දුම් පානය නැවැ­ත්වී­මට අත්දුටු ක්‍රම­යක් | දිනමිණ

දුම් පානය නැවැ­ත්වී­මට අත්දුටු ක්‍රම­යක්

ඔබ දුම්පානය කරන පියකු නම් පොඩ්ඩක් හිතන්න. කිසිදු ආකාරයක ඵල ප්‍රයෝජනයක් නොමැති, සමාජයේ බොහෝ දෙනාගේ පිළිකුලට ලක්විය හැකි දුම්පානය, පිළිකා ඇති කරවන මකරාක්ෂයකු සේ සලකා , එයින් මිදීමට හිතට ගන්නේ නම් එය කොතරම් සහනයක් ද?

මේ ලිපිය ලියන මම ද, සාමාන්‍යයෙන් දුම්පානය කළ අයෙක්මි. මට ද එම වකවානුවේ දුම් පානය අත් හැරීමේ අවශ්‍යතාවක් ඇතිවී තිබුණි. මෙසේ සිටියදී දිනක මට සඟරාවක “ඔබට දුම්පානය අත් හැරීමට අවශ්‍ය ද?” යන මැයෙන් පළ වූ ලිපියක් දැක ගන්නට ලැබුණි. මගේ අවශ්‍යතාවට රුකුලක් වූ එම ලිපිය එක හුස්මට කියැවීමි. එම ලිපිය කියැවීමෙන් මට යම්කිසි සෙතක් සැලසෙතැයි හැඟුණු හෙයින්, කීප වතාවක් ම එම ලිපිය කියැවීමට පෙලඹුණෙමි. එහි වූයේ පැවරුම් පතක් වැනි දෙයකි. ගැලීම් සටහනක් වශයෙන් ද එය හැඳින්විය හැකි ය.

ඔබ දුම්පානය අත්හැර දැමීමට යන බව ඔබේ පවුලේ සැම දෙනාට පළමුව දැනුම් දෙන්න.

ඔබ ආශ්‍රය කරන මිතුරු මිතුරියන් සැම දෙනාටම ද ඒ බව පවසන්න.

ඔබට උණුසුම් තේ කෝප්පයක් බීමට හිතෙන සෑම අවස්ථාවකදීම, ඔබේ අධිෂ්ඨානය සිහිපත් කරගෙන, ඇල් වතුර වීදුරුවක් හෝ සිසිල් පැන් වීදුරුවක් හෝ බොන්න. එසේ නැතහොත්, පෙපරමින්ට් වැනි දෙයක් මුඛයට ගන්න.

ඔබ දුම්පානය අත් හැරීමට නිශ්චිත දිනයක් තෝරා ගන්න.

ඔබේ උපන් දිනයත්, විවාහ සංවත්සර දිනයත්, වසරේ ආරම්භක දිනයත්, වසරේ අවසාන දිනයත් වැනි සුවිශේෂී දිනයන් මේ සඳහා තෝරා ගන්න.

ඔබ ගත් තිරසාර අධිෂ්ඨානයේ උච්ඡතම අවස්ථාව එය හැටියට සලකා, “මේ සුවිශේෂී දිනයේ සිට තමන්ට අහිතකර, තම බිරියට හා දරුවන්ට අහිතකර, ඔවුන් පිළිකුල් කරන දුම් පානය යළි කිසි දිනෙක දිවි ඇති තාක් නොකරමි” යන ස්ථිර අධිෂ්ඨානය, එමෙන් ම පොරොන්දුව තම සිතත් සමඟ ඇති කර ගන්න.

මම මුලින් සඳහන් කළ අයුරු මින් වසර 28 කට පෙර, එනම් 1990 දෙසැම්බර් 31 වැනි දින ඉහත පැවරුම අනුව ක්‍රියා කර, දුම් පානය අත්හැරියෙමි. මගේ ජීවිතයේ සුන්දර දිනයක් ලෙස අද දක්වාම එම දිනය සලකමි. එදා මෙදාතුර කිසි දිනක මම දුම්වැටියක් මුවගට නොගතිමි. එදා පටන් අද දක්වාම දුම්වැටියක් දල්වනවා තබා, වෙනත් අයකු දුම්වැටියක් දල්වාගෙන සිටින තැනකවත් නොසිටින බව අවංකව පවසමි.ඔබට ද දුම්පානය අත්හැරීමේ අවශ්‍යතාවක් ඇත්නම්, මෙහි සඳහන් පැවරුම අධිෂ්ඨාන පූර්වකව ක්‍රියාවට නංවන්න. ඔබගේ ප්‍රයත්නය සරුගැන්වෙනවා නො අනුමාන ය.

ඩික්සන් කොංග­නීගේ රාගම

 

නව අදහස දක්වන්න