නීරෝගි ප්‍රතා­ප­වත් මිනි­සුන් නිර්මා­ණය කරන යෝගා­සන සිත්කාරී ප්‍රාණ­යා­මය | දිනමිණ

නීරෝගි ප්‍රතා­ප­වත් මිනි­සුන් නිර්මා­ණය කරන යෝගා­සන සිත්කාරී ප්‍රාණ­යා­මය

 “සිතාලී” ප්‍රාණයාමයත් “සිත්කාරී” ප්‍රාණයාමයත් තරමක් දුරට එක හා සමානයි. මෙයින් ද මිනිස් සිරුරට සිසිලසක් ලබාදෙන බැවින් ග්‍රීස්ම වේලාවලදී වඩාත් ප්‍රතිඵලදායකය.

අද සුඛෝපභෝගී යානවාහනවල ගමන් කිරීමෙන් මිනිසා සතුටින් උදම් වෙති. විදුලි බලයෙන් ක්‍රියා කරන සෝපානවලින් දැවැන්ත උස් ගොඩනැගිලිවල ඉහළට යති. පහළට එති. නවීන ගුවන් යානාවලින් ලෝකය සිසාරා සැරිසරති. විද්‍යාවේ තාක්ෂණයේ දියුණුවේ උසස් ප්‍රතිඵල වින්දනය කරති. මේ සෑම දෙයින්ම සතුටට පත්වී මිනිසා ලබන සැපත තුළ විපතක්ද සැඟවී ඇත.

මිනිස් සිරුර තුළ ව්‍යායාම් ලබාදිය යුතු ලක්ෂ ගණන් ජීව කෝෂයන් තිබේ. ඉහත සඳහන් කළ ක්‍රියාවන් සිදු කරද්දී ඒ කිසිම ජීව කෝෂයකට ව්‍යායාම් නොලැබේ. එබැවින් දොස්තරට සොයාගැනීමට අපහසු ලෙඩරෝග, දුර්වලතා, වේදනාවන්ට මිනිසා ගොදුරු වෙති.

පාසල් සමයෙන් පසු ව්‍යායාම, ක්‍රීඩාව අමතක කොට දමා හොඳ හොඳ කෑම බීම සොය සොයා කති බොති. තරබාරු වෙති. ලෙඩ වෙති. විඳවති. අවසානයේ වෛද්‍යවරු සොයා යති. ඔවුන්ගේ උපදෙස් මත ඇවිදින මං තීරුවකට ගොස් සවසට පැයක් හමාරක් ඇවිදිති. එදා මුළු ලෝකයම විශ්මයට පත්කළ, මුළු ලෝකයේම නීරෝගී ප්‍රතාපවත් ශ්‍රේෂ්ඨම ජාතිය වූ සිංහලයා, නවීන විද්‍යාවට, තාක්ෂණයට අනුව ජීවත් වෙමින් ලෙඩ්ඩු බවට පත්වී සිටිති.

ජීවත් වීමට කෑමබීම අවශ්‍යය. නමුත් ඊටත් වඩා ව්‍යායාමය, ක්‍රීඩාව අත්‍යවශ්‍යය. ඒ සඳහා ඔබට ඉතාම පහසුවෙන් යෝගා ආසන ව්‍යායාම් සහ යෝගා අභ්‍යාසවල යෙදිය හැකිය.

ඒ මඟින් ඔබ, ඔබට පමණක් නොව, මුළු මහත් මානව සමාජයටම කරන්නේ උදාර සේවයකි. ඒ එයින් ඔබ නිරෝගී, ප්‍රතාපවත්, බුද්ධිමත්, ප්‍රඥාවන්ත, හික්මුණු ලෝකයට වැඩදායක කෙනකු වන නිසාය.

 

සිත්කාරී ප්‍රාණයාමයෙහි රැඳෙන පිළිවෙළ

ඔබේ යෝගා ආස්තරණය මත තදාසනයෙහි විනාඩි දෙකක් නිසසලව රැඳී සිටින්න. දැන් ප්‍රාණයාම කිරීම සඳහා සුදුසු, ඔබට පහසු ආසනයක රැඳී සිටින්න. දැන් ඔබේ ඉණෙන් ඉහළ කඳ කොටසත්, හිසත් හොඳින් කෙළින් කරගන්න. දෙඅත ඥාන මුද්‍රාවේ තබාගෙන දෙදණහිස මත රඳවා තබාගන්න. දෙනෙත් වසාගෙන හෝ අඩවන් කර තබාගන්න. සිත සැහැල්ලු කරගන්න. කට ඇර, දිව නමා උඩුතල්ලේ ගාවා ගන්න. දැන් කටෙන් සෙමෙන් සෙමෙන් රිද්මයකට හුස්ම ඇතුළට ඇදගන්න. මේ මොහොතේදී සී...සී...සී...සී...වැනි සියුම් හඬක් නැගෙනු ඇත. එසේ ඇතුළට හුස්ම ඇදගත් පසු කට වසාගෙන හුස්ම රඳවා තබාගන්න. ඔබට පහසු වේලාවක් හුස්ම රඳවා තබාගෙන සිට නාස්පුඩු දෙකෙන් සෙමෙන් සෙමෙන් පිට කරන්න. මේ සිත්කාරී ප්‍රාණයාමයයි. දිනෙන් දින කුම්භකය වැඩි දියුණු කරන්න.

 

සිත්කාරී ප්‍රාණයාමයෙන් ලද හැකි ප්‍රතිඵල

කම්මැලිකම, කුසීත බව, අලස ගතිය සහ නිරතුරුවම කුසගින්නෙන් පිපාසයෙන් පෙළෙන අසහන ගතිය දුරුවී සිරුරට මනා සැහැල්ලුවක් ලබාදී නව ජීවයක් ගෙනදෙයි.

කායික මානසික ආධ්‍යාත්මික ශක්තීන් ප්‍රබලවී මනා ජවයක් ලැබෙයි. කාන්තාවන්ට සහ විවාහකයින්ට තම ජීවිත ප්‍රතාපවත් කරගැනීමට සිත්කාරී ප්‍රාණයාමය තුළින් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකිය.

ප්‍රවීණ යෝගාචාර්ය

අභය ශ්‍රී ගුරුගේ


නව අදහස දක්වන්න