ප්‍රදී­පා­ගාර දහසක් අතරින් විශේෂ දහයක් | දිනමිණ

ප්‍රදී­පා­ගාර දහසක් අතරින් විශේෂ දහයක්

චන්ද්‍රිකා, ජී.පී.එස්. ආදී තාක්ෂණ පහසුකම් නොතිබුණු යුගයේදී, මුහුදේ යාත්‍රා කිරීමට උපකාරී වූයේ ප්‍රදීපාගාර ය. අන්තරාදායක සමුද්‍ර තීර, උපද්‍රව සහිත තැන්, නොගැඹුරු පෙදෙස්, ගල් පර වගේම, වරායකට වඩාත් ආරක්ෂාකාරීව ඇතුළුවිය හැකි මං සන්නිවේදනය කෙරුණේ ප්‍රදීපාගාරවලිනි. ලෝ පුරා මේ වනවිට ඇති ප්‍රදීපාගාර සංඛ්‍යාව 18,600ක් පමණ බව සඳහන් වේ. මෙහි දැක්වෙන්නේ, විවිධ හේතු නිසා සුවිශේෂ වන ප්‍රදීපාගාර දහයක් පිළිබඳ විස්තරයකි.

 

1. ස්කොට්ලන්තයේ

බ්‍රෙසේ ප්‍රදීපාගාරය

1854 සිට 1858 දක්වා වූ සිව් වසර තුළදී ස්කොට්ලන්තයට අයත් ෂෙට්ලන්ඩ් දූපත් හි ස්ථාපනය කෙරුණු ප්‍රදීපාගාර හතරෙන් එකක් හැටියට මෙය හැඳින්විය හැකි ය. මෙය පිහිටා තිබෙන්නේ ෂෙට්ලන්ඩ් දූපත් අතර ඇති බ්‍රෙසේ නමැති දූපතෙහි ය. ප්‍රදීපාගාරයෙහි ඉදිකිරීම් කටයුතු සිදු කළේ, ඩේවිඩ් ස්ටීවන්සන් සහ තෝමස් ස්ටීවන්සන් යන සහෝදරයන් දෙදෙනා බැව් සඳහන් වේ. ප්‍රදීපාගාරය ස්වයංක්‍රීයව ක්‍රියා කරන මට්ටමට රැගෙන එන ලද්දේ 1989 වසරේදී ය. අඩි 52ක් උසැති මේ ප්‍රදීපාගාරය අදටත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.

2.ග්‍රීසියේ ටුවර්ලිට්ස්

ප්‍රදීපාගාරය

මේ ප්‍රදීපාගාරය පිහිටා තිබෙන්නේ ග්‍රීසියට අයත් ඇන්ඩ්‍රොස් වරාය නගරයට ආසන්න මුහුදු තීරයේ ය. ස්වභාවික ගල්පරයක් කේන්ද්‍ර කරගෙන එය ඉදිකර තිබේ. ප්‍රදීපාගාරය පළමුවෙන්ම ඉදි කෙරුණේ, 1897 වසරේදී බව ඉතිහාස සටහන්වල දැක් වේ. එහෙත්, දෙවැනි ලෝක යුද සමයේදී ප්‍රදීපාගාරය සෑහෙන දුරට විනාශයට පත් විය. එක්දහස් නවසිය අනූ ගණන්වලදී එය නැවත ස්ථාපනය කෙරිණි. ඒ සඳහා මුල් වූයේ ධනවත් තෙල් ව්‍යාපාරිකයෙකි. ප්‍රදීපාගාරය එවර ප්‍රතිස්ථාපනය කෙරුණේ, ග්‍රීසියේ ක්‍රියාත්මක පළමු ස්වයංක්‍රිය ප්‍රදීපාගාරය හැටියට ය. ප්‍රදීපාගාරයට පාදම වී තිබෙන ගල් තලාව, දැඩි ලෙස ඛාදනයන්ට ලක් වේ. ඛාදනය නිසා ගල් තලාවේ ඇතිවන හැඩතල ප්‍රදීපාගාරයට අමුතු අලංකාරයක් ගෙන එන බව බොහෝදෙනා පවසති.

 

3. අමෙරිකා එක්සත්

ජනපද‍යේ පෝර්ට්ලන්ඩ්

හෙඩ් ලයිට්

පෝර්ට්ලන්ඩ් හෙඩ් ලයිට් යනු අමෙරිකාවේ පිහිටි ඓතිහාසික ප්‍රදීපාගාරයකි. මේ ප්‍රදීපාගාරය ඉදිකර තිබෙන්නේ, කේප් එළිසබෙත් හි පෝර්ට්ලන්ඩ් වරායෙහි ය. එහි ඉදිකිරීම් පළමුවෙන්ම සම්පූර්ණ කෙරුණේ 1791 වසරේදී බව දැක්වේ. එකල එහි ආලෝක කටයුතු සඳහා භාවිතයට ගැනුණේ තල්මස් තෙල්වලින් දැල්වෙන පහන් ය. මීටර 24.38ක් උසැති මේ ප්‍රදීපාගාරය, ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන තැනට පමුණුවනු ලැබුවේ 1989දී ය.

