කෙසෙල් කන්න හොඳ කොයි වෙලා­ව­ටද? | දිනමිණ

කෙසෙල් කන්න හොඳ කොයි වෙලා­ව­ටද?

ලොකු කුඩා කොයි කවුරුත් පෝෂ්‍යදායී රසවත් පලතුරු වර්ගයක් වන කෙසෙල් ආහාරයට ගැනීමට ප්‍රිය කරයි. පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රතිඔක්සිකාරක පිරි කෙසෙල්, සිරුරේ රුධිර පීඩනය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක වන පොටෑසියම්වලින් පොහොසත් ය. කෙසෙල් යනු ස්වභාවික ප්‍රතිශක්තිය වඩන පලතුරකි. බඩවැල තුළ ඇති බැක්ටීරියා තුරන් කර, බඩ දැවිල්ල අඩු කළ හැකි ආහාරයක් ලෙස ද කෙසෙල් ප්‍රයෝජනවත් ය. කෙසෙල්වල ඇති අධික කෙඳි අන්තර්ගතය, මළබද්ධය වළක්වා ගැනීමට උපකාරී වේ. අඩු වුණු ශක්ති මට්ටම වැඩි දියුණු කිරීම සඳහා, මේවා ඉතා ම සුදුසු ය. බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ඇති මේ රසවත් පලතුර, දවසේ ඇතැම් වෙලාවලදී ආහාරයට ගැනීමට සමහරු මැළි වෙති. පැරැණි කතාවලට අනුව, රාත්‍රී කාලයේදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස ඇතිවිය හැකි ය.

කෙසෙල් පෝෂණයෙන් අධික පලතුරක් බැවින්, දිරවීමට දිගු කලක් ගතවේ. ඔබට කෙසෙල් ආහාරයට ගැනීමට අත්‍යාවශ්‍යම නම්, නින්දට යෑමට පෙර පැය 2-3 කටවත් පෙර ආහාරයට ගත යුතු ය. රාත්‍රී කාලයේ දී සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස ඇති රෝගීන්, කෙසෙල් හෝ සිට්‍රෙස් ගණයට අයත් පලතුරු ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු බවට පොදු පිළිගැනීමක් ඇත. රාත්‍රියේදී ආසාදනවලට ගොදුරු වීමට ඇති හැකියාව වැඩි බව සහ නින්දට යෑමට පෙර කිසිවක් ආහාරයට නොගත යුතු බව සත්‍යයකි. මන්ද රාත්‍රියේදී අපගේ ශරීරයේ ආහාර දිරවා ගැනීමට ඇති හැකියාව අඩු බැවිනි.

කෙසෙල්වල, නින්දට උපකාර වන, ප්‍රමාණවත් තරම් මැග්නීසියම් ඇත. එහෙත්, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව හා උණ ඇති අය, කෙසෙල් ආහාරයට ගැනීමේ දී ප්‍රවේශම් විය යුතු ය. පවුලේ වෛද්‍යවරයා හමුවී, ඒ සඳහා අවැසි උපදෙස් ලබා ගැනීම වඩාත් ම සුදුසු වේ. මේ නිසා, රාත්‍රී කාලයේ දී අනිවාර්යයෙන්ම කෙසෙල් ආහාරයට ගැනීමේ දී කල්පනාකාරී වීම ඉතාමත් ම හොඳ ය.

උපදෙස්- ආහාර හා පෝෂණ විශේෂ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු

 

යශෝදා ඉන්දීවරී


නව අදහස දක්වන්න

Or log in with...