගත්ත මේ ව්‍යාපාරයට, පසු කාලයේ එක් සේවකයෙක්ගේ සහය ලබා ගත්තා. මේ වන විට අපි ළඟ හයදෙනෙක් රැකියාව කරනවා."

ඔවුන්ගේ නිර්මාණ සඳහා විශාල ඉල්ලුමක් ඇති වීමට හේතු ගණනාවකි. බොහෝ නිර්මාණ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කරමින් සිදු කිරීම හා පෞරාණික කලා කෘතිවල ආකෘති ද ඔවුන් සතුව තිබීම ය. කෙනකුට අවශ්‍ය ඕනෑම මාදිලියක නිර්මාණ ලබා දීමට ඔවුන් පොහොසත් ය. සිංහල, හින්දු, මුස්ලිම්, කතෝලික වැනි ඕනෑම සංස්කෘතියකට අනුව උත්සව සැරසිලි සිදු කරන අතර, පෝරු චාරිත්‍ර හා අෂ්ඨක කණ්ඩායම්, ඡායාරූප ශිල්පීන්, සංගීත කණ්ඩායම්, කේටරින් සර්විස් වැනි දේ අවශ්‍ය අයට ලබාදීමට ද ඔවුන් සූදානම් ය.

ඔවුන් අද තවත් වැඩකට අත ගැසීමට සූදානම් වේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහය හා උපදෙස් මත, විශේෂ දක්ෂතා ඇති දරුවන් තමන්ගේ කාර්යයන් සඳහා සම්බන්ධ කරගෙන, ඔවුන් රටට වැඩදායක පිරිසක් බවට පත් කිරීමට ය. මේ ආකාරයට ව්‍යාපාරය පවත්වාගෙන යාම මඟින් තවත් පිරිසකට රැකියා අවස්ථා ලබා දීමටත්, සමාජයේ මුළුගැන්වී සිටින පිරිස් ඉදිරියට ගෙන, ඔවුන් තුළ අභිමානයක් ගොඩනැඟීමට අතහිත දීමත් සුවිශේෂී සමාජ මෙහෙවරකි.

මුදලම පමණක් අපේක්ෂා නොකරන දිල්හානි , මනුෂ්‍යත්වය හා සමාජ මෙහෙවර තම අරමුණ බව පවසයි.

 

 

නිශාන් මෙන්ඩිස්

 


නව අදහස දක්වන්න

Or log in with...