 

4. කැනඩාවේ පෙගීස්

පොයින්ට් ප්‍රදීපාගාරය

කැනඩාවේ ඉතා වැදගත් සලකුණක් හැටියටත් මේ ප්‍රදීපාගාරය සැලකේ. එය සංචාරක ආරක්ෂණය නොමඳව දිනාගත් තැනෙකි. ඒ නිසා ම, ප්‍රදීපාගාරය අවට ප්‍රදේශය ඉතාමත් කාර්ය බහුල තැනක් බවට පත්ව තිබේ. සුදු සහ රත් පැහැයෙන් ආලේපිත මේ ප්‍රදීපාගාරයේ උස , මීටර 15ක් පමණ වේ. ප්‍රදීපාගාරය ආසන්නයට යන මඟ ඇති දර්ශන පෙළ වගේම, ප්‍රදීපාගාරයේ සිට ඈතට පෙනෙන දර්ශන පෙළ ඉතාමත් ම මනරම් ය. පෙගීස් පොයින්ට් ප්‍රදීපාගාරය පළමුවෙන්ම ඉදි කරනු ලැබුවේ 1868දී බව සඳහන් වේ. දැනට දැකිය හැකි අෂ්ඨාශ්‍රාකාර ස්වරූපයට අනුව එය ගොඩනැඟුණේ 1915 වසරේදී ය. ප්‍රදීපාගාරය පළමුවෙන්ම ආලෝකවත් කෙරුණේත් ඒ වසරේදීම බැව් දැක් වේ.

5. ස්පාඤ්ඤයේ

හර්කියුලෙස් කුලුන

ඓතිහාසික රෝම ප්‍රදීපාගාරයකි. ඇලෙක්සැන්ද්‍රියා ප්‍රදීපාගාරය වශයෙන් හැඳින්වෙන්නේත් මේ හර්කියුලෙස් කුලුන ම ය. මෙකී ප්‍රදීපාගාරය පිහිටා තිබෙන්නේ වයඹ දිග ස්පාඤ්ඤයේ ගැලීෂියාහි ය. මීටර 55ක් උසැති මෙය, දෙවැනි සියවසේදී පළමුවෙන්ම ඉදි කෙරෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. එය, 1791දී නවීකරණය කෙරිණි. හර්කියුලෙස් කුලුන 2009 වසරේදී ලෝක උරුමයක් බැව් යුනේක්කෝ සංවිධානය පෙන්වා දුන්නේය. ඓතිහාසික වටිනාකම නිසා ම, ලක්ෂ ගණන් ජනයා සෑම වසරක් පාසාම එය නරඹන්නට යති.

6. ජර්මනියේ ලින්දව්

ප්‍රදීපාගාරය

ජර්මනියේ දකුණුදිගට වන්නට ස්ථාපිත මේ ප්‍රදීපාගාරය, මීටර 24ක් පමණ උසැති ය. ලින්දව් වරායෙහි බටහිර දෙසට වන්නට එය ඉදි කෙරුණේ 1853ත් 1856ත් අතර කාල සීමාවේදී බව සඳහන් වේ. තෙල් දහනය කරමින් මේ ප්‍රදීපාගාරය පළමුවෙන්ම ආලෝකවත් කෙරුණේ 1856 දී ය. එය විදුලි ආලෝකයෙන් ආලෝකවත් කෙරුණේ 1936දී බව සඳහන් වේ. ලින්දව් ප්‍රදීපාගාරය ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන තත්ත්වයට පමුණුවනු ලැබුවේ, එක්දහස් නවසිය අනූ ගණන්වලදී ය. ඉතා ඈතට පවා වෙලාව දක්වන ඔර්ලෝසුව එහි කැපී පෙනෙන අංගයකි.

7. ඩෙන්මාර්කයේ

රබ්ජර්ග් ක්නුඩේ ප්‍රදීපාගාරය

උතුරු දිග ඩෙන්මාර්කයේ රබ්ජර්ග් හි පිහිටා ඇති මේ ප්‍රදීපාගාරය, 1899දී ඉදි කෙරුණු එකක් ලෙස සැලකේ. එය පළමුවෙන්ම ආලෝකවත් කෙරුණේ 1900 වසරේදී පමණ ය. ප්‍රදීපාගාරයේ ක්‍රියාන්විත සියල්ලක්ම වගේ 1968 වසරේදී අගෝස්තු පළමු වැනිදා වනවිට නතර කෙරිණි. එවක් පටන් එම ගොඩනැඟිල්ල කෞතුකාගාරයක් සහ කෝපි හලක් පවත්වාගෙන යන්නට භාවිතයට ගෙන ඇත. වැලිවලින් බාධා පැමිණීම හේතුවෙන් 2002 වසර වනවිට එම ආයතන ප්‍රදීපාගාර ගොඩනැඟිල්ලෙන් ඉවත් කෙරිණි.මේ ප්‍රදීපාගාරයට අයත් කුඩා කුඩා ගොඩනැඟිලි රැසකට අධික පීඩනයක් සහිත වැලි ගසාගෙන ඒම නිසා හානියට පත් විය. දැනට පවත්නා ඛාදන තත්ත්ව සැලකිල්ලට ගත් විට, ප්‍රදීපාගාර කුලුන 2023 වනවිට මුහුදට සේදී යනු ඇතැයි විශ්වාස කෙරේ.

8. සෞදි අරාබියේ ජෙඩා

ප්‍රදීපාගාරය

ජෙඩා ප්‍රදීපාගාරය මීටර 133ක් පමණ උසැති එකකි. එය ලොව උස ම ප්‍රදීපාගාර කුලුන හැටියට සැලකේ. මෙය පිහිටා තිබෙන්නේ ජෙඩා ඉස්ලාමික වරායෙහි ය. එය නැඟෙනහිර සහ බටහිර නෞක මාර්ග මධ්‍යයේ පිහිටි, ඉතාමත් කාර්යයබහුල වරායක් හැටියට හැඳින්විය හැකි ය. එහි ඉදිකර ඇති ප්‍රදීපාගාරය, කැපී පෙනෙන්නට එයත් හේතුවක් වී ඇත. ඒ හැරුණුවිට මේ ප්‍රදීපාගාරයේ උස මෙන් ම, හැඩයත් සුවිශේෂී ය.

9. ස්වීඩනයේ

කුලෙන් ප්‍රදීපාගාරය

ස්වීඩනයේ කැපී පෙනෙන මායිම් සලකුණක් හැටියට කුලෙන් ප්‍රදීපාගාරය සැලකේ. එමෙන් ම එය ස්කැන්ඩිනේවියාවේ පිහිටි ප්‍රබලතම ප්‍රදීපාගාරය ද වේ. ඒ, එය වොට් 1000ක විදුලි බුබුලකින් ආලෝකවත් කිරීම නිසා ය. මේ ප්‍රදීපාගාරය පළමුවෙන්ම ඉදි කෙරුණේ 1561දී බව සඳහන් වේ. එවක එය අඩි 20ක් පමණ උසැති එකකි. දැව දහනයෙන් ද, ඉටිපන්දම් භාවිතයෙන් ද, ලන්තෑරුම් භාවිතයෙන් ද, ගල් අඟුරු භාවිතයෙන් ද, පසුව ඛනිජ ඉන්ධන භාවිතයෙන් ද මෙය ආලෝකවත් කෙරී ඇත. කුලෙන් ප්‍රදීපාගාරය ස්ථාපනය කර තිබෙන්නේ, කුල්ලාබර්ග් ස්වභාවික රක්ෂිතය තුළ ය. ප්‍රදීපාගාරය, සංචාරකයන්ගේ මන බඳින ස්ථානයක් බවට පත් වන්නට මේ පිහිටීමත් බලපා තිබේ.

10. නෝර්වේ ස්ලෙට්නස්

ප්‍රදීපාගාරය

මීටර 39ක් උසැති මේ ප්‍රදීපාගාරය පළමුවෙන්ම ඉදි වුණේ, 1903ත් 1905ත් අතර කාලයේදී බව සඳහන් වේ. දෙවැනි ලෝක යුද්ධය පැවැති සමයේදී, ජර්මානු හමුදාව අතින් මේ ප්‍රදීපාගාරයට දැඩි ලෙස අලාභහානි සිදු විය. හානියට පත් ප්‍රදීපාගාරය නැවත පිළිසකර කෙරුණේ 1948 පමණ වන විටදී ය. එය ස්වයංක්‍රීය පාලනයක් යටතේ ක්‍රියා කරන්නට පටන් ගැනුණේ 2005 වසරේදී ය.

 

අන්තර්ජාලය ඇසුරෙනි

මංජුලා විජයරත්න

 

නව අදහස දක්වන්න